2024 ජුලි 27 වන සෙනසුරාදා

නැතිවූ හැඳුනුම්පත ලබාගන්නෙ කොහොමද?

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 447
නැතිවූ හැඳුනුම්පත ලබාගන්නෙ කොහොමද?
 
දිනක් තුළ මෙරට සැලකිය යුතු ජාතික හැඳුනුම්පත් අස්ථානගත වීම් වාර්තා වන බව ශ්‍රී ලංකා පොලිසියේ වාර්තා පිරික්සා බලන විට පෙනී යයි. නැති වූ හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පැමිණෙන පිරිස් දුටු විටද එම තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු නැත. ඒ අනුව ජාතික හැඳුනුම්පත නැති වූ විට ඔබ අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සහ නැවත හැඳුනුම්පතක් ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද ඔබට "ජන මෙහෙවර" අපි වෙන් කරමු.
 
 ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ විගසින් කළ යුතු දේ
 
ජාතික හැඳුනුම්පත නැතිවූ පුද්ගලයකු විසින් ඒ පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට  පළමුව පැමිණිලි කළ යුතු වේ. ඔබ නමින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික හැඳුනුම්පත වෙනත් අයකු සතු වීම ඔබගේ ආරක්ෂාව කෙරෙහි සිදු කරන්නේ ඉතා අයහපත් බලපෑමකි. එනිසාම ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කළ යුතුයි. පැමිණිල්ල ඉදිරිපත් කරන අතර එහි පිටපතක් සහතික කොට ලබා ගැනීමටත් කටයුතු කළ යුතුමයි.
අනතුරුව ඔබ සිදු කළ යුත්තේ නැති වූ ජාතික හැඳුනුම්පත වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොපමාව ඉල්ලුම් කිරීමයි.
 
 ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම
 
පොලිසිය වෙතින් ලබාගත් පැමිණිල්ලේ පිටපත ද සහිතව ඔබ පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවීම මෙහිදී පළමුව සිදු කළ යුතුය. ඔබ වතු පදිංචිකරුවකු නම් වතු අධිකාරීවරයා හමුවිය යුතුයි. නැවත හැඳුනුම්පත ලබා ගැනීම සඳහා වන අයැදුම්පත ඔවුන් විසින් ලබා ගැනීමේ හැකියාව පවතී. මෙහිදී අයැදුම්පත පුරවා  පසුව ලේකම් කාර්යාලය වෙත ගොස් ප්‍රාදේශීය ලේකම් අනු අත්සනට ද එය යටත් කිරීම අනිවාර්ය වේ. 
 
සෑම ඉල්ලුම්කරුවකුම අදාළ සහතික කිරීමේ නිලධාරී මගින් ඉල්ලුම්පත්‍රය යොමු කිරීම අනිවාර්යයි.
 ගාස්තු අය කිරීම 
 
1.නැතිවූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රු. 1000.00
2.සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පත යොමු කිරීම සඳහා තැපැල් ගාස්තුව රු.120.00
ඉහත කී ගාස්තු, ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකිවන අතර, දඩ මුදල් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවිය යුතු වේ.
 
 ඉදිරිපත් කළ යුතු ලේඛන
 
• නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය
• පොලිස් පැමිණිල්ලේ මුල් පිටපත
• අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහන
• මාස 06ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරූපය
• ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
 ඔබගේ අවශ්‍යතාවය පරිදි පහත උපලේඛන ද අවශ්‍ය විය හැකිය.
 
1. උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය හෝ ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන සමඟ නම හා උපන්දිනය සනාථ කළ හැකි ලේඛනයක් (දරුවකුගේ උප්පැන්න සහතිකය/ ඉල්ලුම්කරුගේ පාසල් හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ වතු හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ තහවුරු කරන ලද කේන්දර පිටපත/ ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය/ ඉල්ලුම්කරුගේ පුරවැසි සහතිකය/ ඉල්ලුම්කරුගේ උපන් දිනය විදුහල්පති විසින් සනාථ කරන ලද ලේඛනය)
2. ශ්‍රී ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයකදී උපත ලද පුද්ගලයකු නම් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය (පුරවැසි සහතිකයක ආදර්ශ පිටපත)
3. ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම්, ද්විත්ව පුරවැසි සහතිකය (ද්විත්ව පුරවැසි සහතිකය ආදර්ශ පිටපත)
4. පූජ්‍ය පක්ෂය සඳහා නම්, පහත සඳහන් ලේඛන ද ඉදිරිපත් කළ යුතුය.
බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් නම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
 අනෙකුත් ආගමික පූජකවරුන්, අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබාගත් සහතික
 පැවිදිභාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබාගත් සහතික
5. උචිත නියමිත කාලසීමාව තුළදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවකු නම්,
 
   නියමිත පරිදි සම්පූර්ණ කරන ලද පු/ලි/දෙ/මෙ/02/03/ආකෘතිය පත්‍රය
 
      නියමිත දඩ මුදල් ගෙවූ කුවිතාන්සිය
 
   6. ස්වාමිපුරුෂයාගේ නම හෝ වාසගම ලබා ගැනීමට ඉල්ලුම්කරන්නේ නම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද විවාහ සහතිකය
 
  ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
 
 සාමාන්‍ය සේවය
 
එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත් සහිතව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෝ ගාල්ල පළාත් කාර්යාලය වෙත පැමිණීමෙන් එම සේවාව ලබාගත හැකිය.
 
 එක්දින සේවය
 
එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් සහිතව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෝ ගාල්ල පළාත් කාර්යාලය වෙත පැමිණීමෙන් එම සේවාව ලබාගත හැකිය.
 විශේෂයෙන් දැනගන්න 
 
 ඉහත ගාස්තුවලට අමතරව එක්දින සේවය සඳහා වෙනම ගාස්තු අය කරනු ලබයි. ඒ සඳහා රු. 2000 ක් දැනට අය කරන බව පුද්ගලයන් ව්‍යාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සඳහන් කොට තිබේ. එක්දින සේවාවට පෙරාතුව සියලු අයැදුම්පත්‍ර නිසි ලෙස සකස් කොට සහතික කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අදාළ තොරතුරු පද්ධතියට ඇතුළත් කොට අංකනය කොට තිබීමද අනිවාර්ය වේ. 
 
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල සහ ගාල්ල යන මධ්‍යස්ථාන ද්විත්වය හරහා මෙම සේවය ලබාගත හැකිය. උදෑසනම අදාළ ස්ථාන වෙත පැමිණ ආරක්ෂක අංශ විසින් ලබාදෙන අංක පිළිවෙල යටතේ ඔබගේ අයැදුම්පත්‍ර නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු වේ. 
 
• චමිඳු නිසල් ද සිල්වා  
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03