2024 ජුලි 27 වන සෙනසුරාදා

බිත්තර වෙළෙඳාම ගඳ ගස්සන මිල

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 13

“තව දින දෙක තුනයි මං බලාගෙන ඉන්නේ. දින දෙක තුනකින් මිල අඩු නොකළොත් බිත්තර ආනයනය කරනවා. එය දෙසැම්බර් දක්වාම කරගෙන යනවා. මම බිත්තර නිෂ්පාදකයන්ට ඒ ගැන කියලයි තියෙන්නේ. ඒ අයට ආණ්ඩුව දුන්න සහන ජනතාවට ලැබෙන්නේ නැහැ.”

මේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මාධ්‍ය මගින් බිත්තර නිෂ්පාදකයන්ට අවවාද කළ අන්දමයි.

සිල්ලර වෙළෙඳපොළේ බිත්තරය රුපියල් 50 – 55 අතර මිලක් දක්වා ඉහළ නැග ඇත. බිත්තර මිල පසුගිය සමයේ වැඩි වූ විට රජය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර රුපියල් 37 – 40 වැනි මිලකට ලක් සතොස සහ ඇතැම් සුපිරි වෙළෙඳසල් හරහා අලෙවි කරන්නට පටන් ගත්තේය. ඒ අවස්ථාවේදී නිෂ්පාදකයන් ද යම් ප්‍රමාණයකට බිත්තර මිල අඩු කළ බව අපට මතකය. එහෙත් රජයට දිගටම මෙය කරගෙන යා හැකි නොවූ අතර මාස 3 – 4 කින් පසු ආනයනය නැවතුණි. ඒ සමඟම නිෂ්පාදකයන් අලෙවි ඒකාධිකාරිය පටන්ගත් අතර බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ නැගුණි.

කෙසේ වුවද මිල තීරණය කිරීමේ බලය බිත්තර නිෂ්පාදකයන්ට ලැබුණු විට ඔවුහු අසාධාරණ ලෙස මිල ඉහළ නංවා පාරිභෝගිකයා සූරා කන්නට වූහ. බිත්තරයකින් රුපියල් 20 – 25 ක ලාභයක් නිෂ්පාදකයන් ලබාගන්නා බවද එම ක්ෂේත්‍රයටම සම්බන්ධ ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කළහ. කෙසේ වුවද මේ වනවිට බිත්තර මිල අසාධාරණ ලෙස ඉහළ නංවා අධික ලාභ ලැබීමට උත්සුක වන අතර මිල පාලනය කිරීමට රජය ගන්නා පියවරවලින් යහපත් ප්‍රතිඵලයක් ලැබී නොමැත. නිෂ්පාදකයන් පවසන්නේ කුකුළු කෑමවල මිල අසාධාරණ ලෙස ඉහළ ගොස් ඇති නිසා බිත්තර මිල පහළ දැමීමට නොහැකි බවය. නිෂ්පාදන වියදමෙන් සියයට 75 – 80 පමණ කුකුළු කෑම සඳහා වැය වන අතර අනිකුත් නඩත්තු වියදම් පිරිමසාගෙන සිදු කරන්නට සිදුවී තිබෙන බවද ඔවුහු පවසති.

කෙසේ වුවද විශේෂයෙන් දිළිඳු සහ මධ්‍යම පාන්තික පවුල්වල දරුවන්ට යම් පමණකට හෝ ප්‍රෝටීන සහ පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන බිත්තර මිල එලෙස අසාධාරණ අන්දමට ඉහළ නංවා තිබීම නිසා දරු පරපුර මන්දපෝෂණයෙන් පෙළීම වළක්වා ගත නොහැකිව ඇත. බිත්තර මිල පහත හෙලීම සඳහා ඇති එකම විකල්ප විසඳුම ආනයනය කිරීම බව ආණ්ඩුව පිළිගෙන ඇති බව පෙනේ. එසේ වුවද රට තුළ මිල ඉහළ යාමට හේතු සොයා බලා මිල පහත හෙලීමේ වැඩසටහනකට යාමට වගකිව යුත්තන් උනන්දු වන බවක් දක්නට නැත. ආණ්ඩුවට දිගටම බිත්තර ආනයනය කළ නොහැක්කේ විදේශ විනිමය හිඟය නිසාය. ආනයනය නොකර විදේශ විනිමයද නාස්ති කර නොගෙන බිත්තර ඒකාධිකාරය මර්දනය කිරීමේ වැඩසටහනකට යා යුතුව ඇත.බිත්තර සඳහා නිෂ්පාදන වියදම අඩු කරන්නේ නම් ඒවා අඩු මිලට දිය හැකි බව නිෂ්පාදකයෝ පවසති. බඩඉරිඟු ආනයනය කිරීමේදී යම් සහන මිලක් ලබා දිය හැකි නම් නිෂ්පාදන වියදම අඩු කිරීමට එය බොහෝ දුරට හේතු වෙනවා ඇත.

