“මේ මිනිස්සු අපිට ලංකාවේ ඉන්න දෙන්නෙත් නැහැ, රස්සාවල් කරන්න රටකට යන්න දෙන්නෙත් නැහැ. මේක මොන කරුමයක්ද? මන්දා. උදේ පාන්දර බස්වල නැගලා කොළඹට ආවා. ඒ වුණාට පාස්පෝට් එක ගන්න විදිහක් නැහැ. රට යන්නේ අපිට ලංකාවේ ඉන්න බැරිකමකට නොවෙයි. මෙහෙම නිස්කාරණේ වියදම් කරන්න අපිට සල්ලි නැහැ. අතේ තියෙන සල්ලි වියදම් කරගෙන රට යන්න හැදුවා. දැන් යන්න පාස්පෝට් එක ගන්න විදිහක් නැහැ.”
මෙලෙස අම්පාර සිට පැමිණි රාහුල් තෙන්නකෝන් මහතා චෝදනා කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවටය. සති ගණනක් පුරාවට බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල දක්නට ලැබුණේ විශාල ජනකායකි. විශාල තෙරපිල්ලකි. මේ සියල්ලන්ගේම සිහිනය වන්නේ විදෙස් රටකට යාමට අවශ්‍ය ගමන් බලපත්‍රය (Passport) ලබා ගැනීමය.
මෙලෙස ගමන් බලපත්‍රය ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන් ඇතැමකු පැමිණ සිටියේ පෙර දින රාත්‍රියේය. පිරිමි පාර්ශ්වය පමණක් නොව කාන්තා පාර්ශ්වයද මැදියම් රැය ගෙවා තිබුණේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති කොන්ක්‍රීට් පොළොවේය. නමුත් ඔවුහු ද තම ගමන් බලපත්‍රය හිමි නොවුණු බවට චෝදනා කළහ.
“දෙපාර්තමේන්තුවෙන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අයැදුම්පත් බාරගැනීම සිදුවන්නේ මාර්ගගතව (online) තම අයැදුම්පත බාරදීම සඳහා වේලාවක්, දිනයක් වෙන් කරගත් අය සඳහා පමණයි. ඒ නිසා අප හැමවිටම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විධිමත් ආකාරයෙන් විනිවිදභාවයකින් යුක්තව දෙපාර්තමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. මාතර, වවුනියාව, කුරුණෑගල සහ නුවර යන ප්‍රාදේශීය කාර්යාල හතරෙත්, ප්‍රධාන කාර්යාලයෙත් එක්දින සේවා සඳහා පැමිණෙන අය සඳහා සාර්ථක ක්‍රමවේදයක් හඳුන්වා දී තියෙනවා. ඒ නිසා අපගේ වෙබ් අඩවියට පිවිසිලා ඕනෑම කෙනකුට තමන්ගේ බලපත්‍රය බාරදීම සඳහා දිනයක් වේලාවක් වෙන් කරගන්න පුළුවන්.” යැයි ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
නමුත් මෙම නිවේදනය නොතකා බොහෝ ජනතාව තම අවශ්‍යතාවයක් වන ගමන් බලපත්‍රය ලබා ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීම හේතුවෙන් හටගෙන ඇත්තේ මහත් කලබලකාරී තත්ත්වයකි.
