2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

කාලයයි අමාරුවයි දෙකම අඩු කරන නව ඊ රියදුරු බලපත්‍රය

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

මුද්‍රිත රියැදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියැදුරු බලපත්‍රයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි. එම බලපත්‍රය හිමි පුද්ගලයාගේ සියලු තොරතුරු QR කේතය සහිත නව බලපත්‍රයේ අන්තර්ගත වන අතර, දිමගන් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන රියැදුරු අසාදු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීමටද පහසු වනු ඇත. දැනට නිකුත් කිරීමට ඇති කාඩ්පත් රියැදුරු බලපත්‍ර සියල්ල නිකුත් කොට අවසන් වූ පසු ඉදිරියේදී නිකුත් කෙරෙන සියලු රියැදුරු බලපත්‍ර නව ක්‍රමය යටතේ නිකුත් කිරීමට නියමිතය. මේ වන විට නව ඊ රියැදුරු බලපත්‍රය හඳුන්වා දීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ඕනෑම රටක මෝටර් රථයක් පැදවීමට නම් රියැදුරු බලපත්‍රයක් අත්‍යවශ්‍යය. පසුගිය කාලයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර ලක්ෂ ගණනක් ලැබිණි. එහෙත් ඒවා නිකුත් කිරීම සිදුවූයේ ඉබි ගමනිනි. රියැදුරු බලපත්‍ර ලබා දීමේදී විවිධ අක්‍රමිකතා සිදුවන බවටද ජනතාව චෝදනා කරන්නට වූහ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සේවා ලබා ගැනීම සඳහා දිනකට හාරදහසත් පන්දහසත් අතර ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණීම හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වූ බව පැවසිණි. ගැටලුවට පිළියම් ලෙස දිනයක් හා වේලාවක් කලින් වෙන් කරගෙන පැමිණිය යුතු බවට වන තීන්දුවක් ගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පියවර ගත්තේය. මෙම ක්‍රියාවලිය තුළින් දිගු පෝලිම්වල නොසිට අවම කාලයක් තුළ ඉල්ලුම් පත්‍ර බාර දිය හැකි විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සෑම වසරකම රියැදුරු බලපත්‍ර ලක්ෂ 9ක් පමණ නිකුත් කිරීමට සිදු වේ. පසුගිය සමයේ පැවැති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය හිඟය හේතුවෙන් නිසි වෙලාවට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් අයැදුම්පත් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව තුළ ගොඩ ගැසිණි. එම කාලය තුළ මුද්‍රිත රියැදුරු බලපත්‍රය වෙනුවට ලබා දුන්නේ තොරතුරු ඇතුළත් තාවකාලික කඩදාසි බලපත්‍රයකි. එහි ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් තාවකාලික රියැදුරු බලපත්‍ර හිමිකාරීන් වීමය. පසුව දෙපාර්තමේන්තුවට කාඩ්පත් ලබාගත හැකි වුවද තාවකාලික බලපත්‍ර වෙනුවට කාඩ්පත් මුද්‍රණය කිරීම සඳහා විශාල කාලයක් ගත විය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කිරීමට පෙර ඒවා මුද්‍රණය කළේ ශ්‍රී ලංකා යුද හමුදාවය. යුද හමුදාවෙන් දෙපාර්තමේන්තුවට එම කාර්යය පවරා ගන්නා විට අලුතින් කාඩ්පත් නවලක්ෂ පනස් හත්දහසක් මුද්‍රණය කිරීමට ඉතිරිව තිබිණි.

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ඇති මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින්ද අයැදුම්පත් විශාල ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබේ. ඒ මාර්ගගත සහ සාමාන්‍ය ක්‍රමයටය. රියැදුරු බලපත්‍රයක් එහි හිමිකරුට ලබා දීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් සිදු වේ. සියලු තොරතුරු දත්ත පද්ධතියට එක් කෙරෙන අතර ඒ අනුව දිනකට අයැදුම්පත් 1500ක් පමණ දත්ත පද්ධතියට එක් කෙරේ. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලවලද මුද්‍රණ කටයුතු සිදුකෙරෙන අතර, එක්දින සේවය යටතේ ද දිනකට රියැදුරු බලපත්‍ර 600ක් පමණ නිකුත් කෙරේ.