එසේම කුකුළන් සඳහා සහල් ආහාර ලෙස නිකුත් කිරීම තහනම් කර ඇති පසුබිමක සුණු සහල් වුවද පාවිච්චි කිරීම ගැටලුවක් වී ඇත. අපතේ යන සහල් කුකුළු ආහාර සඳහා ලබා දිය හැකි නම් නිෂ්පාදන වියදම අඩු වේ. වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා දිරාගිය සහල් විනාශ නොකර සත්ත්ව ආහාරවලට නිකුත් කළ හැකි නම් එය යම් පමණකට මෙම තත්ත්වය සමනය කිරීමට මහෝපකාරී වනවා ඇත.

කෙසේ වුවද සිල්ලර වෙළෙඳුන් බිත්තර අලෙවියෙන් ලබාගන්නේ ඉතා සුළු ලාභයකි. ඔවුන් පවසන්නේ තමන් ගන්නා බිත්තරවලින් එක දෙකක් හෝ බිඳී ගියහොත් එම ලාභය හෝ අහිමිවන බවය. අනිත් අතට වැටලීම් කරනුයේ සිල්ලර වෙළෙඳුන් අලෙවි කරන බිත්තරය. සිල්ලර වෙළෙඳුන්ගේ බිත්තර අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රශ්නය නිරාකරණය කළ නොහැක්කේ ඔවුන් තොග වෙළෙඳුන්ගෙන් ලැබෙන බිත්තර සුළු ලාභයක් තබාගෙන අලෙවි කරන නිසාය. එබැවින් බිත්තර වෙළෙඳාම නියාමනය කිරීමට නම් මහා පරිමාණ වශයෙන් ව්‍යාපාර කර නිෂ්පාදක තොග වෙළෙඳුන් පාලනය කිරීම අවශ්‍ය වෙයි. එසේ නොකර බිත්තර මිල පාලනය කර ගැසට් නිකුත් කිරීමෙන් සිදුවන්නේ හිඟයක් ඇති වී මිල ඉහළ යාම බව පෙන්වා දෙමු.
බිත්තර මිල නියාමනය කිරීම පිළිබඳව අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන්නේ බිත්තර මිල අඩු කිරීමට අවශ්‍ය නම් විවිධ රාජ්‍ය අංශ වෙන වෙනම පියවර ගැනීම නවතා කණ්ඩායමක් වශයෙන් එකතු වී යම් ස්ථිරසාර ක්‍රියාමාර්ගයක් ගත යුතු බවය.

