අලි මරණ ගැන වගේම, වෙඩි තැබීම නිසා අබ්බගාත වූ අලි ගැනත් පසුගිය කාලයේ නිතර අසන්නට ලැබුණි. වනජීවී නිලධාරින් තුවාල ලත් අලින් සුව කිරීමට දරන උත්සාහය ගැනත් සුවවීමෙන් පසු යළි ගම්වදින අලි බවබෝග වැනසීම ගැනත් පුවත් අපට දකින්නට පුළුවන. ඒ අතර අවුරුදු 13කට පසු මෙරට සිටින අලි ගහනය කොපමණදැයි සොයා බැලීමට වන අලි සමීක්ෂණයක් ඉදිරියේදී සිදු කිරීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා විය.
මෙරට අලි ගහනය පිළිබඳව නිවැරදි දත්ත සොයා ගැනීම සඳහා මෙම සංගණනය සිදුකරන බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ ඇමැතිනි නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පසුගිය 28 දා මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළාය. ඇය වැඩිදුරටත් පැවසුවේ තම අමාත්‍යංශය පසුගිය දෙවසරක කාලය තුළ අලි මිනිස් ගැටුම කළමනාකරණය කර ගනිමින් ඉතා සාධනීය වැඩ කොටසක් සිදුකොට ඇති බවයි. දැනට සැලසුම් කර ඇති අන්දමට අගෝස්තු 19 වැනිදා සහ 20 වැනිදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව වනජීවී අමාත්‍යංශය පවසා සිටියි.
ඒ අනුව දිවයින පුරා වන අලි හැසිරෙන දිය මංකඩ 2500 ක් ඉලක්ක කරමින් වනඅලි සංගණනය සිදුකරන බවද සඳහන් කෙරිණි. අලි සුපුරුදු ලෙස පිපාසය සංසිඳුවා ගැනීමට පැමිණෙන ජල මංකඩ ජාතික වනෝද්‍යාන තුළ මෙන්ම ඉන් පිටත වනාන්තර අසබඩ පිහිටි වැව්වල, ජල කඩිතිවල හා ගංගා ආශ්‍රිත දියමංකඩවලද සිදු කිරීමට නියමිතය.
මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරින්ට අමතරව ඊට අනුයුක්ත කර තිබෙන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් හත්දහස් පන්සීයක පමණ පිරිසක් යොදවන බවත් වාර්තා විය. යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ද දායකත්වය මේ සඳහා ලැබේ. සංගණනය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.
සෑම වසර දහයකට වරක් වන අලි සමීක්ෂණයක් සිදු කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර අවසන් වරට එය සිදු කරනු ලැබුවේ පසුගිය 2011 වසරේදීය. අවසන් වරට සිදුකරනු ලැබූ අලි සමීක්ෂණයේ දී අලි 5879ක් පමණ වනාන්තරවල සිටින බව වාර්තා විය. දළ ඇතුන් 122ක්ද අලි පැටවුන් 1107 ක්ද සිටින බව එම සමීක්ෂණයේ දී හෙළි විය. 2021 දී වන අලි සමීක්ෂණය අත්හිටුවීමට සිදුවුණේ කොවිඩ් වසංගතය හේතුවෙනි.
වනජිවී දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ අගෝස්තු මස 19 වැනි සඳුදාට යෙදෙන පොහොය දිනයද ඇතුළත්ව දින 02 ක් තුළ මෙම සංගණනය පැවැත්වීමටය. මේ ගැන වැඩිදුරටත් පැහැදිලි කර ගැනීමට අප කතා කළේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති යූ. ජේ. සෙනරත්ටය.
“2011න් පසු අලි ඇතුන් මේ වනවිට වර්ධනය වෙලා ද අඩුවෙලා ද කියලා අපට නිසි අවබෝධයක් නෑ. ඒක ලබාගැනීම අලි සංරක්ෂණ වැඩවලදී ගොඩක් ප්‍රයෝජනවත්. ඒ වගේම වැඩුණු අලි, අලි පැටවුන්, දළ ඇතුන්, ඇතින්නියන් කොපමණ සිටිනවාද යන්නත් වනජීවී නිලධාරින් දැන සිටිය යුතු වෙනවා. මෙයට පෙර වන අලි සමීක්ෂණයේ දී එවකට සිටි වනජීවී ඇමැතිවරයා කිව්වා ඇතුන් වැඩිපුර ඉන්න නිසා පන්සල්වලට අලි දිය යුතුයි කියලා. ඒ වගේ වැඩවලට නොවෙයි වනඅලි සමීක්ෂණයක් කරන්නේ. මෙම දත්ත ලබාගත යුත්තේ අලින්ගේ සංරක්ෂණයටයි. අලි මිනිස් ගැටුම අවම කිරීමටයි. වන අලියා කියන්නේ වනාන්තරය අලංකාර කරන සංචාරක ආකර්ශනය ගේන සතෙක්”
අප ඊළඟට සභාපතිවරයාගෙන් ඇසුවේ අලි සමීක්ෂණය සිදුකරන පිළිවෙල ගැනයි.
