ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍යයේ මූලික ආයතන ත්‍රිත්වය අතරින් කවරක් උසස් වේද? එය කිසිවිට සරල පිළිතුරක් සහිත ප්‍රශ්නයක් නොවේ. එකිනෙකාගේ බලතල තුලනයන්ට සහ සංවරණයන්ට ලක්කර ගනිමින් ගැටුමකින් තොරව මෙම ආයතන රාජ්‍යයේ පැවැත්ම තහවුරු කරමින් ඉදිරියට යා යුතුය.
එහෙත් විටින් විට මෙම ආයතන අතර අභ්‍යන්තර ගැටුම් නිර්මාණය වන අයුරු අපි දැක ඇත්තෙමු. එවන් ගැටලු රාජ්‍යයේ යහපැවැත්මට එල්ල කරනුයේ දැඩි බලපෑමකි. වර්තමානයේ පොලිස්පති අවුල ද ඊට කදිම උදාහරණයකි. මේ වන විට පොලිස්පති අවුල ජනතා පරමාධිපත්‍යය උරගා බැලෙන ජනාධිපතිවරණය වෙතද බලපෑම් කරමින් තිබේ.
ඒ පිළිබඳව ඉකුත් සතියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම පැවති රැස්වීමකදී මෙලෙස පැහැදිලි කොට තිබුණි.
“මැතිවරණ කොමිසමෙන් මේ පිළිබඳ විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ද යුතුකමක් තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 වැනි වගන්තිය යටතේ මැතිවරණ කොමිසමට පොලිස් නිලධාරින් ලබාගත හැක්කේ පොලිස්පතිවරයා මාර්ගයෙන් පමණයි. නියෝජ්‍ය පොලිස්පතිගෙන් නොවෙයි. මෙය පොලිස්පතිතුමාගෙන් ඉදිරිපත් විය යුතුයි.
පොලිස්පතිවරයෙක් නැත්නම් එම නිලධාරින් ලබාගන්නේ කොහොමද? අවශ්‍ය පොලිස් නිලධාරින් ප්‍රමාණය මේ සතියේ ඉල්ලන්න ඕනෑ. පසුව ඉල්ලුවොත් එය කරන්න බැරි වෙනවා. එවිට මැතිවරණය පැවැත්වීමට නොහැකි වෙනවා. ඒ නිසා මෙය ඉතා වැදගත්. එබැවින් මැතිවරණ කොමිසමෙන් මෙය විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු යුතුකම වුණා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම වුණේ මැතිවරණ කොමිසමෙන් මෙම කරුණු විමසා තීරණයක් ලබා දීමයි. එය සිදු නොකිරීම නිසා තමයි විශාල ගැටලුවක් මතු වී තිබෙන්නේ.”
මේ ආකාරයටම මෙම ගැටලුව ආරම්භ වන්නේ පොලිස්පති පත්කිරීමේදී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් පෙළ හේතුකොට ගනිමිනි. ඉතා සරලව සිහිපත් කළහොත් ජනපති පොලිස්පති නාමය නිර්දේශය කොට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කළ අවස්ථාවේදී ලැබී තිබුණේ බෙදුණු තීන්දුවකි. මෙහිදී තීරක ඡන්දය භාවිත කිරීමට පවා කතානායකවරයාට සිදුවිය. එහෙත් එම ඡන්දය භාවිත කළ ආකාරය සහ අදාළ නිර්දේශය පිළිබඳ විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියේය. අධිකරණය දක්වා ගමන් කළේ මෙම අවුලයි. මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබිණි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූයේ මේ සමඟයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වූ සැණින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප තැන්පත් කළේය. මේ සමඟ ඔහු ජනාධිපති අපේක්ෂකයකු බවට පත්වූ අතර වැඩ බලන පොලිස්පතිවරයකු පත්කිරීම සම්බන්ධව නිර්මාණය වූයේ අවුලකි.
මෙම පත්කිරීම තමාගේ තීරණයක් නොව ව්‍යවස්ථාදායකයේ තීරණයක් බවත් එය ව්‍යවස්ථාදායකය විසින් විසඳාගත යුත්තක් බවත් විධායකය පාර්ශ්වයෙන් කියැවෙන්නට විය. සංවාදය පාර්ලිමේන්තුව වෙත ගමන් කළේ ඒ අනුවය.
මෙහිදී ආණ්ඩුව වෙනුවෙන් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරයාගේ ප්‍රකාශය තරමක් බරපතළ එකක් විය.
