2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

මහ පුටුවට සටනක් දෙන කට්ටිය

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:03 201

මෙවර ජනපති අපේක්ෂකයෝ ඕසෙටය. දැන් ජනාධිපති අපේක්ෂකකම හරියට එක වසරට දරුවන් ඇතුළත් කරගන්නට ඉල්ලුම්පත්‍ර ගන්නවා හා සමානය. ඒ තරමට තරගකරුවෝය. දිනන්න හීනයක් හෝ පේන මානයක් නැති අපේක්ෂකයන්ද තරග බිමේය. ඒ මොන දේ කිව්වත් සුදුසුකම් සපුරන්නේ නම් ඕනෑම ශ්‍රී ලංකා පුරවැසියකුට මේ තරගයට ඉදිරිපත් විය හැකිය. එය එක් පැත්තකින් අයිතියකි. ඒ නිසා දින්නා හෝ නැතා ඒ හැම අපේක්ෂකයකු ගැනම කීම අපේ යුතුකමකි.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවාද නැද්ද යනුවෙන් බොහෝ අයට දෙඟිඩියාවක් තිබිණි. ඇතැම් අය කීවේ, “රනිල් එන්නේ නෑ” කියාය. එහෙත් ආණ්ඩුවේ අය කිව්වේ, “ලොක්කා මේ පාර ඉල්ලනාවමයි” යනුවෙනි. කෙසේ වෙතත් පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර කඩවත පැවති රැස්වීමකදී පොහොට්ටුවේ අය යෝජනා කළේ මෙවර රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවය. එහෙත් එදා ජනාධිපතිවරයා කීවේ වෙලාව ආ පසුව ඒ ගැන කියන බවය. ඒ අනුව ඡන්ද දිනයත්, නාමයෝජනා බාරගන්නා දිනයත් කී පසු ගාල්ලේ පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයා තමන් තරගයට එන බව කීවේය. කිව්වා පමණක් නොව, ඔහු හැමෝටම කලින් ගොස් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ඇප මුදල් තැන්පත් කළේය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තිබූ ගැටය ලිහිණි.

ඊට පසුව තිබුණේ පොහොට්ටුවේ මතය දැනගන්නටය. පොහොට්ටුව මුල සිටම කීවේ තමන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවය. ඔහු දිනන අපේක්ෂකයා බවය. ගොඩක් අය සිතුවේ ඒ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවය. පොහොට්ටුවේ බහුතරයක් එළිපිට රනිල් ඕනෑ කියන නිසා ඒ සැකය එන්න එන්නම වැඩි විය. එහෙත් ඇතැම් අවස්ථාවල පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් සහ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාට එල්ල කළ සැර ප්‍රහාර හමුවේ එය සිදු නොවන බවක් පෙනිණි. එපමණක් නොව, කසුකුසුව තිබුණේ ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ අපේක්ෂකයා ව්‍යාපාරික ධම්මික පෙරේරා බවටය. ඒ නිසා වෙනම අපේක්ෂකයකු එන බව බොහෝ දෙනා සිතූහ. එහෙත් ඒ සියල්ලට උත්තර ලැබීමට තිබුණේ පසුගිය සඳුදාය. ඒ පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය කැඳවා අපේක්ෂකයා ගැන තීරණය ගැනීමට නියමිත වූ බැවිනි. ඒ අනුව එදා රැස්වීම පැවැත්විණි. එහිදී එතැන සිටි 11 දෙනකු හැර බහුතරයක් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව කීහ. අවසානයේදී රනිල්ට සහාය ලබාදීම පොහොට්ටුව අත් හැරියේය. රනිල් වික්‍රමසිංහ ඕනෑම කියන අය කඩාගෙන ඔහු වෙතට ගියහ.

ආණ්ඩුව තුළ වූ ප්‍රශ්නය එසේ අවසන් විය. මේ අතර සමගි ජන බලවේගයේ අපේක්ෂකයා තම මෙහෙයුම ආරම්භ කර තිබුණි. එම මෙහෙයුම දෙදෙනකුට බාර විය. ඒ කබීර් හෂීම් මන්ත්‍රීවරයාට සහ ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා මහතාටය. ඒ දෙදෙනා මැතිවරණ  මෙහෙයුම සිදුකිරීම දැනටමත් ආරම්භ කර ඇත. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් ද තැන්පත් කිරීම ද සිදු කෙරිණි. සමගි ජන බලවේගය සමඟ කරට කර සිටින ජාතික ජන බලවේගයද ලහිලහියේ සිය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් ඇත. එහෙත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ප්‍රචාරණය සඳහා පක්ෂය තුළ මුදල් ප්‍රමාණවත් නොමැති බවයි. පුදුමය නම් අනුර කුමාර දිසානායකට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තවදුරටත් මුදල් සැපයීමට කටයුතු කිරීමය.