“වනජීවී නිලධාරින් සහ අනෙක් සමීක්ෂණ නිලධාරින් අලි නිතර වතුර බීමට එන මංකඩ අසල රඳවනවා. උඩවලවේ වනෝද්‍යානය ගතහොත් එහි ඉන්න නියාමකවරු දන්නවා අලි නිතර දිය බීමට එන තැන් ගැන සහ එන අලි සංඛ්‍යාව පවා දන්නවා. ගියවර පැය 48ක් තුළ තමයි වනඅලි සමීක්ෂණය සිදු කළේ. මේ සඳහා සලකුණු කිරීමට දත්ත සටහනක් නිලධාරින්ට ලබා දෙනවා. ඇතින්නියන් සංඛ්‍යාව, අලි පැටව් සංඛ්‍යාව, පැටවුන්ගේ උස අඩි 3/4/ 6 ආදී වශයෙන්. ඒ වගේම රංචුවේ සිටින සතුන්ගේ විශේෂ හඳුනා ගැනීමේ ලක්ෂණ අපි සලකුණු කරනවා. උදාහරණ වශයෙන් වලිගය කොටවීම, වලිගයේ මවිල් අඩුවීම, එක් දළයක් නැතිවීම, සිරුරේ වෙඩි සලකුණු, කකුලක් කොර ගැසීම වගේ දේවල්. මේ නිසා නැවත උන් සමීක්ෂණයට ඇතුළත් වීම වළක්වා ගන්න පුළුවන්.”
පසුගිය කාලයේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් වසර හතරක් තිස්සේ ලංකාවේ අලිඇතුන් ගැන විද්‍යාත්මක සමීක්ෂණයක් ද සිදු කළහ. ඔවුන් එය සිදුකර තිබෙන්නේ ලංකාවේ භූමිය වර්ග කිලෝමීටර් 25ක කොටු විදියට ආසන්න වශයෙන් කොටු 2750 කට බෙදා වෙන් කිරීමෙනි. කොටුවක විශාලත්වය තීරණය කර ඇත්තේ අප රටේ අලින්ගේ කුඩාම සංචරණ සීමාවයි. සමීක්ෂණයේ යෙදුණු පිරිස අදාළ කොටුව ඇතුළත ජීවත් වෙන පුද්ගලයන් තුන්දෙනා බැගින් තෝරගෙන ඔවුන්ගෙන් එම ප්‍රදේශයේ හැසිරෙන අලි ඇතුන් පිළිබඳ තොරතුරු 2011 - 2015 කියන කාලසීමාවට අදාළව එකතු කර තිබේ. එම දත්තවල නිරවද්‍යතාව ඉහළ නැංවීමට 2004 - 2018 කාලය තුළ සිදු කළ GPS මගින් අලි ඇතුන්ගේ පිහිටීම හඳුනා ගැනීමේ දත්ත ද භාවිත කර ඇත. මෙම සමීක්ෂණයෙන් හෙළිව තිබෙන්නේ ලංකාවේ සමස්ත භූමියෙන් 60% ක අලිඇතුන් ජීවත් වන බවයි. මේ ප්‍රතිශතය අනෙක් රටවලට සාපේක්ෂව ඉතාම ඉහළ අගයක් ගනියි. සමීක්ෂණ දත්තවලට අනුව ලංකාවේ වන අලි ඇතුන්ගෙන් අති බහුතරයක් ජීවත් වෙන්නේ රක්ෂිත ප්‍රදේශවලින් පිටත බිම් පෙදෙස්වලය. පසුගිය අවුරුදු 55ක කාලය ඇතුළත වන අලින්ගේ නිජබිම්වලින් 16% ක ප්‍රමාණයක් අඩු වී ඇති බවද ඉන් හෙළි වූ කරුණකි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවලට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව වසර දෙකකට පෙරදී අසන්නට ලැබුණි. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි. 2023 වසරේදී ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ප්‍රහාරවලට ලක්ව මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 176කි. එම කාලය තුළදීම, අලි ඇතුන් 470 දෙනකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
අප්‍රිකානු රටවල වැඩි වශයෙන් සංගණනයට යොදා ගන්නේ සැහැල්ලු ගුවන් යානා හෝ හෙලිකොප්ටර් මගින් භූමියේ සිටින අලි ඇතුන් ගණන් ගැනීමයි. ලංකාවේ මෙන් ඝන වනාන්තර නැති නිසා එය පහසුය. මේ ක්‍රමය නිසා ඉක්මනින් වැඩි ප්‍රදේශයක් ආවරණය කිරීමට හැකිවන අතර එමගින් එකම අලියා දෙවරක් ගණනය වීමේ සම්භාවිතාව ද අඩු වේ. පසුගිය 2015-2016 කාලයේ දී අප්‍රිකානු රටවල් 18ක මහා වනඅලි සංගණනයක් සිදුවිය. එහිදී ගුවන් ගමන් වාර 286ක් ගමන් කළ අතර ගමන් කර තිබූ දුර කි.මී. 500,000ක් විය. මෙම සංගණනයේ ප්‍රතිඵල ලෙස වන අලින් විශාල වශයෙන් අඩුවී ඇති බව හෙළිවූ අතර ඉතිරිව ඇති අලි සංඛ්‍යාව 352271ක් බවට වාර්තා වී තිබේ.
ලංකාවේ වන අලි බහුතරයක් ජීවත් වෙන්නේ මහා වනාන්තර ඇතුළේ නොව ගම්මාන ආශ්‍රිතවය. රක්ෂිත නොවන කැලෑ කුට්ටිවලය. මේ නිසා අලි රක්ෂිත ප්‍රදේශවලට කොටුකර විදුලි වැට ඉදිකිරීම ඵලදායී විසඳුමක් නොවන බව පෙනේ. මේ නිසා මෙවර වන අලි සංගණනයෙන් හෝ වන අලි ගැටලුවට නිසි සංරක්ෂණ විසඳුමක් ලබාදීමට බලධාරින්ගේ ඇස් ඇරේවායි අපි ප්‍රාර්ථනා කරමු.
• සේයාරූ - අන්තර්ජාලයෙනි
• කුසුම්සිරි විජයවර්ධන