2024 ජුලි 27 වන සෙනසුරාදා

අළු යට සැඟවුණ ගිනි කඳු නොපෙනෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 14

බංග්ලාදේශයේ හදිසියේ උද්ගත වූ ගැටුම් ජාත්‍යන්තර ප්‍රජාව කම්පාවට පත් කළ සිද්ධියකි. හතරවැනි වතාවට බලයට පත් සික් හසිනා ආණ්ඩුවේ අලුත් තීරණවලට විරුද්ධව තරුණ පෙළ පාරට පැමිණ සිටිති. විශේෂයෙන් විශ්වවිද්‍යාල සිසුහු මෙහිදී පෙරමුණ ගෙන සිටිති. ශිෂ්‍ය උද්ඝෝෂණ සාමකාමීව කරගෙන යන අතරවාරයේ ආරක්ෂක අංශ බරපතළ ලෙස පහර දී මහා විනාශයක් කළ බව ශිෂ්‍ය නායකයන් මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත. අද වන විට එකසිය හැත්තෑ පස් දෙනකු පමණ මියගොස් සිටින අතර දහස් ගණනක් තුවාල ලබා සිටිති. තවදුරටත් ගැටුම් වර්ධනය වීම වළක්වන අරමුණ ඇතිව සමාජ මාධ්‍ය හා අන්තර්ජාල තහනමක් පනවන බංග්ලාදේශ ආණ්ඩුව විරෝධතාවලට පදනම් වූ රජයේ රැකියා සපයන ප්‍රතිපත්තිය අධිකරණ තීන්දුවක් මගින් ආපසු හරවා ඇත.

මෑත භාගය තුළ විශේෂයෙන් කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු ලෝකයේ තැනින් තැන අර්බුද, ගැටුම් හා කලකෝලාහල මතුවිය. ජනයා විශේෂයෙන් තරුණ ප්‍රජාව මුහුණ දෙන පීඩනය මේවාට ප්‍රධාන වශයෙන් බලපෑ බව සඳහන් කළ යුතුය. ඉන්දියාවේ තරුණයන් පමණක් නොව ගොවියන් ද අරගලයක නිරත වූ අතර ඉන්දීය ආණ්ඩුව සිය ප්‍රතිපත්ති වෙනස් කර ප්‍රශ්නය විසඳා ගත්තේය. ශ්‍රී ලංකාවේ ද තියුණු ස්වභාවයක් හටගත් අතර විධායක ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවිය. පාර්ලිමේන්තු සංයුතිය වෙනස් වූ අතර පාර්ලිමේන්තුවෙන් පත් කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හටගත් දරුණු ස්වභාවය පාලනය කරගැනීමට සමත්ව සිටියි. කලාපයේ සිදුවීම් දෙස බැලීමේදී ආර්ථික වර්ධනයක් හා ජනහිතකාමී ප්‍රතිපත්ති හඳුන්වා දීමකින් තොරව ස්ථිර විසඳුමක් අපේක්ෂා කිරීම අපහසුය.

බංග්ලාදේශයේ ජනගහනය මිලියන එකසිය හැත්තෑවකි. අවාමි ලීගයේ නායිකා සීක් හසිනා පසුගිය වසර 2009 සිට වසර පහළොවක් අඛණ්ඩව අගමැතිනිය වශයෙන් කටයුතු කරන අතර ඉකුත් ජනවාරියේ දී පැවැති මහ මැතිවරණයේ දී ද ආසන තුන්සියයකින් දෙසිය විසිපහක් දිනාගත්තාය. තවත් අවුරුදු පහකට බලයට පත් වූ නමුත් ඡන්දය පවත්වන ලද ආකාරය ගැන විවේචන මතුවිය. විශේෂයෙන් එරට ප්‍රධාන විපක්ෂය ජාතික පක්ෂය මහ මැතිවරණය පවත්වන ආකාරය ගැන විරෝධය පළ කරමින් ඡන්දය වර්ජනය කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සීක් හසිනා තනිව තරග කරන තැනට පත් වූ අතර මැතිවරණය ආසන්නයේ දහස් ගණනින් අත්අඩංගුවට ගැනීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවිය.

