2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

විගණනයෙන් හෙළි වූ අපරාධ පැටිකිරිය

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

කොළඹ තුරඟ තරග පිටියේදී සරසවි සිසුවියක් ඝාතනය වූවාය. යාපනය ඩෙල්ෆ් දූපතේදී සිදු වූ පංච පුද්ගල ඝාතනය, අම්බලන්ගොඩ ඝාතන සිදුවීම් පෙළ, තංගල්ල කුඩැවැල්ල ඝාතනය ඇතුළු අපරාධ සිදුවීම් වැලක් 2023 වසරේදී වාර්තා විය. මිනීමැරුම්, පාතාල අපරාධ ආදී වූ මිනිස් සිත් සතන් සලිත කරන අපරාධ සිදුවීම් එදා මෙදා තුර දැකිය හැකි වුවද වර්තමානය වනවිට එකී තත්ත්වය යම් පාලනයකට නතු වී ඇති බව පෙනෙයි. එහෙත් මෑතක නිකුත් වූ විගණන වාර්තාවකින් එළියට ආවේ 2023 වසරේ මහා (බල) අපරාධවල වර්ධනයක් වී ඇති බවයි. ඒ බව හෙළිවූයේ ශ්‍රී ලංකා පොලිසියේ 2023 වසරට අදාළව නිකුත් වූ කාර්ය සාධන වාර්තාවෙනි. දකුණු ආසියානු කලාපයේ රටවල් අතර අපරාධකාරීත්ව දර්ශකයේ 6 වැනි තැන ශ්‍රී ලංකාවට හිමි වී තිබුණේ 2022 වසර ආරම්භයේදීය. එසේම ගෝලීය අපරාධ දර්ශකයේ ශ්‍රී ලංකාවේ අපරාධ ප්‍රතිශතය සියයට 3.48ක් ලෙස සටහන් විය. මේ වන විට එම දර්ශකයෙහි ශ්‍රී ලංකාවට හිමි අගය දැක්වෙන්නේ සියයට 4.6ක් වශයෙනි.

දිනෙන් දින අපරාධ වැඩිවීමට රටේ උද්ගත ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය හේතු වී ඇති බවට ප්‍රාමාණිකයන් පළ කරන මත පිළිගැනීමට සිදුවෙයි. එහෙත් නීතියේ ආධිපත්‍යය පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටී තිබීමත්, අපරාධ ඉහළ යෑමට එක් හේතුවක් බව විද්වත්හු පවසති. ඒ මිනිසුන් නීතිය තමන්ගේ අතට ගැනීමට කටයුතු කරන නිසාය. කොල්ලකෑම්වලට, මිනීමැරුම්වලට ඇති බිය ක්‍රමයෙන් අඩුවීමත්, කිසිදු චකිතයකින් තොරව මහමගදී වෙඩි තැබීම් සිදුකර මිනිස් ඝාතන කරන්නේ එම අපරාධ සංස්කෘතිය නිසා බවත්, සමාජ විද්‍යාඥයන්ගේ අදහසය. උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අපරාධ සංස්කෘතිය වර්ධනය වීමක් සිදුව තිබේ.

බල අපරාධ වාර්තා වීම සහ විසඳීම සම්බන්ධයෙන් දැක්වෙන විගණන වාර්තාවකට අනුව  2018 සිට 2022 කාලපරිච්ඡේදයේ පිළිවෙළින් 1431, 1373, 1356, 1375 සහ 1482 වශයෙන් වාර්තා වී තිබේ. 2023 වසරේදී මෙතෙක් ඉහළම අගයක් වූ 2030 ක් වාර්තා වී තිබේ. 2023 වසරේ මුල් මාස දහය ඇතුළත මනුෂ්‍ය ඝාතන 488 ක් වාර්තා වී ඇති අතර එයින් 52 ක් වෙඩි තැබීමෙන් සිදු වූ ඝාතන ලෙස හඳුනාගෙන ඇත. තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහේ පිළිවෙළින් 32, 27, 24, 24 සහ 20 ආදී වශයෙන් මනුෂ්‍ය ඝාතන වාර්තා වී ඇති බව විගණන වාර්තාව සඳහන් කරයි. මහජන ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාම සහ අපරාධ පාලනය හා වැළැක්වීම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන කාර්යයන් අටෙන් දෙකක් වන බැවින් මෙරට බල අපරාධ වාර්තා වීම වර්ධනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව පැවතුණු බව විගණන වාර්තාවේ දැක්වෙයි.