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගයෙන් ධුරයේ සිටින පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි නීත්‍යානුකූලව ඉවත් කිරීම කළ හැක්කේ.”
“පවතින නීතිය අනුව ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්න ප්‍රතිපාදන නැහැ. එබැවින් ජනාධිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස වෙනත් අයකු පත් කරනු ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපේක්ෂා කළ නොහැකි මේ තත්ත්වය මත.” ව්‍යවස්ථාදායකයේ තීන්දුවක් අධිකරණය ප්‍රශ්න කිරීම සම්බන්ධවද මෙහිදී ගැටුම්කාරී මතවාද ඉදිරිපත් ඉදිරිපත් විය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කණ්ඩායම් වෙතින් මෙම ප්‍රකාශය සම්බන්ධව දැඩි විරෝධයක් පළ විය. කතානායකවරයා ප්‍රකාශයට පත් කළේ මෙවන් තීරණයකි. ඔහු ව්‍යවස්ථාදායක සභාවේ දී ගත් තීරණයේ වරදක් නොමැති බව කීය.
“ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු නිලධාරීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(සී) වගන්තිය යටතේ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ අනුව ගිහිල්ලයි ඒ කටයුත්ත කරන්න ඕනෑ. එහෙම නැත්නම් ආපහු ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එතැනින් මේ තීරණය ගන්න ඕනෑ. දැන් ජනාධිපතිවරයාටවත් මේ තීරණය ගන්න බැරි තැනක තමයි මට නම් පේන විදිහට තියෙන්නේ. මම වැරදි නම් උසාවියට ගිහිල්ලා ඒක ඔබතුමන්ලා නිවැරදි කර ගන්න.”
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට එම අර්බුදය තවත් මාවත් කිහිපයක් ඔස්සේ විකාශනය වන බව පෙනී ගියේය. ජනාධිපතිවරයා හෝමාගම දී කී මෙම කතාවෙන් එය තවදුරටත් පැහැදිලි විය.
“මෙම බිම් බෝම්බය පිපිරීමට දෙනවද? එය නිෂ්ක්‍රිය කරනවද කියන තීරණය අප ගත යුතුයි. මෙය පිපිරෙන්න දෙන්න බැහැ. මෙය කොටස් වශයෙන් ගලවා නිෂ්ක්‍රිය කළ යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන දෙකම ක්‍රියා කළ යුතුයි.
ඒ නිසා කතානායකතුමයි, අගවිනිසුරුතුමයි දෙදෙනාම සාකච්ඡා කර මෙම ප්‍රශ්නය විසඳන ලෙස මම කියනවා. මම කතානායකවරයාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා, අගවිනිසුරුතුමා සමඟ කතා කරන්න මම සූදානම් කියලා. මම අගවිනිසුරුතුමාටත් දැනුම් දෙන්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. අපි මෙම ප්‍රශ්නය මේ සතිය තුළ විසඳාගත යුතුයි.”
මේ අතර පසුගිය 30 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු පළමුවරට මැතිවරණ කොමිසම ද රැස්විය. මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පිරිස රැස්වූ අතර පොලිස්පති ගැටලුව පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයා ජනපති අපේක්‍ෂකයකු බවට පත්වුවද වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිට කිසිදු නීතිමය බලපෑමක් නොමැති බවද අදාළ නිල රාජකාරි ඉටු කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. විමල් රත්නායක මහතා මේ පිළිබඳව කළ විමසීමක දී පවසා තිබේ.
මේ අතර විපක්ෂ කණ්ඩායම් අතරින් ලැබෙමින් පවතින ආරංචි මාර්ග සඳහන් කරන්නේ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම අවසන් විකල්පය බවට පත්වෙමින් ඇති බවකි. ජනාධිපතිවරයා ඉදිරි සතියක පමණ කාලය තුළදී මෙම සාකච්ඡා සියල්ල අවසානයේදී වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරනු ඇතැයි එම පිරිස් කියා සිටිති.
කෙසේ වෙතත් අවසානයේ සඳහන් කළ යුත්තේ රාජ්‍යයේ ව්‍යුහය සකස් වී ඇත්තේ ජනතාවගේ සුබසිද්ධිය සහ අයිතින් ආරක්ෂා කිරීමට විනා එකිනෙකා අතර කුලල් කා ගැනීමට නොවන බවයි. කිසි ලෙසකින්වත් මෙම ගැටලුව ජනතා පරමාධිපත්‍යය කෙරෙහි බලපෑම් සහගත මැතිවරණයට බාධාවක් නොවිය යුතුමය.
• චමිඳු නිසල් ද සිල්වා