“මේ අයට හිතුණු හිතුණු හැටියට තීරණ ගත්තාම අපි කොහොමද ඒවා දන්නේ. මෙතැනට පුදුමාකාර විදිහට මිනිස්සු ඇවිත් ඉන්නේ ගෙදර වැඩ නැතුව නෙවෙයි. අපිටත් කෝටියක් වැඩ තියෙනවා. ඒ හැම වැඩක්ම නතර කරලා කොළඹ ආවේ මේ පාස්පෝට් එක හදිසි නිසයි. හරියට ඒ ගැන අහන්න කෙනෙක් නැහැ. අඩුම ගාණේ තොරතුරු අහන්න ඇතුළට යන්න දෙන්නෙත් නැහැ. මෙතැන ඉන්න ආරක්ෂකයෝ යක්ෂයෝ වගේ. උන් ඇඟට කඩාගෙන පනිනවා, කිසිම මනුස්සකමක් නැහැ. අහන දේට උත්තර දෙන්නේ නැහැ. උන්ගේ කටේ තියෙන්නේ යනවා.. යනවා.. අද ගන්න බැහැ කියලයි. සමහරු අර ගේට්ටුවෙන් අහන්න, මෙහා පැත්තෙන් අහන්න කියලා කියනවා. හරියට උත්තරයක්වත් දෙන්න උන් දන්නේ නැහැ.” යැයි තම ගමන් බලපත්‍රය ලබා ගැනීමට පැමිණ සිටි විජයරත්න මහතා පැවසීය.
එහි යම් සත්‍යයක් ද ඇත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පිවිසුණු අපට ද දැකගත හැකි වූයේ ආරක්ෂක අංශයේ නියැළුණු පුද්ගලයන්ගෙන් බහුතරයකගේ මනුස්සකම් ගිලිහී ඇති බවය. ඔවුන් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දෙනු වෙනුවට හැසිරෙන්නේ ආවේගශීලී වූවන් පරිද්දෙනි. මාධ්‍යයෙන් හෝ යම් ක්‍රමවේදයක් ඔස්සේ හෝ ජනතාවට ලබාදුන් නිවේදනය සෑම දෙනකුටම නොලැබීම සාමාන්‍ය දෙයකි. මාර්ගගත ක්‍රමවේදයකට පමණක් දිනයක් හෝ වේලාවක් වෙන්කර ගැනීමෙන් පමණක් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකිය යන නිවේදනය නොදැනීම නිසා ජනතාව මෙලෙස පැමිණ රස්තියාදු වෙති. නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට නිසි ලෙස දැනුම් දීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන්ගේ වගකීමකි. එය ඔවුන්ගේ රාජකාරියේ කොටසකි. නමුත් සිදුවන්නේ ඔවුන් ආවේගශීලීව හැසිරීමය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඇතිවූ මෙම ගමන් බලපත්‍ර අවුල හේතුවෙන් ඉන්දියාවේ දඹදිව සංචාරයේ නියැලෙන්නට බලාපොරොත්තුවෙන් සිටි බැතිමතුන් විශාල ගැටලුවකට මුහුණ පා සිටින බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පැවසුවේ තමන්ට ගමන් බලපත්‍රය ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මුදල් අපතේ යැවීමක්ද සිදුවූ බවය.
“දින ගණනාවක් තිස්සේ ලංකාවේ දඹදිව යන කිසිම කෙනකුට ගමන් බලපත්‍රය සාමාන්‍ය විදිහට ගන්න බැරිවෙලා තියෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව online ක්‍රමවේදයක් අත්හදා බලනවා සහ ඉලෙක්ට්‍රොනික් ගමන් බලපත්‍රයක් ලබාදීමට ඒ අය සැලසුම් කරමින් යනවා. අපි ඒවාට විරුද්ධ නැහැ. නමුත් ඒවා කරන්න ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. මිනිසුන්ට නිසි දැනුවත් කිරීමක් නොකොට මෙහෙම කරන එක වැරදියි. ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය නොවැම්බර් මාසයේදී තමයි ලබා දෙනවා කියලා කියන්නේ. දඹදිව වන්දනාවට වසර පනහක් පමණ කාලයක් තිස්සේ හදිසි සහතිකයක් ලබා දීලා තියෙනවා. උප්පැන්න දිරාපත් වීම, හැඳුනුම්පත නොපෙනෙන, හැඳුනුම්පත නැති අයට ඒ සහතිකය ලබා දුන්නා. ඒකෙන් ඉන්දියාවට සහ නේපාලයට පමණක් අවසරය ලැබුණා. දඹදිව ගිය බොහෝ දෙනා පාවිච්චි කළේ ඒ හදිසි සහතිකයයි. නමුත් අද වෙද්දී ඒකත් නැහැ. ගමන් බලපත්‍රයත් online ක්‍රමවේදයට දිනයක් වෙන් කරගත යුතු වෙනවා. මේ කඨින කාලයයි. මේ නිසා ලංකාවේ ඉන්න බෞද්ධයෙන් දඹදිව වන්දනාවට යන්න කලින් නියමිත කරගත් පරිදි ගුවන් යානාවලට සල්ලි බැඳලා තියෙනවා. ඒ මුදල් අපරාදේ. ඒ විතරක් නෙවෙයි සංවිධායකවරුන් හෝටල්වලට ආහාරපානවලට මුදල් වෙන් කරලා තියෙනවා. බෞද්ධයන්ට මේ උතුම් ස්ථානය වැඳ පුදා ගන්න යන්න අවස්ථාව නොලැබෙනවා නම් ඒක මොන අපරාධයක්ද? මේ අතරේ රෑ දොළහට ඔන්ලයින් ක්‍රමවේදය විවෘත කරනවා. හැබැයි දොළහයි කාල වෙද්දි ඒ ක්‍රමවේදයෙන් වෙලාවක් වෙන් කරගන්න බැහැ. ඒ නිසා මේක විධිමත්ව ක්‍රියාත්මක කොට දඹදිව වන්දනාවේ යාමට ඉන්න බැතිමතුන්ට යම් සාධාරණයක් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.” යැයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ලෝලුව මහතා දේශයට පැවසීය.
මේ සම්බන්ධයෙන් ඇතැමුන් චෝදනා කරන්නේ තමන්ට online ක්‍රමවේදයට දිනයක් හෝ වේලාවක් වෙන් කර ගැනීමට නොහැකි වුවද දෙපාර්තමේන්තුව ආසන්නයේ පිහිටා ඇති ඇතැම් ස්ටුඩියෝ කිහිපයක් හරහා ඉතා ඉක්මනින් ඒ අවස්ථාව ජනතාවට ලබාගැනීමට හැකි බවය. නමුත් ඒ ඉතා විශාල මුදලකටය.
“අපි බොහොම දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සු. අපිට ඔය ඉන්ටනෙට් යන්න ලොකු ෆෝන් නැහැ. ගෙදර තියෙන ටීවී එක කැඩිලා. ඉතින් මේ අය රෑට කියලා පහුවදා ඉඳන් online ක්‍රමවේදයට විතරක් දින වෙන් කරලා, දින වේලාවල් වෙන් කරගෙන පාස්පෝට් හදන්න හැදුවාම ඒක අපිට හරි අසාධාරණයි. අපි මහ පාන්දර ඉඳන් ආවේ. රට යන්න දඟලන්නේ ආසාවකට නෙවෙයි. මේක හරි අසාධාරණ තීරණයක්.” යැයි අක්කරපත්තුව සිට පැමිණි ජයසුන්දර මහත්මිය පැවසුවාය.
කෙසේ වුවද මේ වන විට ගමන් බලපත්‍රය ලබාදීම සිදු කරනු ලබන්නේ මාර්ගගතව (online) තම අයැදුම්පත බාරදීම සඳහා වේලාවක් හා දිනයක් වෙන් කරගත් අයට පමණි. මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දුරකථන අංකවලින් කිසිදු පිළිතුරක් හිමි නොවන බවට ද ජනතාව චෝදනා කරති. එයද සත්‍යයකි. මෙම ලිපිය වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සිට දෙපාර්තමේන්තුවේ දුරකථන අංකවලට ඇමතුම් ගැනීමට අප ද කොතෙකුත් උත්සාහ කළද ඒවාට ද ප්‍රතිචාරයක් නොමැත. ජනතාව වෙනුවෙන් පෙනී සිටින මෙවැනි දෙපාර්තමේන්තුවක සේවය කරන නිලධාරීන් මීට වඩා ජනතාව වෙනුවෙන් සැලකිලිමත් විය යුතුය. එය ඔවුන්ගේ රාජකාරියේ කොටසකි.
• දිශානි ජයමාලි කරුණාරත්න