2024 මැතිවරණ වසරකි. අපේ රටද ඇතුළුව ගෝලීය ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඡන්දය දීමට සැරසී සිටින වසරකි. ඡන්දයට සුදානම් රටවල් අතර ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් 10 න් 8ක්, එනම් බංග්ලාදේශය, බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, පකිස්ථානය, රුසියාව සහ එක්සත් ජනපදය ඇතුළුව අවම වශයෙන් රටවල් 97 ක් සිටිති. සංඛ්‍යාත්මක වශයෙන් ලෝක ජනගහනයෙන් හතරෙන් පංගුවකට ආසන්න ඡන්දදායකයන් පිරිසක් එනම් බිලියන 2ක් පමණ මේ වසරේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති. මේ සියලු දෙනා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඒ ඒ රටවල ක්‍රියාත්මක ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරනු ඇත. ග්‍රීසියේ ඇතෑන්ස් නගරයෙන් ඇරැඹුණු අත ඔසොවා ඡන්දය හෙවත් කැමැත්ත ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ සිට දැන් ඉලෙක්ට්‍රොනික මැෂින් සහ අන්තර්ජාල ඡන්ද ක්‍රමද කරළියට පැමිණ තිබේ.
ඈත කාලයේදී සිය කැමැත්ත හඬ නගා ප්‍රකාශ කිරීම හෝ අත ඔසොවා නම ප්‍රකාශ කිරීම මගින් සිදුව ඇත. පුරාණ ග්‍රීසියේ මෙම ක්‍රමය ඇරැඹී ඇති අතර ඊට පෙර ගෝත්‍ර සමාජයන්හිද පැවැත ඇත. පසුකාලීනව ඡන්දය ඉල්ලන්නාගේ නම හෝ සලකුණ යෙදූ මැටි පුවරු, ලෝහ පුවරු නියමිත භාජනයකට දැමීමද දක්නට ලැබී ඇත. ඡන්දය හෙවත් බැලට් යන නමටද හේතු වූ කුඩා බැලට් හෙවත් බෝල භාවිතයෙන් ඡන්දය දීමේ ක්‍රමද ලොව ප්‍රචලිතව තිබී ඇත. 1852 දී පමණ මුල් වරට රහස්‍ය ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාදීමේ ක්‍රමවේදය ඇරැඹුණු බව වාර්තා වේ.
මේ වන විට ලෝකයේ බොහෝ දුරට ප්‍රචලිත ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය කඩදාසි ඡන්ද පත්‍රිකා ක්‍රමයයි. ලොව රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 227කින් 209ක ඡන්ද සලකුණු කිරීම මෙලෙස කඩදාසි ඡන්ද පත්‍රිකා මත අතින් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් සිදු කෙරේ. ඒ සමහර ස්ථානවල ඡන්දදායකයන් සිය තේරීම සිදු කරන්නේ X ලකුණ හෝ හරස් ඉරක් හෝ ‘හරි’ සලකුණ වැනි ලකුණක්, අපේක්ෂකයන් හෝ පක්ෂවල සම්පූර්ණ ලැයිස්තුව අඩංගු කඩදාසි ඡන්ද පත්‍රිකාව මත තැබීමෙනි. ඊශ්‍රායලය සහ මාලි ඇතුළු රටවල් කිහිපයක ඡන්දදායකයන් කිසියම් දේශපාලන පක්ෂයක් සඳහා වූ ඡන්ද පත්‍රිකාව තෝරා, එය ලියුම් කවරයක දමා, පසුව ලියුම් කවරය ඡන්ද පෙට්ටියක තැන්පත් කරයි.
1998 සිට වංචා වැළැක්වීම සහ ඡන්ද යාන්ත්‍රණයේ මිල අඩු කිරීම සඳහා විද්‍යුත් ඡන්ද යන්ත්‍ර ක්‍රමයෙන් කඩදාසි ඡන්ද පත්‍රිකා ක්‍රමය ප්‍රතිස්ථාපනය කර ඇත. කෙසේ වෙතත් මෙම යන්ත්‍ර අන්තර්ජාලයට සම්බන්ධ වී නොමැති ඒවාය. පැරැණි ක්‍රමය මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ පසු ඒවා රැගෙන යා හැකි විශේෂ කේස්වල අසුරා තිබිය යුතු අතර, ඒවා සංචාරක නිලධාරීන්ගේ කරට බරක් වී තිබේ.