මේ අතර ජනාධිපති තරග බිමේ තවත් කැපීපෙනෙන තරගකරුවන් දෙදෙනෙකි. ඒ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාය. මේ දෙදෙනාම තමන් ජනාධිපතිවරණය සඳහා තරග කරන බව එකම දිනකදී ප්‍රකාශ කළහ. එහෙත් තවමත් ඇප මුදල් තැන්පත් කර නැත. විජයදාස රාජපක්ෂ මහතා මෙවර තරග කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වයේ අපේක්ෂකයා ලෙසය. එහෙත් එය නිත්‍යනුකූලව ඔහුට ලබාදිය හැකිද නැද්ද යන්න අපි නොදනිමු. ඒ, පක්ෂය සඳහා එක් එක් කණ්ඩායම් විසින් අයිතිවාසිකම් කියන බැවිනි. කෙසේ වෙතත් නිමල් සිරිපාල පාර්ශ්වය සඳහන් කරන්නේ ඔවුන් ශ්‍රීලනිපය වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවය. මේ අනුව ශ්‍රීලනිප පාක්ෂිකයා කුමක්ද කළ යුතුද යන්න ගැටලුවකි.

මේ අතර තමන් තවමත් නිශ්චිතවම ජනපතිවරණයට තරග කරන බවට ප්‍රකාශයට පත් නොකළ අපේක්ෂකයන් කිහිප දෙනෙක්ද සිටිති. බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පසුගියදා ඇප තැන්පත් කරන්නට පැමිණියහ. එහෙත් මුදල් පසුම්බිය දමා ආ බව පවසමින් හාමුදුරුවෝ හැරී ගියහ. ආයේ දැකගැනීමට ලැබුණේද නැත. අනෙක් කෙනා වන්නේ හතර වටේම පෝස්ටර් අලවා ඇති ජේ.ආර්. ය. ඒ මහජන උපයෝගීතා කොමිසමේ සිටි ජනක රත්නායකය. කොළඹ පුරාම එකම විකල්පය කියා දැන්වීම් ඇලවුවත් තවමත් ඔහු තරගයට එන බව ප්‍රකාශය කර නැත. එහෙත් මේ අතර සිටින ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඒ.එස්.පී. ලියනගේ මහතා පසුගියදා ඇප තැන්පත් කළේය. ඔහු දැන් චා‍රිත්‍රයක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පුරුදු වී සිටියි.

මීට අමතරව කණ්ඩායම් කිහිපයක් කස්තිරම් නටා ආවත් තවම අපේක්ෂකයා ගැන අදහසක් නැත. රට වටේම ගොස් රොටි කෑ දිලිත්ගේ නායකයත්වයෙන් යුත් විමල්, ගම්මන්පිල සන්ධානයේ අපේක්ෂකයා කවුදැයි අනාවරණයක් නැත. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තරගයට ඉදිරිපත් වන බවට ආරංචියක් පවතී. මේ අතර පසුගිය කාලේ තමන් අලුත් සන්ධානයකින් තරග කරන බව කියූ දයාසිරි ජයසේකර, සමගි ජන බලවේගය සන්ධානයේ කොටස්කරුවකු වීමට නියමිත බව සඳහන්ය. ඔහු සහාය දක්වන්නේ ප්‍රබල අපේක්ෂකයකුට නිසා ඔහුගේ හීනය කල් දමා ගන්නට ඇත.

මේ අයුරින් විවිධ පුද්ගලයන් මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින්නට ඉදිරිපත් වනු දක්නට ලැබේ. එළඹෙන සතියේ තවත් නම් ගම් එකතු විය හැකිය. එහෙත් ඇප මුදල් තැන්පත් කළ පමණින් අපේක්ෂකයන් ඉදිරිපත් වන බව නිශ්චිතව කිව නොහැක. ඒ නිසා වෙන්නේ කුමක්දැයි නාමයෝජනා බාරදෙන තෙක් අපි නොදනිමු. එදාට මීට වඩා හොඳ හොඳ කතා අසන්නට ලැබෙනු ඇත.

• ගයාන් ගාල්ලගේ