මුද්‍රිත රියැදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියැදුරු බලපත්‍රයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගත්තේ පවතින අර්බුදයට පිළියමක් ලෙසිනි. ඒ අනුව මයික්‍රොප්‍රොසෙසර් චිපයක් සහිත රියැදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත රියැදුරු බලපත්‍රයක් නුදුරේදීම ජනතාවට හිමිවනු ඇත. නව ඩිජිටල් රියැදුරු බලපත්‍රය හඳුන්වා දෙන බවට මුලින්ම ප්‍රකාශ වූයේ 2022 වසරේය. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ නියෝජ්‍ය කොමසාරිස් සුරංගි පෙරේරා මහත්මිය නව රියැදුරු බලපත්‍රය සම්බන්ධයෙන් මෙලෙස  සඳහන් කරයි. 

“අපි දැනට රියැදුරු බලපත්‍රය ලබා දෙන්නේ කාඩ්පතක් ලෙසයි. ඒ වෙනුවට  ඉදිරි කාලයේ ඊ රියැදුරු බලපත්‍රයක් ලබා දීමට කටයුතු කරනවා. එහිදී කාඩ්පතක් මුද්‍රණය කර ලබා දෙන්නේ නැහැ. විශේෂ යෙදවුමක් හරහා ඔබේ දුරකථනයට රියැදුරු බලපත්‍රය ලැබෙනවා. එවිට ඔබේ රියැදුරු බලපත්‍රයේ සියලු තොරතුරු දුරකථනයෙන් බලාගත හැකියි. නිවසේ සිටම නව රියැදුරු බලපත්‍රයක් ඉල්ලුම් කිරීමට, අලුත් කිරීමට හෝ නැතිවූ බලපත්‍රයක් ලබාගැනීමට එමගින්  හැකි වෙනවා. එවිට රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයකුට ආයතනයට පැමිණීමට අවශ්‍ය නැහැ. අනවශ්‍ය ගැටලුවලට මුහුණ දීමට හෝ අනවශ්‍ය ලෙස කාලය නාස්ති වීමක් සිදුවන්නේ නැහැ. දැනට රියැදුරු බලපත්‍රය මුද්‍රණය කරන කාඩ්පත්  ආනයනය කරන්නේ විදේශ රටවලින්. නව ක්‍රමයේ දී කාඩ්පතක් මුද්‍රණය නොකරන බැවින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා. වසරකට ලක්ෂ දහයක් පමණ කාඩ්පත් අපි දැනට මුද්‍රණය කරනවා. ඒ සඳහා වැයවෙන සම්පූර්ණ වියදම නව ක්‍රමය නිසා රටට ඉතිරි වෙනවා.”
දෛනිකව ලබා දෙන රියැදුරු බලපත්‍ර ප්‍රමාණයට අමතරව පසුගිය කාලයේ ලබා දීමට නොහැකි වූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට සිදුවීම හේතුවෙන් 24 පැයේම ක්‍රියාත්මක මුද්‍රණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට දෙපාර්තමේන්තුවට සිදු විය. මේ වන විට එලෙස සිරවී තිබූ ලක්ෂ දහයකට ආසන්න රියැදුරු බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ දෙකක් දක්වා අවම කර ගැනීමට දෙපාර්තමේන්තුව සමත් වී සිටියි. එම ප්‍රමාණය ද අගෝස්තු මස මැද භාගය වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව ඊ රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට පියවර ගැනීමත් සමඟ දැනට ක්‍රියාත්මක රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දිගු ක්‍රියාවලිය, දුෂ්කරතා සහ කාලය අවම වනු ඇත. එවිට මහජනතාවට කඩිනමින් තම රියැදුරු බලපත්‍රය ලබාගත හැකිවනු ඇත.
 
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා