2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

මිල පාලනේට පුළුවන්ද කෑම මිල බස්සන්න?

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

භාණ්ඩ මිල පාලනය කිරීම පිළිබඳ යළිත් සාකච්ඡා කිරීමට පසුබිම සැකසී ඇත්තේ පාලකයන් විසින් පාන් මිල පාලනයට පියවර ගන්නා බව පැවසීම නිසාය. පාන් මිල අඩු කරන ලෙසට වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාන් නිෂ්පාදකයන්ගෙන් කිහිප වරක් ඉල්ලා සිටියද වැඩි කළ පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල රුපියලකින්වත් පහළ දැම්මේ නැත. බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන නිදහසට විවිධ හේතු ඉදිරිපත් කරමින් මිල පහළ දැමීම ප්‍රමාද කළේය. ඔවුන් පැවසුවේ බටර්, මාගරින්, ගෑස් සහ විදුලිය ආදියේ මිල ඉහළ ගොස් ඇති නිසා මිල පහළ දැමීමට නොහැකි බවය. බටර්, මාගරින් ආදියේ මිල ඉහළ යැයි පැවසුවද පාන් නිෂ්පාදනයේදී ඒවා යොදා ගන්නවාද යන්න දන්නේ දෙවියන් පමණකි. එසේම ගෑස් සහ විදුලිය මිල වැඩි යැයි පැවසුවද බොහෝ විට පෝරණුවල පාන් පිළිස්සීමට පාවිච්චි කරන්නේ දරය. “දර පෝරණු පාන්” යනුවෙන් බෝඩ් ගසාගෙන පාන් වැඩි මිලට අලෙවි කරන බව දැකගත හැකිය.

එසේම සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉතාමත්ම ඉහළය. රුපියල් 25 ටී බනිස් ගෙඩිය රුපියල් 50ක්වූ අතර මාළු නැති මාළු පාන් ගෙඩිය රුපියල් 60ක් විය. සීනි සම්බල් පිත්තල හැන්දක් පමණ දමා ඇති කුඩා සීනි සම්බල් පාන් ගෙඩියද රුපියල් 60 කි. බිත්තර පාන්වල ඇත්තේ පුවක් කැබැල්ලක් තරමේ බිත්තර සුඹුලකි. පේස්ට්‍රි චිකන් පාන්, ඔම්ලට් පාන් ආදියේ මිල රුපියල් 100 ට වැඩිය. වැඩි වූ තරමට කිසිවක් අඩු වූයේ නැත. ප්‍රමාණයද පහළ බැස්සේය.

තත්ත්වය එසේ තිබියදී පසුගිය දිනවල ගෑස්, විදුලිය හා ඉන්ධන මිල විශාල වශයෙන් පහළ හෙලීය. ඒ අවස්ථාවේද ඇමැතිවරයා අඩු වූ මිලට සමානුපාතිකව නිෂ්පාදනවල මිල පහළ හෙලන ලෙස ඉල්ලුවද බේකරිකරුවන්ට එය ඇසුණේ නැත. නුදුරු දිනවල පැවැති සාකච්ඡාවද අසාර්ථක වූ අතර අනතුරුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරන ලෙස නියෝග නිකුත් කිරීමට වෙළෙඳ ඇමැතිවරයාට සිදුවිය. අනතුරුව එයින් නොනැවතී මිල අඩු නොකළහොත් මිල පහළ දැමීමට නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කිරීමට ඇමැති කටයුතු කළේය. බේකරිකරුවන්ගේ කටට පණ ආවේ ඉන් අනතුරුවය. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කරන බවට නිවේදනය කළේය. එසේ වුවද මේ දක්වා ඇතැම් නිෂ්පාදකයන් පාන් පැරණි මිලට අලෙවි කරන බව පෙනෙන්නට තිබේ.

ආණ්ඩුව පවසන්නේ තවදුරටත් පාන් මිල අඩු නොකරන්නේ නම් මිල පාලනයක් ගෙන ඒමට සිදුවන බවයි. එහෙත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල පහත හෙලීම ගැන කතා කරන්නකු නැත. බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන ලෙස තමන්ට නිවේදනය කළ නොහැකි අතර නිෂ්පාදකයන් තම සිතැඟි පරිදි මිල අඩු කරනවා ඇත යන්නය. ලියුම්කරු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ නිරීක්ෂණයකදී ඒත්තු ගොස් ඇත්තේ බේකරි නිෂ්පාදනවල මිල සතයක්වත් අඩු වී නැති බවය.

ආණ්ඩුව විටින් විට නොයෙක් භාණ්ඩ සඳහා පනවන උපරිම සිල්ලර මිල හා නිෂ්පාදකයාට පැනවූ තොග මිල සීමා ඇත්තවශයෙන්ම ප්‍රායෝගිකද යන ගැටලුව මේ වනවිට මතු වී තිබේ. ඒ සඳහා ආසන්නතම උදාහරණ කිහිපයක් දිය හැකිය. බිත්තර සඳහා පැනවූ පාලන මිල පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා එය දෙවරක්ම රිවස් කිරීමට සිදුවූ බව අපට මතකය. එසේම සහල් සඳහා විටින් විට පැනවූ පාලන මිල අසාර්ථක වීම නිසා මෝල්කරුවන් සහල් මිල ප්‍රකාශයට පත් කළ අවස්ථා තිබේ. කුකුළු මස්වලට විටින් විට පැනවූ උපරිම මිලද ප්‍රායෝගික වූයේ නැත. ඒ නිසා වෙළෙන්දෝ තමන් විසින් සම්මත කරගනු ලැබූ මිලට මස් අලෙවි කළහ.