ගෙවල් බිඳීම සහ කොල්ලකෑම යන බල අපරාධ ගත්විට පසුගිය වසර 6 ක කාල පරිච්ඡේදයේ වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ 2023 වසරේදීය. ගෙවල් බිඳීමේ බල අපරාධය සම්බන්ධයෙන් සැලකීමේදී 2018 වසරට සාපේක්ෂව ගත් විට 2023 වසරේ සියයට 50 ක වැඩිවීමකි. ගෙවල් බිඳීම් විසඳීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේද 2023 වසරේදීය.

කාන්තාවන්ට එරෙහි බල අපරාධ වර්ධනය 2020-2023 කාල පරිච්ඡේදයේදී පිළිවෙළින් 595, 568, 600 සහ 759 වශයෙන් ඉහළ ගොස් තිබේ. එය 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී සියයට 27 ක වර්ධන අගයක් පෙන්නුම් කරයි. ඒ අතර සංඛ්‍යාත්මක අගය ගත් විට දූෂණ වාර්තා වීම් 182 සිට 226 දක්වාද, බරපතළ තුවාල සිදුකිරීම් 154 සිට 221 දක්වාද, පිහි ආදියෙන් තුවාල සිදුකිරීම් 74 සිට 96 දක්වාද, බරපතළ ලිංගික අපයෝජන 21 සිට 37 දක්වාද වැඩි වී ඇති බව විගණන වාර්තාවේ දැක්වෙයි. 2023 වසරේදී බල අපරාධ විසඳීම සියයට 99 ක ප්‍රගතියක් පෙන්නුම් කර ඇතත් අපරාධ වාර්තා වීම වැඩි වී ඇති බැවින් අපරාධ පාලනය සහ වැළැක්වීම පිළිබඳ ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට අවස්ථාව තිබූ බව එහි කියැවෙයි.

2023 වසරේදී මෙරට සිදුවූ අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ගිය වසරේ අගදීය. එහි සඳහන් වූයේ සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදු වූ වධ හිංසා පැමිණවීම්, භාරකාරිත්වයේ ගැටලු මෙන්ම පුද්ගල මරණ සම්බන්ධයෙන් 2023 වසරේදී මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි 200 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිපෝෂණ වාර්තාවක් ද ඔවුන් එකී ලිපියෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා පොලිසිය විසින් අධිකරණය වෙත යොමුකෙරෙන අපරාධ හෝ වැරදිවලට අදාළව තවදුරටත් පවත්වාගෙන යන අධිකරණ කටයුතු සම්බන්ධ තොරතුරු, තීන්දු ලබාගත් නඩු පිළිබඳ විස්තර, බහා තැබීම් හෝ නිෂ්ප්‍රභ වීම් වූ නඩු හා සැකකරුවන් වරදකරුවන් වූ හෝ සැකකරුවන් නිදහස් වූ යනාදී වශයෙන් විස්තර ඇතුළත් යාවත්කාලීන තොරතුරු පද්ධතියක අවශ්‍යතාව කැපීපෙනෙන අතර පොලිසියේ කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනයේදී එවැනි පද්ධතියක අවශ්‍යතාව වැදගත් බව පෙනුණද එවැනි පද්ධතියක් තවමත් නොමැති බව සනාථ වූ බව විගණන වාර්තාවේ දැක්වෙයි.

මේ ආකාරයට සැලකීමේදී අපරාධකරුවෝ විශාල පිරිසක් පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවූ යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයකදී කැරොකේ වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට ලක් වූයේ මෑතකය. එදා මෙදා තුර විවිධාකාර අරමුණු හේතුවෙන් සිදු වූ බව කියන ඝාතන සැලකීමේදී හෙරොයින් පානයට මුදල් සොයා ගැනීමට මහ පාරේ මහ දවාලේ මිනී මැරූ අවස්ථා තිබිණ. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට නිරපරාදේ ගොදුරු වූ පුද්ගලයෝද පසුගිය කාලයේ අකාලයේ ජීවිතයට සමු දුන්හ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය කුමාරි තෝරදෙණිය මහත්මිය පවසනුයේ අපරාධ සංස්කෘතිය නිර්-ප්‍රචණ්ඩ සංස්කෘතියක් දක්වා වෙනස් කළ යුතු අතර ඊට අවැසි සමාජ ප්‍රතිසංස්කරණ ඇති කිරීම කාලෝචිත බවයි. ඇය පවසනුයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මගින් එම ප්‍රතිසංස්කරණවලට යෑමට පහසුවක් වනු ඇති බවයි. සෑම පුරවැසියකුටම ගෞරවපූර්ව ලෙස ජීවත් විය හැකි සමාජ ක්‍රමයක් ඇති කළ යුතුය. එය සමාජ වගකීමකි. නිදහස් නිවහල් දේශයක් බිහි කිරීමට නම් මේ සමාජයෙන් අපරාධ තුරන් කිරීම අත්‍යවශ්‍යය.

• සසංක චලන ගිම්හාන