“බිත්තර නිෂ්පාදන වියදමෙන් සියයට 90ක් යන්නේ කුකුළු ආහාර වෙනුවෙන්. මුළු ආහාර වියදමෙන් සියයට 60ක් වැය වන්නේ බඩඉරිඟු සඳහායි. එසේම බෙහෙත් සහ රසායනික සඳහා ද ඉතිරි මුදල් වියදම් වෙනවා. සහල්වලටද වැය වෙනවා. 2020 දී වෙළෙඳ අමාත්‍යංශය කුකුළු කෑම සඳහා සහල් යොදා ගැනීම තහනම් කළා. ඒ නිසා බිත්තර මිල අඩු කරන්න නම් ලාභදායී ලෙස බඩඉරිඟු සැපයිය යුතුයි. ඒ සඳහා විශාල උත්සාහයක් ගත යුතුයි. මාසයකට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 45,000ක් අවශ්‍ය වෙනවා. වර්ෂයකට මෙට්‍රික් ටොන් 5,40,000ක් අවශ්‍යයි. 2021 වසර වනවිට මේ ප්‍රමාණයෙන් සියයට 98ක් රටේ නිෂ්පාදනය කළා. ඊට පසුව ක්‍රමයෙන් නිෂ්පාදන ධාරිතාව පහළ බැස අද වනවිට ලැබෙන්නේ අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණයි. අද වනවිට කෘෂි දෙපාර්තමේන්තුවේ ගණන් බැලීම අනුව බඩඉරිඟු මෙට්‍රික් ටොන් එකක නිෂ්පාදන වියදම රුපියල් 117 යි. ඉන්දියාවෙන් ආනයනය කරලා බදු ගෙවලා නැව් කුලී ආදිය ගෙවලා ගිය විට කිලෝවක වියදම රුපියල් 116ක් වෙනවා. ගොවියාට වාසි වන ලෙස විකුණනවා නම් දෙපාර්තමේන්තුව කියන්නේ කිලෝව රුපියල් 140ටවත් අලෙවි කළ යුතු බවයි. එහෙත් නිෂ්පාදකයා නම් කියන්නේ දැන් මිලට බිත්තර දෙන්න කිලෝව රුපියල් 130 පමණ විය යුතුය කියලයි.

වර්තමානයේ බඩඉරිඟු කිලෝව අලෙවි වන මිල රුපියල් 160 – 185 පමණ වෙනවා. ඒ මිල අනුව බිත්තර මිලද ඉහළයි. කෙසේ වුවත් 2027 වසර වනවිට අපේ රටේ වසරකට මෙ.ටොන් ලක්ෂ 5 පමණ නිෂ්පාදනය කළ හැකියි. කුකුළු කර්මාන්තය දියුණු වූ විට ලක්ෂ 7ක් පමණ නිපදවිය හැකියි. ඒ නිසා ඉතිරි කොටස ආනයනය කළ යුතුම වෙනවා. ලාභයක් ලබන්න නම් බඩඉරිඟු කිලෝව රුපියල් 140 බැගින් අලෙවි විය යුතු යැයි කියනවා. වසරකට අපට බිත්තර මිලියන 3000ක් පමණ අවශ්‍ය වෙනවා. පසුගිය සමයේ හතර වතාවකට අපේ රටට ඉන්දියාවෙන් ආනයනය කළේ බිත්තර මිලියන 92ක් පමණයි. ඉතිරි සියල්ල ලංකාවේ නිෂ්පාදනයි.

බඩඉරිඟු නිෂ්පාදනය කරන්නේ යල කන්නයට හෙක්ටයාර 10,000 – 15,000 පමණ වන අතර මහ කන්නයේ හෙක්ටයාර ලක්ෂ 80,000 ක වගා කරනවා. ඇත්තවශයෙන්ම මෙම ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අතර, බිත්තර ආනයනය කිරීම ඒ නිසා අත්‍යවශ්‍ය වෙනවා. බඩඉරිඟු වගාවේදී හෙක්ටයාරයකට යොදන වියදමෙන් උපරිම අස්වැන්නක් ලබාගත යුතුයි. මිල අඩු වන්නේ එවිටයි. මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. හිඟය පියවන්න නම් යම් ප්‍රමාණයක් බිත්තර ආනයනය කළ යුතුයි. ඒ නිසා බිත්තරවලින් ස්වයංපෝෂිත කිරීමට තව කාලයක් ගත වෙනවා ඇති.”

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් පවසන්නේ මේ වනවිට කොළඹ නගරය තදාසන්න ප්‍රදේශවල බිත්තරය රුපියල් 33ටද අලෙවි වන බවය. බිත්තර රුපියල් 50 – 60 ට විකුණනවා යැයි කියන කතාව පිළිගත නොහැකි බව තමා වගකීමෙන් පවසන බව ඔහු කියයි.