මෙම තත්ත්වය නිසා වෙළෙන්දෝ රජය පනවන මිල ගණන් නොසලකා භාණ්ඩ අලෙවි කිරීමට පටන් ගත්හ. එයට එරෙහිව ආණ්ඩුව පියවරක් නොගන්නා විට පාලන මිල යන්න නොසලකා හැරීමට වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයෝ ද පුරුදු වූහ. ආණ්ඩුව පාලන මිල පැනවුවත් ඒ මිලට බඩු ගත නොහැකි බව ජනතාව දනිති. බඩු මිල තීරණය කරන්නේ වෙළෙඳුන් මිස ඇමැතිවරයා හෝ රජය නොවේ. මේ තත්ත්වය අදට ද වලංගුය. ඇමැති නලින් ප්‍රනාන්දු පාන් මිල පාලනය කරනවායි පාරම්බෑවාට වෙළෙන්ඳන් මෙන්ම පාරිභෝගිකයෝද තඹ සතයකට මායිම් නොකරති. පාන් ගෙඩියක මිල රුපියල් 130 කර ඇති අතර එම මිල පවත්වාගෙන නොගියහොත් මිල පාලනය කර ගැසට්ටුවක් ප්‍රකාශයට පත් කරන බවට ඇමැති පාම්බෑවාට එය ගණන් ගන්නා කෙනකු නැත. ඒ නිසා මිල අඩු වෙන්නේ නැත. ගැසට්ටුවක් ගැසුවහොත් එය රිවස් කරන්නට සිදුවන බව කවුරු කවුරුත් දනිති.

කෙසේ වුවද ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මිල පාලනය යල් පැනගිය ක්‍රමයක් බවයි. අද වනවිට එහි වලංගුභාවයක් නැත. එය අසාර්ථක බව මනාව සනාථ වී ඇත. ඒ නිසා කළ යුතු වන්නේ වෙළෙඳපොළ යාන්ත්‍රණය තුළ මිල තීරණය වීමට ඉඩ දීමය. එය වඩාත් ප්‍රායෝගික වේ. දේශපාලනඥයන් මිල පාලනය කර ඇඟ බේරාගන්න හදන්නේ ඔවුන්ගේ පැවැත්ම සඳහා මිස මිල අඩු කිරීමට නොවේ. ඒ නිසා සැපයුම ඉහළ නංවා වෙළෙඳපොළ තරගය වැඩි කළ විට අසීමිතව මිල ඉහළ නැංවීම නවතිනවා ඇත. ඒ දිනය එනතුරු බලා සිටීමට අසරණ පාරිභෝගිකයාට සිදුව තිබේ.

සංජය ඉරසිංහ – පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අංශයේ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ

“අපි තවම පාන් මිල ගැසට් කළේ නැහැ. ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 130ක් විය යුතු බව නිවේදනය කරලා තියෙනවා. අපි බලා සිටිනවා මොකක්ද වෙන්නේ කියලා. වෙළෙඳුන් අපට අවනත වෙනවා නම් ගැසට් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. එහෙත් එය නොසලකා හැරලා අඩු බර පාන් වැඩි මුදලට විකුණනවා නම් අපට සිද්ධ වෙයි පාන්වලට උපරිම සිල්ලර මිලක් පනවලා වැඩි මිලට පාන් විකුණන වෙළෙඳුන් අත්අඩංගුවට ගෙන නඩු පවරන්න. දඩය තනි වෙළෙන්ඳකුට නම් රුපියල් ලක්ෂයයි. ආයතනයකට නම් ලක්ෂ පහයි. අපි හිතනවා වෙළෙඳුන් අපේ නිවේදනය පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩිය රුපියල් 130 ට අලෙවි කරාවි කියලා. එය සිදු නොවුණොත් ඊළඟ පියවරට යනවා.

වැටලීම් සිදුකිරීම් සඳහා සේවකයන් සහ වාහන ආදී සම්පත් ප්‍රමාණවත් පරිදි තිබේදැයි විමසූ විට ඔහු මෙසේ කීවේය.

