2024 ජුලි 27 වන සෙනසුරාදා

පොලිස්පතිට ලැබුණු ඓතිහාසික නඩු තීන්දුව

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:02 143

ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබීය. එනම් වහාම පොලිස්පතිවරයා සිය ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමයි. එසේම එම නියෝගයට අමතරව නඩු විභාගය අවසන් වන තෙක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා වැඩබලන පොලිස්පතිවරයකු පත් කරන ලෙසද නියෝගයේ සඳහන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ ජනාධිපතිවරයා විසින් පොලිස්පති පත්කිරීම බල රහිත කරන ලෙස ඉල්ලා මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශ්වකරුවන් කිහිප දෙනකු විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කර සිටියේ පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී ඇති බවයි. එම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාද, කථානායකවරයා වන මහින්ද යාපා අබේවර්ධන මහතාද, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද යන අයට විරුද්ධව නඩුව විභාගයට ගැනීමට තීන්දු කළ බව සඳහන් කළේය. එතෙක් නඩු විභාගය පැවැත්වෙන තෙක් දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ වැඩ බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටවනු ලැබීය.

මෙම පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබුණේ ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම පත්කිරීම බලතලවලට පටහැණිව සිදුකර ඇති බවයි. එනම් ව්‍යවස්ථාදායක සභාව විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමේදී ඔහුට පක්ෂව ඡන්ද හතරක් සහ විරුද්ධව ඡන්ද දෙකකුත් දෙදෙනකු ඡන්දය ප්‍රකාශ නොකර සිටීමත් යන මොහොතක ප්‍රකාශ නොකළ දෙදෙනාගේ ඡන්ද විරුද්ධව ලබාදුන් ඡන්ද ලෙස සලකා කතානායකවරයා තීරක ඡන්දය ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බව මෙහිදී පෙන්වා දී තිබුණි. ඒ අනුව නඩු විභාගය ආරම්භ කළ අතර පෙත්සම් සම්බන්ධයෙන් විරෝධයක් ඇත්නම් සති හයක් තුළ ඉදිරිපත් කරන ලෙසත් දන්වා නඩුව නොවැම්බර් 11 දක්වා කල් දමනු ලැබීය.

කෙසේ වෙතත් මේ මොහොත වනවිට ලොකුම ගැටලුව වී ඇත්තේ මැතිවරණ පැවැත්වීමේදී පොලිස්පතිවරයකු නොමැතිව මැතිවරණය කළ හැකිද යන්නයි. බොහෝ දෙනා විවිධ අදහස් දරන අතර ඇතැම් අය පවසන්නේ එලෙස පොලිස්පතිවරයකු නොමැතිව මැතිවරණය කළ නොහැකි බවය. එහෙත් තවත් අය පවසන්නේ මැතිවරණය පැවැත්විය හැකි බවය. කෙසේ වෙතත් මැතිවරණය පොලිස්පතිවරයකු නොමැතිව සිදු කළ නොහැකිය යන්න අසත්‍යයකි. වැඩ බලන පොලිස්පතිවරයකු පත්කොට මැතිවරණය පැවැත්විය හැකි බවට ළඟම උදාහරණවලින් පෙන්වා දිය හැක. එනම් 2019 වර්ෂයේ ජනාධිපතිවරණය පවත්වන අවස්ථාවේද පොලිස්පතිවරයකු නොවූ අතර සිටියේ වැඩ බලන පොලිස්පතිවරයෙකි. ඒ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නය. ඔහු මැතිවරණ රාජකාරි කළේ වැඩ බලන පොලිස්පති ධුරයේ සිටිමිනි. ඒ නිසා ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කළහොත් මැතිවරණයට බාධා වන්නේ නැත. එසේ නොමැතිව බාධා විය හැකි එකම ක්‍රමය වන්නේ එවැනි පත්කිරීමක් නොකර සිටීමය.

මෙම ලිපිය ලියන මොහොත වන විටත් ජනාධිපතිවරයා එවැනි පත් කිරීමක් සිදුකර නොමැත. එවන් මොහොතක කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටින බවයි. පුදුමය නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබියදී කැබිනට්ටුව මේ ආකාරයෙන් හැසිරීමයි. එනම් අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් තවත් ගැඹුරින් අධ්‍යයනය කරන්නේ කුමක් සඳහාද?

මීට පෙර ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස අධිකරණ විනිසුරුවන් විවේචනය කිරීම හමුවේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර යම් ගැටීමක් ඉදිරියේ සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කළහ. එය රටේ පැවැත්මට බලපාන බවද ඔවුහු ප්‍රකාශ කළහ. එහෙත් කිසිවකු ඒ අදහස් තැකුවේ නැත. ඔවුහු තමන්ට හිතෙන හිතෙන දේ කළහ. අද මේ සිදුවෙමින් පවතින්නේ එකී ගැටුම්වල උච්ඡතම අවධිය බව ඇතැමෙක් ප්‍රකාශ කරති. එහෙත් අප දන්නා පරිදි මේ වනවිට මේ රටේ පොලිස් දෙපාර්තුමේන්තුවට අණ දෙන්නට කිසිවකු නොමැත.

මේ අතර පොලිසිය තුළ මෙන්ම ඉන් පිටත ද කතාවට බඳුන් වී ඇත්තේ මීළඟ වැඩ බලන පොලිස්පතිවරයා කවුදැයි යන්නය. සාමාන්‍යයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වය මත ලැබෙනවා නම් ලැබිය යුත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනටය. එහෙත් ඔහු පසුගියදා විනය ක්‍රියාමාර්ග මත අනිවාර්ය නිවාඩු යැවීය. ඉන් පසුව සිටින්නේ ලලිත් පතිනායක සහ ප්‍රියන්ත වීරසූරිය යන දෙදෙනාය. මෙකී දෙදෙනාගෙන් මෙම තනතුර කාට ලැබේදැයි අපි නොදනිමු. ඒ නිසා දැන් බොහෝ දෙනා බලා සිටින්නේ මේ දෙදෙනාගෙන් කවුරුන් මීළඟ වැඩ බලන පොලිස්පතිවරයා වනු ඇතිද යන්නයි.

කෙසේ වෙතත් නඩු විභාගය අවසන් වූ පසුව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධුරය තීරණය වනු ඇත. එතෙක් එතුමාට ඉවසන්නට සිදුවනු ඇත. එහෙත් දැන් ගැටලුව එතුමා විසින් සිදු කරගෙන ගිය "යුක්තිය" මෙහෙයුමට කුමක් සිදුවේද යන්නය. එය ක්‍රියාත්මක වේද? එය පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩක් නම් නියත වශයෙන් ක්‍රියාත්මක විය යුතුය.

• ගයාන් ගාල්ලගේ