2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගන්නේ කොහොමද?

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගන්නේ කොහොමද?

එතෙර රටකට පියාසර කොට දිවි සරිකර ගැනීම ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලංකිකයන්ගේ හීනයක්ව තිබේ. ඒ උදෙසා අවශ්‍ය වන රාජ්‍යයේ අවසරය සහිත පළමු ලියැවිල්ල විදෙස් ගමන් බලපත්‍රයයි. විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් බව මහජනතාව අතර විශ්වාසයක් පවතී. එහි අර්ධ සත්‍යයක් ඇතත්, බොහෝ විට මෙම කාර්යය අපහසු වන්නේ බහුතරයකගේ නොදැනුවත්භාවය නිසාවෙනි.

ඒ නිසාවෙන්ම විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී මූලික වශයෙන් දැනගත යුතු මූලික කාරණා කිහිපයක් පිළිබඳ ජන මෙහෙවර ඔස්සේ දැනුවත් කිරීමට අපි කටයුතු කරමු.

ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලැබීමට හිමිකම් තිබේද?

ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් ලබාගත හැකිය.

ගමන් බලපත්‍රයක් හදිසියේ ලබා ගැනීම

ඔබට හදිසි ගමන් සඳහා ගමන් බලපත්‍රයක් අවශ්‍ය නම් එක්දින සේවය මගින් ඒ සඳහා අයැදුම් කළ හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් පමණක් ලබාගත හැකිය.

ගමන් බලපත්‍රයක වලංගු කාලසීමාව

දැනට නිකුත් කරන (N) ඛණ්ඩයේ ගමන් බලපත්‍ර අන්‍යාකාරයකින් දක්වා නොමැති නම් අවුරුදු 10කට වලංගු වේ. අවුරුදු 16 අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍රවල වලංගු කාලය අවුරුදු 03 කට හෝ 10 කට දෙමාපිය අවශ්‍යතාව මත ලබාගත හැකිය. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු වන අතර තවත් අවුරුදු දෙකකට එය දීර්ඝ කළ හැකිය.

වැඩ කරන වේලාවල් මොනවාද?

අයැදුම්පත් බාරගැනීම, සාමාන්‍ය සේවා ඉල්ලුම්පත් සතියේ දිනවල පෙ.ව. 8.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා. මාර්ගගතව ඉදිරිපත් කළ අයැදුම්පත් සම්බන්ධ ගැටලු පිළිබඳ කවුළුව - සතියේ දිනවල පෙ.ව. 8.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා.
සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා ඇත.

ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද?

“සුහුරුපාය” බත්තරමුල්ල පිහිටා ඇති ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයට (01 මහල - සාමාන්‍ය සේවා/ 02 මහල - එක්දින සේවා) සියලුම ගමන් බලපත්‍ර ඉල්ලුම්පත් මෙහිදී බාර දිය හැකිය.

ගමන් බලපත්‍ර වර්ග මොනවාද?

සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර

1. සාමාන්‍ය ගමන් බලපත්‍ර
2. රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර
3. රාජකාරී ගමන් බලපත්‍ර

ඉන්දියාවට හා නේපාලයට බෞද්ධ වන්දනා ගමන් සඳහා හදිසි සහතික.

විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන හඳුනා ගැනීමේ සහතික සහ යන්ත්‍රානුසාරයෙන් කියැවිය නොහැකි ගමන් බලපත්‍රය, හදිසි තනි ගමන් සඳහා.

ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ජෛවමිතික දත්ත ලබා ගැනීම

2015 අගෝස්තු මස 10 වැනි දින සිට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ජෛවමිතික දත්ත ලෙස අයැදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලව ඡායාරූප ලබා ගැනීමට ද කටයුතු සලසා ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ජාත්‍යන්තරව පිළිගත් ගමන් බලපත්‍රයක් බවට පත්ව තිබේ.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ඡායාරූප ලබාදීම

මුද්‍රිත ඡායාරූප ලබාදීම අවශ්‍ය නොවේ. සියලුම අයැදුම්කරුවන් අප දෙපාර්තමේන්තුවේ අනුමත දිවයින පුරා විසිරී ඇති ඡායාරූප ශාලාවකින් හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලවල පිහිටි ඡායාරූප ශාලාවකින් එම ඡායාරූප ලබා ගත යුතුයි.

එම ඡායාරූප ශාලා මගින් ඔබට මුද්‍රිත ඡායාරූප ලබා නොදෙන අතර අන්තර්ජාල භාවිතයෙන් ඔබගේ ඡායාරූප දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙත ලබා දෙනු ඇත. ඡායාරූප ශාලාව මගින් ඔබට ලදු පතක් ලබා දෙන අතර එය ඔබගේ අයැදුම්පත සමඟ දෙපාර්තමේන්තුවට පැමිණ බාරදිය යුතු වේ. අනුමත ඡායාරූප ශාලා ලැයිස්තුව www.immigration.gov.lk හි ප්‍රදර්ශනය කරන අතර, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ද ප්‍රදර්ශනය කර තිබේ.

ඇඟිලි සලකුණු ලබා ගැනීම

1948 අංක 20 දරණ ආගමික හා විගාමික පනතේ 2015 අංක 07 දරන සංශෝධනය ප්‍රකාරව අවුරුදු 16ට වැඩි හා සියලුම අවුරුදු 60ට අඩු ගමන් බලපත්‍ර අයැදුම්කරුවන් මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාලවලදී තම ඇඟිලි සලකුණු ලබා දිය යුතු වේ.

විශේෂයෙන් දැනගන්න

2015 අගෝස්තු 10 වැනි දිනෙන් පසුව කුඩා දරුවන් සිය දෙමව්පියන්ගේ ගමන් බලපත්‍රවලට ඇතුළත් නොකරන අතර ඔවුන් සඳහා වෙනම ගමන් බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වේ.

අයැදුම්පත බාරදීම

නව අවශ්‍යතා අනුව පිළියෙල කරන ලද, “කේ. ආ.වි. 35A” යන අයැදුම්පත්‍රය පමණක් භාවිත කළ යුතුය. මෙම අයැදුම්පත්‍රය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, මාතර, මහනුවර, වවුනියාවල හා කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලින් හෝ www.immigration.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැක. ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇඟිලි සලකුණු ලබාගන්නා බැවින් සියලුම අයැදුම්කරුවන් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ තම අයැදුම්පත බාරදිය යුතු වේ. වැඩි විස්තර සඳහා : ක්ෂණික ඇමතුම් 1962 හෝ දුරකථන අංක +94 112 101 500

මේ පිළිබඳවත් සැලකිලිමත් වන්න.

මේ වන විට බොහෝ දෙනකු විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට උත්සාහ කරන බැවින් මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්ණ වී තිබේ. එක්දින සේවාව සඳහා උත්සාහ කරන ඇතැම් පිරිස්වලින් වංචනිකයන් අල්ලස් ලබා ගන්නා බවද දැනගැනීමට ලැබී ඇත. තොරතුරු සියල්ල දැන අවබෝධයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
සියලු තොරතුරු www.immigration.gov.lk ඇසුරෙනි.

• චමිඳු නිසල් ද සිල්වා

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03