“ඔව්! අපිට ප්‍රමාණවත් සම්පත් තියෙනවා. ඒ නිසා අඛණ්ඩව වැටලීම් කළ හැකියි. කොළඹ ඉන්න නිලධාරින් වෙනත් ප්‍රදේශවලට යන්නේ නැහැ. දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හැමකම අපේ දිස්ත්‍රික් කාර්යාල තියෙනවා. ඒ පළාත්වල වැටලීම්වලට සහභාගි වෙන්නෙ එම නිලධාරින්. ඒ නිසා මුළු දිවයිනේම වැටලීම් අඛණ්ඩව කරන්න පුළුවන්. පාන් නිෂ්පාදකයන්ට ස්වකීය ව්‍යාපාරයෙන් පාඩුවක් නැහැ. දැන් විදුලිය, ගෑස් සහ පාන් පිටි ඇතුළු අමුද්‍රව්‍යවල මිල අඩුයි. ඒ නිසා එම ලාභය පාරිභෝගිකයාට ලැබිය යුතුයි. අපි ඒ පිළිබඳ නිරීක්ෂණය කරලා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව පියවර ගන්නවා. එවිට ටික දිනකින් පාන් අලෙවිය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මොකක්ද වෙන්නේ කියලා බලමු.”
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ මිල පාලනය යනු අදට කිසි ලෙසකින්වත් නොගැලපෙන යල් පැනගිය න්‍යායක් බවයි. ඒ නිසා අද එය අත්හදා බැලිම පිළිබඳ දෙවරක් සිතිය යුතු බව ඔහු කියයි. අනිත් අතට මේ අත්හදා බැලීමේ අවස්ථාවක් නොවේ.

“භාණ්ඩ මිල පහත හෙලීම සඳහා මිල පාලනය යොදා ගැනීම ආරම්භ වූයේ 1975 – 76 වැනි දශක වලයි. එම ක්‍රමය ඒ කාලයේ යම් විදිහක සාර්ථකත්වයක් පෙන්නුම් කළත් අදට කොහොමටවත් ඔබින්නේ නැහැ. ඒ නිසා උපරිම සිල්ලර මිලක් නියම කරලා ගැසට් කිරීමෙන් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නුපුළුවන් බව සනාථ වී තිබෙනවා. අද මුළු රටේම ආර්ථිකය නිදහස්කරණයට ලක්වෙලා. භාණ්ඩ හා සේවා පිළිබඳව තරගකාරී තත්ත්වයකට ඇවිත්. ඒ නිසා ඉල්ලුම හා සැපයුම අනුව වෙළෙඳපොළේ මිල තීරණය විය යුතුයි. එවිට එය අමුතුවෙන් ක්‍රියාත්මක කළ යුතු නැහැ. මෙහිදී කිසිම ලෙසකින්වත් රජය මැදිහත් විය යුතු නැති බවයි මගේ අදහස. රජය මැදිහත් වෙලා මිල පාලනය කිරීමට පසුගිය දිනවල ගත් ක්‍රියාමාර්ග කිහිපයක්ම අසාර්ථක වුණා. ඒ සඳහා ස්වභාවික ලෙස වෙළෙඳපොළේ මිල තීරණය වීමට ඉඩ දිය යුතුයි.

අනෙක් අතට මිල පාලනය ක්‍රියාත්මක කළ පසු ඒ පිළිබඳ පසු විපරම් හා නිරීක්ෂණ කළ යුතු වෙනවා. එයට ද විශාල පිරිවැයක් දැරීමට සිදුවූ අවස්ථා දක්නට ලැබුණා. මේ නිසා මිල පාලනය සාර්ථක ක්‍රියාමාර්ගයක් යැයි සිතිය නොහැකියි. ඒ නිසා වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් නිර්මාණය කළ යුතුයි. එවිට ඉබේම මිල පහළ යනවා. එහෙම නැතුව මිල පාලන නීති දැමීම රාජ්‍ය නිලධාරින් පොහොසත් කිරීමක්ද විය හැකියි. එයින් ඇතැම් නිලධාරින්ට අල්ලස් ගැනීමට මඟ හෙලි කිරීමක් වෙනවා.

අපි පාන් උදාහරණයකට ගත්තොත් පාන්වල උපරිම මිල තබා ගැනීම අපහසුයි. වෙළෙඳුන් මිලෙන් රිංගා යාමට සටකපට වෙනවා. බර අඩු කරනවා. ප්‍රමිතිය බාල කරනවා. තෙත පාන් හදනවා. අමුවෙන් බානවා. පාන් ගෙඩිය පෙති කරලා ඇසුරුම්වල දමලා එකට එකක් මිල වැඩි කර විකුණනවා. පාන්වල කොතරම් වර්ග තියෙනවද? විවිධ පාන් ජාති විවිධ මිලට විකුණනවා. මේවාට නීතියෙන් කටයුතු කරන්න බැහැ. බලහත්කාරයෙන් පාන් අලෙවි කරන්න බැහැ. වෙළෙඳුන් සමාජ අවශ්‍යතාව හඳුනාගෙන ක්‍රියා කළ යුතුයි. වැඩි මිලට ස්වල්පයක් අලෙවි කරනවාට වඩා අඩු මිලට වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීමෙන් වැඩි ලාභයක් උපයාගත හැකියි. පාරිභෝගිකයන්ද ළං කරගත හැකි වෙනවා. මෙම තත්ත්වයට අපේ ව්‍යාපාරිකයන් වෙනස් විය යුතුයි.”

• යසවර්ධන රුද්රිගු