2018 වසරේ පැවැති මැතිවරණයේ දී ඡන්දය භාවිත කරන ලද ප්‍රතිශතය සියයට අසූවක් වූ අතර 2024 මහ මැතිවරණයේ දී ඡන්දය භාවිත කළ ප්‍රතිශතය සියයට හතළිහකි. බංග්ලාදේශයේ ඡන්ද දායකයන්ගෙන් හරි අඩක් ඡන්දයෙන් වැළකී සිටි අවස්ථාවක අගමැති ධුරයට නැවත පත් වූ සීක් හසිනා මහත්මිය ආර්ථිකය දිනන අභියෝගය ජය ගන්නට වෑයම් කරමින් සිටියාය. කොවිඩ් වසංගත කාලයේ දී බංග්ලාදේශයේ සංකීර්ණ තත්ත්වයක් ඇතිවූ අතර ආර්ථික වර්ධනය අඩාල විය. උද්ධමනය ඉහළ නැගිණ. පොලී අනුපාත වර්ධනය වූ අතර ලක්ෂ ගණන් පිරිසකගේ රැකියා අහිමි කරමින් දස දහස් ගණනක් කම්හල් වසා දැමිණ. විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයට පහසු තත්ත්වයක් නොතිබුණි.

ලෝකයේ දුප්පත්ම රටවල් අතර තිබුණු බංග්ලාදේශය මැදි ආදායම් මට්ටම දක්වා කැඳවා දියුණු කරන්නට පසුගිය කාලය තුළ සීක් හසිනා ආණ්ඩුව ක්‍රියා කළේය. ඉකුත් දශක දෙක තුළ මිලියන විසි පහක පමණ බංග්‍ලාදේශ පුරවැසියන් දුප්පත්කමෙන් මිඳුණු බව එරට සංඛ්‍යාලේඛන පෙන්වයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආණ්ඩු පාලනය පහසු නැත. පවතින සමාජ මාධ්‍ය භාවිතය ඉතාම දරුණු මතවාද අවුළුවමින් සිටියි. එය පාලකයන්ට අභියෝගයකි.

පසුගිය වසර විස්ස තුළ බංග්ලාදේශයේ ආර්ථිකය වර්ධනය වූ අතර නිමි ඇඳුම් අපනයනය හා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ එහිලා බලපෑ ප්‍රධාන සාධක දෙක විය. නමුත් මෙම අංශ කොවිඩ් ලොක්ඩවුන් සමඟ කඩා වැටුණි. නැවත පිබිදෙන විට කොලොම්බියාව හා ඉතියෝපියාව අඩු වියදමින් නිපදවන ඇඟලුම් බංග්ලාදේශයේ අපනයන වෙළෙඳපොළට තර්ජනයක් වූ බව විශේෂඥ වාර්තා දක්වයි. පුරවැසියන් සියලුම දෙනාට විදුලිය සපයන්නට සමත් වූ බංග්ලාදේශය නිවාස සංවර්ධන සැලැස්මක් ද ක්‍රියාත්මක කරමින් සිටියේය. නමුත් හදිසියේ ඇතිවූ තත්ත්වයෙන් ව්‍යාකූල වූ අතරවාරයේ දේශපාලන කැළඹීම ඇතිවිය. අපනයන ආදායම විවිධාංගීකරණය කරන අතර ඇඟලුම් කර්මාන්තයෙන් පමණක් යැපෙන ස්වභාවයෙන් ගැලවීම එරටට ගත හැකිව තිබුණු පියවරක් බව දැක්වේ.

ආර්ථිකය දියුණු වන අතර කළු සල්ලි ජාවාරම එරට බහුලව සිදුවිය. දූෂණ ද පාලනය කරගත නොහැකි තත්ත්වයක තිබුණි. ආරක්ෂක වියදම් ද ආර්ථිකයේ කැපීපෙනෙන ප්‍රතිශතයක විය. විනිමය හිඟය හා පොලී අනුපාත බංග්ලාදේශයේ දේශපාලන කැළඹිලිවලට හේතු වෙමින් තිබුණු අතර ඒ අතරවාරයේ දී මෙතෙක් තිබුණු රජයේ රැකියාවලට තෝරා ගැනීමේදී දක්වන ප්‍රතිශත වෙනස් කිරීම විශ්වවිද්‍යාල තරුණයන්ගේ නොඉවසිල්ලට හේතු වී තිබුණි.

