සල්ලි සොයමු පිටුව අපි ඔබට දිගින් දිගටම සාර්ථක වුණු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් පිළිබඳ රසවත් කතන්දර ඔබට අරගෙන එනවා. ඔවුන්ගේ ජීවිත හා සබැඳි ඒ අපූරු කතාන්දරවලින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, ව්‍යාපාරික හීන ජයගන්න පාඩම් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ අතරම විටින් විට අපි ඔබ වෙනුවෙන් ව්‍යාපාරික ඥානය ලබා දෙන්නත් කටයුතු කරමින් සිටිනවා. අද දවස වෙන් වන්නේ එවන් කටයුත්තකට.
කුඩා ව්‍යාපාරයක් (Small business) ආරම්භ කරන්නේ කොහොමද? කුඩා ව්‍යාපාරයක දී සැලකිලිමත් විය යුතු කාරණා මොනවාද? කුඩා ව්‍යාපාරයක අලෙවිකරණය උපාය මාර්ග මොනවාද? අපි මේ හා සම්බන්ධව කතා කරන්න තීරණය කළා.
කුඩා ව්‍යාපාර තුළ අලෙවිකරණය ගැන අපි හිතන්නේ ඕනෑ කොහොමද?
අලෙවිකරණය කියන්නේ ඉතා සරලව කිව්වොත් ඔබේ ව්‍යාපාරය අනාගත පාරිභෝගිකයන් වෙත ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියයි. මෙහිදී ඔබ සිදු කරන්නේ ඔබ නොදන්නා පුද්ගලයන්ට ඔබේ ව්‍යාපාරය දකින්නට, ඔබේ ව්‍යාපාරය වෙත නිරාවරණය වන්නට අවකාශය සලසා දීමයි.
ඒත් විශාල වෙළෙඳ නාම සහ දැවැන්ත ව්‍යාපාරවලට වඩා කුඩා ව්‍යාපාරවලදී මේ සඳහා වන ප්‍රවේශය ටිකක් වෙනස්. මන්ද ඔබ සතු සම්පත් බොහොම සීමිතයි. ඉන්නේ සුළු පිරිසයි. ඒ වගේම ලොකු අයවැයක් කුඩා ව්‍යාපාරයක් සතුව නැහැ. එනිසාම අලෙවිකරණය (Marketing) කියලා කියන්නේ ඔබගේ ව්‍යාපාරය තුළින් වැදගත් කොටසක්.
ඒක මේ විදියට සරලව තේරුම් ගන්න පුළුවන්. කුඩා ව්‍යාපාරයක් කරගෙන යන ඔබට ඵලදායී අලෙවිකරණ උපාය මාර්ගයක් නොමැති නම් ව්‍යාපාරයට අදාළ විකුණුම් සිදු කිරීමට සහ ව්‍යාපාරය වර්ධනය කිරීමට විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ හරහා ව්‍යාපාරිකයෙක් විදිහට ඔබට මුහුණ දෙන්න වෙන පීඩනය විශාලයි. ඒ නිසාම ව්‍යාපාරයේ තිරසාර පැවැත්මත් අභියෝගයට ලක් වෙනවා. සරලව කිව්වොත් වැඩේ ඔයාට එපා වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් තේරුම් ගන්න අලෙවිකරණය පිළිබඳ මනා අවබෝධයක් හා පාලනයක් ඔබ සතු විය යුතුමයි.
සාර්ථක අලෙවිකරණය තුළින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයාට ලැබෙන ප්රතිලාභ මොනවාද?
විශාල පාරිභෝගිකයන් පිරිසක් වෙත ළඟා වෙන්න පුළුවන්.
ඔබ දන්නවා ඕනෑම ව්‍යාපාරයක් රඳා පවතින්නේ පාරිභෝගිකයන් මත. කුඩා ව්‍යාපාර තුළ දී අලෙවිකරණය මගින් ඔබ සහ පාරිභෝගිකයන් අතර පවතින ප්‍රවේශ දොරටුව පුළුල් වීම සිද්ධ වෙනවා. විශාල පිරිසක් අතරට ඔබේ ව්‍යාපාරය හඳුන්වා දෙන්න පුළුවන් නම් ඔබට හොයාගන්න පුළුවන් පාරිභෝගිකයන් සංඛ්‍යාව සාපේක්ෂව වැඩියි. අවධානය ලැබීමම ලාභය ඉහළ යන්න හේතුවක්.