“බිත්තර නිෂ්පාදනය උපරිම මට්ටමින් තියෙනවා. හිඟයක් නැහැ. ඒ නිසා බිත්තර පිටරටින් ගේන්න ඕනෑ නැහැ. අද වනවිට ෆාම් එකෙන් බිත්තර දෙන්නේ රුපියල් 40 ටයි. දෙපාර්තමේන්තුවම කියන පරිදි බිත්තර නිෂ්පාදන වැය රුපියල් 30 – 34 වෙනවා. කුකුළු කෑම මිල වැඩියි. ඉරිඟු මිල ඉහළයි. ආනයනය කරන විට ටැක්ස් එක වදිනවා. හුණු සහල්ද මිල ඉහළයි. ඒ හින්දා අඩුවට දෙන්න බැහැ. අද මගේ මිල සුදු 40 යි. රතු 41 යි. සිල්ලර වෙළෙන්ඳාට ලාභයකුත් ඇතුව රුපියල් 44 – 45 ට දෙන්න පුළුවන්. දැන් බිත්තර රුපියල් 33 ටත් තියෙනවා.

පහුගිය දවස්වල ආණ්ඩුව බිත්තර මිල පාලනය කරනවා කියලා ආරංචියක් ආවා. ඒත් තවම එහෙම දෙයක් වෙලා නැහැ. සුදු බිත්තරයක් රුපියල් 43 – 45 අතර මිලකටද දුඹුරු එකක් රුපියල් 45 – 48 කටද මිල නියම කරන්න යන බව කියනවා. දැන් අපි බිත්තර දෙන්නේ එම මිලට අඩුවෙන්. එහෙම නම් මිල පාලනය කරන්නේ මොකටද? මෙයින් වෙන්නේ තියෙන මිලත් වැඩිවන එකයි. ඔයිට කලින් පාලනය කරලා බිත්තර කර්මාන්තය කඩාගෙන වැටුණා. ඒ නිසා මිල නියම කරලා විකුණන්න බැහැ. අනිත් අතට මිල ඉහළ පහළ යනවා. හැමදාම එකම මිලක් තියෙන්නේ නැහැ. පාලනය කළොත් බිත්තර හිඟ වෙලා මිල ඉහළ යයි. පාඩු වුණොත් නිස්පාදකයන් ව්‍යාපාර අතහැරලා යාවි. ජනවාරිවල සිට බිත්තරවලට සියයට 15ක් වැට් බදු ගහනවා කියලා කියනවා. එහෙම වුණොත් තවත් මිල ඉහළ යාවි.

රටට සෑහෙන බිත්තර අපට දෙන්න පුළුවන්. දිනකට බිත්තර මිලියන 80 – 85 දැන් නිපදවනවා. මසක නිෂ්පාදනය මිලියන 250 පමණයි. වෙළෙඳ ඇමැති කීවාට බිත්තර රටින් ගෙන්වලා අඩුවෙන් දෙන්න බැහැ. ඉන්දියානු බිත්තර මෙහෙට එන විට අපේ මිලට සමාන වෙයි. ඒ බිත්තර අපේ ඒවාට වඩා කුඩායි. ඉතින් කවුද පොඩි බිත්තර වැඩි මිලට ගන්නේ?

අනිත් අතට බිත්තරයකින් රුපියල් 25ක් ලාබ ගන්නවාය කියන කතාව අමූලික බොරුවක්. රුපියල් 25ක් ලාබ ගන්නට නම් නිෂ්පාදන වියදම එක බිත්තරයකට නිෂ්පාදන වියදම රුපියල් 15ක් විය යුතුයි. එය සිදුවන දෙයක් නොවෙයි. අතේ රෝලක් විතරයි. වැඩියෙන් වැය වන්නේ බිත්තර නිෂ්පාදනයටයි. හොඳ බිත්තර ලබාගන්න නම් කුකුළන්ට පෝෂ්‍යදායී ආහාර සහ රසායනික දිය යුතුයි. එහෙම නැතිනම් ලැබෙන්නේ පහුගිය කාලේ ඉන්දියාවෙන් ගෙනාව ඒවා වගේ බර අඩු කුඩා බිත්තරයි.”

යසවර්ධන රුද්රිගු

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:04