ලක්ෂ විසි පහක පමණ තරුණ පිරිසක් රැකියා විරහිතව සිටින අතර එයින් ලක්ෂ අටක් පමණ විශ්වවිද්‍යාල උපාධිධරයන් බව බංග්ලාදේශයේ ජාතික පුවත්පත් අනාවරණය කර ඇත. මෙම පිරිස වහාම වෘත්තීය අවස්ථා ඉල්ලා බල කරමින් සිටින අතරවාරයේ රජයේ රැකියා කෝටා ක්‍රමය වෙනස් කිරීම සංකීර්ණ තත්ත්වයක් ඇති කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍රවාදය යන අංශ දෙක ද අසමාන ගැටලුවලින් පිරී ඇත. දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයකි. මේවායේ නායකයෝ රට ඉදිරියට ගෙන යන ක්‍රම ගැන පහසුවෙන් කරුණු දක්වමින් සිටිති. ලෝක ආර්ථිකය අනුව ඉදිරියට ගමන් කරන ගමන පහසු එකක් නොවේ. කොවිඩ්වලින් පසු ඉතාම සංකීර්ණ තත්ත්ව ඇති වී තිබේ. තාක්ෂණය එය තවත් බිහිසුණු කර ඇත. අපනයන හා ආයෝජන අංශ නවතම උපාය අනුව හැසිරේ. ලෝකයේ දියුණු රටවල් තමන්ගේ වෙළෙඳපොළ සඳහා කරන මිල දී ගැනීම් පිරිවැය අඩු කරන ක්‍රමවලට හරවා ඇති අතර එයට අනුරූප වන පරිදි ආයෝජන ද සිදුවේ. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් පැරණි රටාව අනුව තීන්දු ගන්නා අතර අලුත් තත්ත්ව ගැන අධ්‍යයනය කරන්නේ නැත. මෙහි ප්‍රතිඵලය අනාගතයේ දී ඉතාම අනතුරුදායක විය හැකිය.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථිකය ස්ථාවර කරන හා ඉදිරියට ගෙන යන අරමුණ ඇතිව මාස හතළිස් අටක සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. ස්ථාවර කරන ලද ආර්ථිකය දියුණු කළ යුතු වේ. දැනට දක්වන පරිදි වසර ගණනාවක් ගතවන තුරු සියයට තුන ඉක්මවන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ නොහැක. සියයට තුනක් යනු පසුගිය වසර පනහක කාලය තුළ පැවැති සියයට පහක ආර්ථික වර්ධනයට වඩා අඩු අගයකි. මෙම අඩු වර්ධන අනුපාතය රැකියා වැඩිපුර බිහි කරන්නේ නැත. මහජනතාවගේ අතට ආදායම ලැබෙන අවස්ථා අඩු කරයි. පනවන අලුත් බදු ජීවිතය දුෂ්කර තැනකට තල්ලු කරමින් සිටියි. මැතිවරණ ප්‍රකාශ ඉදිරියේ ජනතාව තුළ බලාපොරොත්තු ඇති කරන දේශපාලන නායකයන් ඒවා ඉටු කරගත නොහැකි වුවහොත් උද්ගත විය හැකි තත්ත්වය ගැන ද තීරණයක පසුවිය යුතු වේ. අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතය සියයට පහක් හෝ එයට වඩා  ඉහළ අගයක් දක්වා පරිවර්තනය වෙනුවෙන් බලයට පත්වන ආණ්ඩුවලට තීන්දු ගන්නට සිදු වේ.

ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ප්‍රකාශයට පත්ව තිබේ. ලියාපදිංචි දේශපාලන පක්ෂ සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණෙන් සිටින නායකයෝ ජයග්‍රහණය උදෙසා විශාල ප්‍රයත්නයකය. මැතිවරණ ප්‍රතිපත්ති සකස් කරන අතර පොරොන්දු දේශපාලනයට ක්‍රමයෙන් ඇතුළු වෙමින් සිටිති. වැටුප් වැඩි කරන, රැකියා සපයන අතර විශාල සහන ඉදිරිපත් කරනු ඇත. ආණ්ඩුව මෙතෙක් තිබුණු තද ආර්ථික පාලනයෙන් ඉවත් වෙමින් සිටියි. විදුලිය හා ඉන්ධන ගාස්තු අඩුකර ඇති අතර ණය පොලිය සඳහා ව්‍යවසායකයන්ට සහන ප්‍රකාශයට පත් කරමින් සිටියි. අනෙක් අතට රන් භාණ්ඩ උකස් කර ඇති දුප්පත් ජනතාවගේ ආර්ථිකය ආරක්ෂා කරන තීන්දු ගනිමින් සිටියි. ඉදිරි සති කිහිපය තුළ නැවත වටයකින් පොදු ජනතාවට දෙන සහන ගැන දැනටමත් ඉඟි පළ කරමින් සිටියි. මේවා ගෙවන්නට තරම් ප්‍රසාරණය වූ ආර්ථිකයක් දැනට නැත.

ආණ්ඩුවට ආර්ථිකයක් තිබේ. උපයන ආදායමක් හා එය වියදම් කරන ක්‍රමයක් ඇත. අයවැය මගින් මෙම රාමුව පූර්ව විනිශ්චයකට යටත් කරයි. මෙම අවුරුද්දේ ඡන්ද පවත්වන හෙයින් 2025 වසර සඳහා අයවැය සකස් කරන්නේ නැත. එවැනි පසුබිමක් තුළ ආදායම හා වියදම නොසලකා ගන්නා තීරණ මතභේදයට හේතු විය හැකිය. මහා භාණ්ඩාගාරයේ නැති ධනය මහජනතාව ඉදිරියේ බෙදා ඔවුන් සනසවන ආණ්ඩුව ඡන්දයෙන් පසු නැවත ආපසු හැරෙන්නේ කෙසේද?

ප්‍රතිවාදී දේශපාලන පක්ෂ පවා ඔවුන් ජයග්‍රහණය කළහොත් ජනතාවට සපයන වාසි ප්‍රකාශ කරමින් සිටියි. ජනාධිපතිවරණය ජයග්‍රහණය ලබන කණ්ඩායමට පාර්ලිමේන්තු මැතිවරණයකට ද මුහුණ දෙන්නට සිදුවන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිට ආර්ථිකයකට ලැබෙන්නේ නැත. ඉතාම ඉහළින් අපේක්ෂා ඇති දේශපාලන නායකයන් ප්‍රතිඵලය නිකුත් වූ පසු අලුත් වටයකින් මත විසුරුවනු ඇති අතර එය සමාජය නොසන්සුන් කර බංග්ලාදේශයේ හෝ ලෝකයේ අනෙක් රටක පවතින විලාසයකට සමාජය තල්ලු කරන්නට ඉඩ ඇත. ආණ්ඩු බලය ලබාගැනීම සඳහා තරග කරන දේශපාලනඥයන් ඉදිරියේ ඡන්ද මාස කිහිපය තුළ පොදු ජනතාවට අස්වැසිල්ලක් ලැබෙන පරිදි හැසිරෙනු ඇති අතර අවසානයේ දී ධනය උපයන අලුත් පියවර වහාම අනුගමනය නොකළහොත් අර්බුදය අනෙක් පැත්තකින් ඉදිරියට එන අවදානමක් තිබේ. එහි පීඩනය සමඟ වැඩ කරන ජනතාව නැවත පාරට එන බව සැකයක් නැත. ලෝකයේ සිදුවන සිදුවීම් ගැන අවධානයෙන් තමන්ගේ ජයග්‍රහණයට පදනම හදාගැනීම දේශපාලන පක්ෂවල හා නායකයන්ගේ වගකීමකි.

• සාරා කන්දෙගොඩ