වෙළෙඳ නාමය ශක්තිමත් කරගන්න පුළුවන්
පාරිභෝගිකයන් ඔවුන් දන්නා, කැමති සහ විශ්වාස කරන සමාගම්වලින් භාණ්ඩ මිලදී ගන්න දක්වන්නේ ලොකු කැමැත්තක්. ඔබ වෙළෙඳපොළට ගියත් ඔබ නොදන්නා සමාගමක යමක් ගන්න කලින් දෙපාරක් හිතනවා. ඔබ වෙළෙඳ නාමයක් විදිහට අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය කරද්දී ඔබ ඉලක්ක කරන පිරිසක් එක්ක නිතරම සමීපව ඉන්න ඔබට පුළුවන්. කුඩා ව්‍යාපාරයකදී කුඩා පිරිසක් ඔබ වටේ හිටියත්, ඔවුන් නමට සමීපව හිටියොත් තමයි ඔබේ නම ශක්තිමත් වෙන්නෙ. මේ සමඟම ඔබේ ව්‍යාපාරික නාමය කීර්තියට පත් වෙනවා.
තරගකරුවන් සමඟ කරට කර සටනකට ශක්තියක්
ඔබ කුඩා ව්‍යාපාරිකයෙක් වුණත් ඔබට තරගකරුවන් ඉන්න පුළුවන්. තරගකාරීත්වය කියලා කියන්නේ ව්‍යාපාරික ලෝකයේදී සෑම මට්ටමකම දැකගන්න පුළුවන් දෙයක්. විශේෂයෙන්ම කුඩා ව්‍යාපාරිකයන් තරගකාරීත්වය හමුවේදී නිසි අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය නොකළොත් බිඳ වැටෙන්න පුළුවන්. එනිසා අලෙවිකරණය ඔබට ගොඩක් වැදගත්.
කොහොම නමුත් අලෙවිකරණයේදී සාර්ථක වෙන්න මූලික කරුණු කිහිපයක් පිළිබඳව කුඩා ව්‍යාපාරිකයෙක් වුණත් ඔබ අවධානය යොමු කරන්න ඕනෑ. අපි ඒ අතරින් වැදගත් කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කරන්න කැමතියි.
මේ අතරින් පළවෙනි කාරණාව තමා ඔබේ ඉලක්කගත වෙළෙඳපොළ දැනගන්න පැහැදිලි දැනුවත්භාවයක් ඇතිකර ගැනීම. ඔබේ ඉලක්ක කරන පිරිස කවුරුන්ද කියන කාරණාව පිළිබඳ ඉතාම පැහැදිලි චිත්‍රයක් ඔබට තියෙන්න ඕනෑ. මෙහිදී ඔබ ඔවුනට ලබා දෙන දේ සහ ඔවුන් ඔබෙන් මිලදී ගැනීමට වැඩි ඉඩක් ඇති දේ ගැන සිතා බලන්න.
උදාහරණයක් විදිහට ඔහු කුඩා අවන්හලක් නම් කරගෙන යන්නේ ඔබ මෙහෙම හිතල බලන්න. ඔබේ ප්‍රදේශයේ මොන වගේ පිරිසක්ද ජීවත් වෙන්නේ, මේ අතරින් කවුරුන්ද ඔබ ඉලක්ක කරන්නේ, ඒ අයට වැඩිපුරම ඔබෙන් ඕනෑ වෙන්නෙ මොන වගේ ආහාරද? වගේ දේවල් පිළිබඳ ඉතාම ගැඹුරින් ඔබ සිතා බැලීම වැදගත්.
දෙවැනි කාරණාව විදියට ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබ ඉලක්ක කරන පිරිස වෙත සමීප වීමට මාධ්‍යයක් තෝරා ගැනීම පිළිබඳව. සරලවම කිව්වොත් ඔබ ළඟා වෙන්න ඕනෑ කා වෙතද කියලා ඔබ දන්නව නම් ඊළඟට ඔබ කල්පනා කරන්න ඕනෑ ඔවුන් වෙත ළඟා වෙන්නේ කොහොමද කියලා.
