2024 ජුලි 27 වන සෙනසුරාදා

මීමුරේ රෝහල අනාථයි: අසරණයි

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

පවුල් 480 කට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වයට අවශ්‍ය සේවාව ලබාදීම සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය කෙරෙන මීමුරේ ග්‍රාමීය කුඩා රෝහලට අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින්ට නොහැකි වී තිබෙන බව මීමුරේ ගම්වාසීහු පවසති.

දිනපතා අති විශාල දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන නවාතැන් ගන්නා මීමුරේ ගම්මානයේ එම පිරිස් සඳහා හදිසි අවස්ථාවකට මෙම රෝහලේ කිසිදු පහසුකමක් නැත. තරුණ වෛද්‍යවරයකු මෙහි සේවයේ යෙදී සිටින අතර මෙම රෝහලට ප්‍රතිකාර සඳහා එන රෝගීන්ට බෙහෙත් ලබාදීමට ඖෂධවේදියකු පවා නොමැත. බෙහෙත් ලබාදීම සිදුවන්නේ සුළු සේවකයන් අතිනි. හදිසි අනතුරක් සිදුවුවහොත්  තුවාලයකට මැහුමක් හෝ දැමීමට පළපුරුදු සෞඛ්‍ය සේවකයන් මෙහි නොමැත.

සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙන මීමුරේ ගම්මානයේ මෙම කුඩා රෝහලට ගිලන් රියක් අත්‍යවශ්‍ය වුවද එය සිහිනයක් වී ඇති බව ගම්වාසීහු පවසති. හෘදයාබාධයක් වැනි භයානක රෝගී තත්ත්වයක් ඇති රෝගියකු මෙම කුඩා රෝහලට ඇතුළත් කළහොත් ඔහුට නියත වශයෙන්ම මරණය ළඟා වනු ඇත. මීමුරේ සිට උඩදුම්බර රෝහලට සැතපුම් 40 ක් පමණ දුරක් ඇති අතර, ගිලන් රියක් ගෙන්වා ගන්නට පොලිසිය වෙත දැනුම් දීමක් කළ යුතුව ඇතැයි ගම්වාසීහු පැවසූහ. අසාධ්‍ය තත්ත්වයට පත්වූ රෝගියකු ඉතා දුෂ්කර වූ වංගු සහිත කඳුකර මාර්ගයේ වාහනයකින් රැගෙන යාමට සිදුවුවහොත් එම රෝගියා රෝහලට ගෙන යන්නට පෙර මහ මගදී මියයන අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වන බව ඔවුහු පැවසූහ. රෝහලේ සේවය සඳහා  කම්කරු සේවකයන් සිටින්නේ  හතර දෙනකු පමණි.

තරුණ වෛද්‍යවරයා තමන්ට හැකි උපරිම අයුරින් ප්‍රතිකාර සේවාව ලබාදීමට  පියවර ගන්නා නමුත් මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අඩුම වශයෙන් හුස්ම ගැනීමට අපහසු රෝගියකු ඇතුළත් කළ විට ඔහුට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය උපකරණ කිසිවක් නැති බව ගම්වාසීහු කියති. 

මීමුරේ කුඩා රෝහලට වාට්ටු දෙකක්වත් ස්ථාපිත කර හෙදියන් දෙදෙනකු, පුහුණු උපස්ථායකයන් දෙදෙනකු සහ ගිලන් රථයක් ලබාදීමට පළාත් සෞඛ්‍ය බලධාරින් පියවර ගත යුතු බව මීමුරේ ජනතාව  පවසති. 

ජේ.ඒ.එල් ජයසිංහ/ තෙල්දෙණිය චන්දන උඩුවාවල.. මීමුරේ  සිට..