මේ වනවිට සමහර රටවල් මිශ්‍ර ක්‍රම භාවිත කරයි. කඩදාසි ඡන්ද පත්‍රිකාවලට අමතරව ඩිජිටල් දත්ත පහසුව ලබාගත හැකි රටවල් 10% ක පමණ විද්‍යුත් ඡන්ද යන්ත්‍ර භාවිත වේ. ඉලෙක්ට්‍රොනික ඡන්ද යන්ත්‍ර ඉන්දියාව සහ එක්සත් ජනපදය වැනි සමහර විශාල රටවල මෙන්ම සිංගප්පූරුව වැනි කුඩා නමුත් දියුණු රටවල මේ වන විට භාවිත වේ.
දැන් අලුත්ම ඡන්ද ක්‍රමය වන අන්තර්ජාලය හරහා ඡන්දය භාවිත කිරීම ලොව රටවල් හතරක සිදු වේ. ඒ ආර්මේනියාව, කැනඩාව, එස්තෝනියාව සහ ස්විට්සර්ලන්තයේය. එස්තෝනියාව මේ අතරින් ඉදිරියන්ම සිටියි. සෑම එස්තෝනියානුවකුටම හැඳුනුම්පතක් සහ රහස් අංකයක් රජයෙන් ලැබෙන අතර එමගින් වෛද්‍ය වාර්තා හෝ බදු හිමිකම් වැනි ආරක්ෂිත රාජ්‍ය ඊ-සේවා ගණනාවකට ඩිජිටල් ප්‍රවේශය සපයයි. මැතිවරණයට සහභාගී වීම සඳහා, ඡන්දදායකයෝ ඔවුන්ගේ විද්‍යුත් හැඳුනුම්පත භාවිතයෙන් පද්ධතියට ඇතුළු වී ඡන්දය ප්‍රකාශ කරති. ඡන්දදායකයාගේ අනන්‍යතාවය ඡන්දය ගණන් කිරීමට පෙර ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් කරන බැවින් නිර්නාමිකභාවය සහතික කෙරේ. මේ වන විට එස්තෝනියානු රජය මේ ඡන්දය දීමේදී ජෛවමිතික දත්ත යෙදීමේ හැකියාව පිළිබඳව විමර්ශනය කරමින්, මේ ක්‍රමය හා සම්බන්ධිත සියලු අඩුපාඩු සහ පෞද්ගලිකත්ව ගැටලුවල සිට තාක්ෂණික හැකියාවන් දක්වා විවිධ අංශ ගවේෂණය කරයි.
මේ වනවිට ඊ-ඡන්දය අභ්‍යවකාශය ද අල්ලා හමාරය. එක්සත් ජනපද ගගනගාමීන් සඳහා, අභ්‍යවකාශයේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ද ලබා දී තිබේ. පෘථිවි ග්‍රහලෝකයෙන් පිටත සිට පළමු වරට තනි ඡන්දයක් ප්‍රකාශ කරන ලද්දේ 1997 දී නාසා ගගනගාමී ඩේවිඩ් වුල්ෆ් රුසියානු මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය. ඒ කාලයේ සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ ගත කරන කාලය දින හෝ සති ගණනක් හෝ වූ අතර දැන් වසර ගණන් අභ්‍යවකාශයේ රැඳී සිටින ගගනගාමීන් වාර කිහිපයක්ම උඩු ගුවනේ සිට ඡන්දය ලබා දී තිබේ. නිදසුනක් වශයෙන්, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ISS මාස හයක් දක්වා ගත කළ ආචාර්ය කේට් රූබින්ස්, එහි සිට2016 සහ 2020 දී දැනටමත් දෙවරක් ඡන්දය ප්‍රකාශ කර ඇත.
මේ තරම් දියුණු ලෝකයේ වුවද අප්‍රිකානු රටක් වන ගැම්බියාවේ මෑත කාලීන ජනාධිපතිවරණය පවා පැවතුණේ පැරැණි “බැලට් - බෝල” ක්‍රමවේදයට සමාන වූ විශේෂිත භාජනවලට කිරිගරුඬ බෝල දැමීමේ ක්‍රමයක් මතය. මෙම ක්‍රමය 1960 ගණන්වල රටවල් තුළ පැවැති ඉහළ මට්ටමේ නූගත්කමට විසඳුමක් ලෙස ඉදිරිපත් වූවකි. දැන් මේ රටේ සාක්ෂරතාව අනුව එය දැනටත් වලංගු වී තිබේ.
• සුගත්