මේ වෙනකොට ලොව පුරා කුඩා ව්‍යාපාර ඩිජිටල් වේදිකාවල් ඇතුළේ ස්ථාපිත වෙලා තියෙනවා. එවන් විටකදී ඔබ ඉලක්ක කරන පිරිස ඩිජිටල් හා සැබෑ ජීවිතයේදී සිටින්නේ කොතැනද යන්න ගැන සිතීම වැදගත්. ඔවුන් සිටින්නේ කොතැනද කියල දැනගත්තට පස්සේ ඔවුන්ව හමුවෙන විදිය ඔබට පැහැදිලිව පෙනේවි. සමාජ මාධ්‍ය සටහන්, පින්තූර, වීඩියෝ වගේ දේවල් ඔබේ මාධ්‍ය වෙන්න පුළුවන්. කූපන් තැපෑල වෙනත් මාධ්‍යයක් වුණත් ඔබගෙන් ව්‍යාපාරයට ගැලපෙන විදියට භාවිත කිරීමේ හැකියාව ඔබට පවතිනවා. ඔබ හරි මාධ්‍ය තෝරාගෙන හරියට ඔබගේ ඉලක්කගත පිරිස ස්පර්ශ කළොත් වාසනාව ඔබ කරා ළඟා වීමට ඇති සම්භාවිතාව ගොඩක් ඉහළ යනවා.
ඔබේ අලෙවිකරණ ප්‍රවේශය සැලසුම් කරන එක තමයි මීළඟට වැදගත්ම වැඩේ. මෙහිදී ඔබේ ඉලක්කගත වෙළෙඳපොළ සම්බන්ධ කරගන්න සැලැස්ම ගැන ඔබ හිතලා බලන්න ඕනෑ. කුඩා ව්‍යාපාරයක් කරන නිසා ඒ සැලැස්ම ඔබේ තරමට ගැලපෙන එකක් වෙන්න ඕනෑ බව මතක තියාගන්න. ලොකු අය කරන ලොකු ලොකු දේවල් එක පාර කරන්න ගිහිල්ලා සමහරු මෙතැනදී සැලසුම අවුල් කර ගන්නවා.
ධාරිතාව හඳුනාගෙන මනා කළමනාකාරීත්වයකින් සැලසුම සකස් කරගන්න පුළුවන්. ව්‍යාපාර එක්ක අලෙවිකරණය වෙනත් කෙනෙක් අතට පත් කරන්න ඔබට තියෙන හැකියාව සීමිතයි. විෂය දන්න කෙනකුගෙන් දැනුම ලබාගන්න ඔබට ඕනෑ නම් පුළුවන්. හැබැයි ඔබේ හැඩතලය සහ ඔබේ හැකියාව දන්නේ ඔබ නිසා සැලසුම ක්‍රියාවට නැංවීමේ කාර්යයේ ප්‍රධාන භූමිකාවක් ඔබට නිරූපණය කරන්න සිද්ධ වෙනවා. බාහිර කෙනෙක් මේ සඳහා යොදාගත්තත් ඔබ සමීප නිරීක්ෂකයෙක් විය යුතුමයි. උදාහරණයක් විදිහට සමාජ ජාලා තුළ මෙම සැලසුම් මෙහෙයවන විට ඉතාම වැදගත්.
කුඩා ව්‍යාපාරිකයන් අලෙවිකරණය පිළිබඳ සිතා බැලිය යුතු තවත් බොහෝ කරුණු තිබෙනවා. මේක දැවැන්ත විෂයයක්. ඒත් කුඩා ව්‍යාපාරිකයෙක්ට එකවරම මේක විෂයයක් විදිහට හැදෑරීම හෝ මේකේ ඉගෙනගෙන පසුව ව්‍යාපාර කිරීම කරන්න බෑ. එනිසා මූලික දැනුම හොයාගෙන හිමින් සීරුවේ වැඩේ කරගෙන ගියොත් ඔබට අවශ්‍ය දැනුම සම්පාදනය වේවි. ඔබ දැනුම සොයා යන්නෙක් නම් ඔබට දැනුම හොයාගන්න ඕනෑ තරම් මාවත් විවර වන බව සහතිකයි.
• චමිඳු නිසල් ද සිල්වා