ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ජනාධිපතිවරයාගේ ධුර කාලයට අදාළ වගන්තියක් සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන එන 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ.
දෙසතියකට ඉහත පැවැති කැබිනට් රැස්වීමේදී ගන්නා ලද තීරණයක් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධන කෙටුම්පත ජූලි මස 15 දින ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වැනි ව්‍යවස්ථාවේ (ආ) ඡේදය අනුව “සය අවුරුද්දක් ඉක්මවා” යන්න වෙනුවට පස් අවුරුද්දක් ඉක්මවා යන්න ආදේශ කිරීම කිරීම මෙම සංශෝධනය මගින් සිදු කිරීමට නියමිත යැයි පැවසිනි. මෙය ගැසට් කිරීමට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමි විය.
මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත විපක්ෂයේ මෙන්ම රටේ විවිධ පාර්ශ්ව අතරද, අර්බුදයක් නිර්මාණය කළ සිදුවීමක් විය. විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන මැතිවරණය කල් දැමූ අයුරින් ජනාධිපතිවරණය ද කල් දැමීමට ගන්නා උත්සාහයක් බවටය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති යැයි නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දුන්හ.
උපරිම ධුර කාලය පිළිබඳව විමසමින් ව්‍යවසායකයකු හා නීතිඥයකු අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් මින් ඉහත ලබා දී ඇති බවටය. ඒ අනුව අධිකරණයේ කාලය නාස්ති කිරීම වෙනුවෙන් එම පෙත්සම්කරුවන් දෙදෙනාට ලක්ෂයක හා ලක්ෂ පහක නඩු ගාස්තු ගෙවීමට ද සිදුවිය. කෙසේ නමුදු රටේ ව්‍යාකූලත්වයක් ඇතිවිය හැකි බැවින් ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නොකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළේය. එහෙත් ජනාධිපතිවරයා තමන්ට පැවරී ඇති බලතල අනුව 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කළේය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපති ධුර කාලය සය වසරේ සිට පස් වසර දක්වා අවම කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා සතු අසීමිත බලතල අවම කිරීම සඳහා ගෙන එන ලද මෙම සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවූ බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබුණේ සීමිත බලතල ප්‍රමාණයක් අවම කළ හැකි බවත් ඉන් ඔබ්බට යන්නේ නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටය. ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කිරීමට ගැටලුවක් නොමැති වූ අතර එය වසර පහක් ලෙස සංශෝධනය කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මෙලෙස ප්‍රකශ කළේය. “2015 වසරේ ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය හා පාර්ලිමේන්තුවේ කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කළා. ඉන්පසු 2019 ජනාධිපතිවරණයක් පැවැත්වුණා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවා. ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ කාලය වසර 5ක් බවට කිසිදු සැකයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ තියෙන්නේ මෙම කාලය අවුරුදු 6ට වඩා වැඩි කරනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි කියලයි. එසේම 83 වගන්තිය සංශෝධනයකට ලක් කරනවා නම් එයටත් ජනමත විචාරණයකට යා යුතු යැයි එහි සඳහන්. ඒ නිසා 19 වැනි සංශෝධනය සිදු කරන විට 83ට අපි අත තිබ්බේ නැහැ. ඒ කාලයේ පැවති ආණ්ඩුව කිව්වේ ජනමත විචාරණයකට නොගොස් කළ හැකි දේ කරනවා කියලයි.
එම ප්‍රතිපත්ති තීරණය ගත්තේ ඒ කාලේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි. අගමැතිවරයා තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. සංශෝධනය කෙටුම්පත් කළ කමිටුවේ ප්‍රධානියා වුණෙත් රනිල් වික්‍රමසිංහයි. මේ තීරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගන්නවා කියලා එතුමා එදා කිව්වා. මේ අවස්ථාවේ සංශෝධනයක් ගෙන එන්නේ කුමක් සඳහා ද කියල අපට වටහා ගන්නා බැහැ. කිසිවෙක් සංශෝධනයක් අවශ්‍ය යැයි ඉල්ලලත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30-2 වගන්තියේ පැහැදිලිවම තිබෙනවා ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5යි කියලා.” යනුවෙන් සඳහන් කළේය.
හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම මැතිවරණ ක්‍රමවේදය අර්බුදයකට ලක් කිරීමට දරන ප්‍රයත්නයක් යැයි නීතිඥ සාමූහිකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට උපදෙස් දීමේ හැකියාව පවතින බවද, එසේ වුවහොත් කෙටුම්පත සම්මත වී දින 30 ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවද එම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දී තිබිණි. මේ හේතුවෙන් රටට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර එය රටේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබිණි. උපරිම ධුර කාලය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ විමසීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තමන් විසින් හෙලා දකින අතර එය මැතිවරණ ක්‍රියාදාමය විකෘති කිරීමේ ක්‍රියාවක් බවද නීතිඥ සාමූහිකය සඳහන් කර තිබිණි.
ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසු දින 14ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් තිබේ නම් ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙයි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බවට තීන්දු කළහොත් දින 30ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවනු ඇත. ජනමත විචාරණයක් පැවැත්වීමේ බලතල ඇත්තේ කතානායකවරයා වෙතය. එහෙත් මේ සම්බන්ධයෙන් අවස්ථා තුනකදී ශ්‍රේෂ්ඨාධිකරණය තම මතය ප්‍රකාශ කර තිබේ. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා, ලේනව නමැති ව්‍යවසායකයා සහ තවත් නීතිඥවරයකු විසින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම්වලදීය. කෙසේ නමුදු මේ වන විට මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසන්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත විය යුතු වන අතර ඒ සඳහා තුනෙන් දෙකක බහුතරයක් නොලැබෙන බවටය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ මතය මෙවැන්නකි.
“මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. එයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනවා. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ කටයුතුවලට කිසිදු බලපෑමක් නැහැ. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා බාර ගැනීමට හැකියාව තිබෙනවා. නාමයෝජනා බාරගෙන අවසන් වී සති හතරත් හයත් අතර දිනයක මැතිවරණ දිනය තීරණය කළ හැකිය. කමිෂන් සභාව ලබා දෙන ඕනෑම දිනයක ජනාධිපතිවරණ පැවැත්වීමට අපි බැඳිලා ඉන්නවා. පෝය හෝ රජයේ නිවාඩු දිනවල මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැහැ. මැතිවරණ ඉතිහාසයේ කිසිම සිකුරාදා දිනයක මැතිවරණ පවත්වා නැහැ. අපට එන ඕනෑම බලපෑමක් තුළ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අපට හැකියාව තිබෙනවා.
කෙසේ නමුදු 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව සරල බහුතරයකින් සම්මත කළ හැකි යැයි ඇතැම් පිරිස් ප්‍රකාශ කරති. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අදහස මෙවැන්නකි.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ඕනෑම කෙටුම්පතක් සම්මත වීමට තුනෙන් දෙකක බහුතරය අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 11ක් තිබෙනවා. ඒ වගන්ති 11 යම් වෙනසක් සිදුකරනවා නම් තුනෙන් දෙකක බහුතරය සහිතව ජනමත විචාරණයකින්ද අනුමැතිය ලබාගත යුතුයි. කිසිම පනතක් සම්මත කළ නොහැකිය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න බැහැ. පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්න ඕනෑ තුනෙන් දෙකක් අරන් ජනමත විචාරණයට යනවද එසේ නැතිනම් ජනමත විචාරණයකට යා යුතුය යන කොටස ඉවත් කරලා තුනෙන් දෙකේ බහුතරයෙන් එම පනත් කෙටුම්පත සම්මත කරනවාද කියලා. අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහ දක්වා අඩු කළේ ඒ අනුවයි. මෙච්චර කල් මේ පිළිබඳව කිසිවෙක් කතා කළේ නැහැ. මැතිවරණ පැවැත්වීම ළං වුණාම ලේනව කියල මහත්මයෙක් උස්බෙකිස්ථානේ ඉඳන් ඇවිත් නඩුවක් දැම්මා. ඒක නිෂ්ප්‍රභ කළාම තව නීතිඥ මහත්මයෙක් නඩුවක් දැම්මා. මෙවැනි ක්‍රියා ඉදිරියට යෑම වැළැක්වීම සඳහා තමයි මෙම සංශෝධනය ගෙන ආවේ. රටේ ජනතාව දේශපාලනඥයන් දිහා නිතරම සැකයෙන් බැලිය යුතුයි. එහෙම නොවූ නිසා තමයි බොහෝ දේශපාලකයෝ වැරදි වැඩ කළේ. මැතිවරණ කොමිසම කිසිදු බලපෑමකින් තොරව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ජනාධිපතිවරණය නිසි දිනට පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නියමයක්.” යනුවෙන් සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා බිලියන 10ක මුදලක් වෙන් කර තිබේ. මෙවර මැතිවරණයේදී වැඩිම මුදලක් වැය වන්නේ තැපැල්, පොලිස් හා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහාය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා