2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

මෙදා ජනපතිවරණයේ ප්‍රතිපත්ති කැලේ

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී දේශපාලන පක්ෂ අතර සැලකිය යුතු බෙදීම් හටගනිමින් තිබේ. පක්ෂ මාරු කරන අවස්ථා දිනෙන් දින වාර්තා වේ. නිදහස ලැබීමෙන් පසු ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය ධනවාදී, සමාජවාදී සහ මිශ්‍ර වශයෙන් කඳවුරු තුනක තිබුණි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහිදී ඉදිරියෙන් සිටියේය. මෙම පක්ෂවල ප්‍රතිපත්ති පැහැදිලිව වෙන් කරගත හැකි විය. පැරණි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ තවදුරටත් තිබිය යුතු බව සඳහන් කරන්නේ නැත. කෙසේ නමුත් වර්තමානයේ පවතින පක්ෂවලට ප්‍රතිපත්ති හෝ අභ්‍යන්තර මූලධර්ම නැත. බලය ලබාගැනීම එකම පරමාර්ථය වී තිබේ. බලය උදෙසා ඕනෑම පටු තීරණයක් ගැනීමට දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් සූදානම්ය.
ඡන්ද පොරොන්දු මෙහිදී ප්‍රධාන සාධකයකි. පැරණි දේශපාලනයේ දී ද පොරොන්දු බහුලව තිබුණි. ඉටුකළ නොහැකි දේ වේදිකාවේදී ප්‍රකාශ කළ අපේක්ෂකයෝ බලයට පත් වූ පසු ඒවා නොසලකා ක්‍රියා කළෝය. මාධ්‍ය භාවිතය එපමණ දියුණු නැති යුගයේ පොරොන්දුවලට රැවටෙන ප්‍රමාණයට වඩා ඉහළ ප්‍රතිශතයකින් ඉතාම දියුණු මාධ්‍ය සාක්ෂරතාවයක් සහිත වර්තමානයේ ඡන්දදායකයා පොරොන්දුවලට ගොදුරු වෙමින් සිටිති. අසත්‍යය ප්‍රකාශ වන අතර මිත්‍යාව බහුලව විසුරුවා හැරෙයි. තොරතුරු දැනගෙන ජීවත්වීමේ අයිතිය සාමාන්‍ය ජනතාවගෙන් පැහැරගෙන ඇති බව ඉතාමත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

• ඕනෑම මගඩියකින් දිනාගැනීම

ඡන්ද දිනන්නට පොරොන්දු දෙන තරම ගැන උදාහරණ ඇති තරම් තිබේ. බලයට පත් වූ පසු මෙම පොරොන්දු ඉෂ්ඨ කරන්නේ නැත. මෑත ඉතිහාසය එයට සාක්ෂි සපයයි. බලයට පත් වූ පසු ජනතාව අමතක කරන අතර ගෙයින් ගෙට යමින් ඡන්දය ඉල්ලූ පිරිස් ආරක්ෂක පිරිවර සහිත සුඛෝපභෝගී වාහනවලින් වේගයෙන් ගමන් කිරීම සාමාන්‍ය සිද්ධියකි. මේවා ගැන දන්නා ඡන්දදායකයෝ එක වතාවකින් පාඩමක් ඉගෙනගෙන ඊළඟ වතාවේ තවත් පක්ෂයක් බලයට පත් කරති. අවසානයේ දී ප්‍රධාන ධාරාවේ පක්ෂ දියැවී ගොස් ඇති අතර සන්ධාන ගණනාවක් පමණක් ඉතිරි වී තිබේ. ලියාපදිංචි දේශපාලන පක්ෂ, ඒවායේ කැඩි ගිය කොටස්, නැවත එකතු වී ගිවිසුම් අත්සන් කිරීම හා ජනතාව ඉදිරියේ දෙන පොරොන්දු ඉදිරි දිනවල සුලබ සිද්ධි බවට පත්වනු ඇත.

ආණ්ඩුවේ රැකියා, ජනතාවට සහන, සංවර්ධිත රටක් ගොඩනැගීම ආදී වශයෙන් නොයෙක් ආකාරයේ පොරොන්දු මහජනතාවට අමතක නැත. අඩුම තරමින් වීදි ලාම්පුවක්, පාරට තාර ස්වල්පයක් හෝ රජයේ රෝහලක මූලික අවශ්‍යතා හෝ සම්පූර්ණ කිරීමට දේශපාලන ක්‍රමය සමත් වී නැත. ආණ්ඩු බලය ඉල්ලා, එය ලබාගැනීම සඳහා සමාජය තුළ විශාල බලාපොරොත්තු ඇති කරන දේශපාලනඥයෝ බලයට පත් වූ පසු ආණ්ඩුවක වපරිසය හඳුනා ගනිති. විපක්ෂයක සිටින දේශපාලනඥයන් අභ්‍යන්තරය දන්නේ නැත. විපක්ෂය පහසුය. ආණ්ඩුව කරගෙන යෑම දුෂ්කරය. අණ පනත් සංවර්ධන සැලසුම්වල වැරදි පමණක් හුවා දක්වමින් විශාල මතවාද ඇති කරන දේශපාලනඥයන්ට බලය ලැබුණු පසු එහි බරපතලභාවය දැනෙන බව සැකයක් නැත. ඕනෑම පොරොන්දුවක් දී අනතුරුව බලයට පත්වුවහොත් රට ඉදිරියට ගෙන යන ක්‍රමය දන්නා බවට නිගමනයක සිටින දේශපාලනඥයන් අසාර්ථක වීම පිටුපස එහි අභ්‍යන්තරය තිබේ.

• හොරු අල්ලන පොරොන්දු

රට විශාල පරිහානියකට පත්වීම පිටිපස දැවැන්ත දූෂණ හා වංචා ඇති බව මෑත කාලය තුළ දේශපාලන පක්ෂ ඇති කරන ලද මතයකි. දකුණු ආසියාවේ දේශපාලනයේ දී පලිගැනීම බහුලය. ප්‍රතිවාදියා මැඩපවත්වා එම දුබලතාව තමන්ගේ වාසියට හරවා ගැනීම ලක්ෂණයකි. බංගලාදේශය, පකිස්ථානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව ප්‍රතිවාදී නායකයන්ගෙන් පලිගෙන ඇති ආකාරය වෙනම විග්‍රහයකට යටත් කළ යුතු වේ. මෙම වෛරී දේශපාලනයෙන් බලයට එන අතර දූෂණ හා වංචා අනාවරණය කරගෙන ඒවාට දඬුවම් කිරීම රට දිනවන ප්‍රධාන පොරොන්දුවක් බවට පත් වේ. ඉදිරි ජනාධිපතිවරණයේ දී ද ප්‍රතිවාදීන් බෙලහීන කරන අතර ජනතාව අවුළුවන පොරොන්දුවක් ලෙස දූෂණ වංචා පරීක්ෂණ ගැන තොරතුරු අනාවරණය කරනු ඇත.
ශ්‍රී ලංකාව තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන ලද රටකි. රජයේ තීන්දු ගැන අභ්‍යන්තරය කෙළින්ම දැනගැනීමේ අයිතියක් පුරවැසියන්ට තිබේ. අනෙක් අතට ආයතනික හා රජයේ විගණන අංශ ක්‍රියාත්මක වේ. අධිකරණයේ තීන්දු ගැනීම ප්‍රමාද නමුත් නඩුගොනු කළහොත් දූෂණ වංචා ගැන දඬුවම් නියම කෙරේ. විගණන ක්‍රම හා අධිකරණ ක්‍රමවේදවලට එපිටින් කටයුතු කර වෙනම හා වහාම තීරණ ගත හැකි ක්‍රමවේද සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අතර පරස්පරතා ඇත. දූෂිත සිද්ධි ගැන පරීක්ෂණ කරන අතර ඒවාට දඬුවම් කරන බවට දෙන පොරොන්දු සාක්ෂාත් නොවීම තුළ එම ගැටලුව පවතින බවද අමතක කළ යුතු නැත.

ආණ්ඩුවේ හා දේශපාලනඥයන්ගේ දූෂණ ගැන විශාල විවාද ඇති කරන නමුත් දූෂිත ධනය ඉපැයීමට හේතු වී ඇති පසුබිම සොයා නොබැලීම වරදකි. ඡන්ද ක්‍රමය පැහැදිලිව එක ප්‍රධාන සාධකයකි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට කලින් සිට දැවැන්ත වියදමක් සඳහා අපේක්ෂකයන් සූදානම්ය. මෙම ධනය වියදම් කිරීම හා එම ධනය සොයාගන්නා ආකාරය ඉතාම දූෂිත තත්ත්වයකි. ඡන්දය සාධාරණව පවත්වන අතර ඡන්ද වියදම් සීමා කරන බව නීතිවලින් සම්මත කර තිබේ. දූෂණ හොයන අතර, රට සංවර්ධනය කරන්නට පොරොන්දු දෙන දේශපාලනඥයන් මැතිවරණ ක්‍රියාවලියේ සිදුරු හේතුවෙන් විනාශ වන ජාතික ධනය ගැන කල්පනා නොකිරීම ද වරදකි.

• සංවර්ධනය වෙනුවෙන් ගත යුතු තීරණ

ශ්‍රී ලංකාව දුප්පත් වීමට බලපා ඇති සාධක සලකා බැලීම පොරොන්දු දේශපාලනයට වඩා වැදගත්ය. ලෝකයේ අනෙක් රටක් අනුගමනය කරන ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකාව ඒවා නොසලකා ක්‍රියා කිරීම අතර පරස්පරතා පවතී. විවෘත ආර්ථික ක්‍රමය පිළිනොගන්නා රටවල් ලෝකයේ නැත. තරගකාරී ක්‍රමයකට උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මිලට වෙළෙඳපොළට සැපයීම උපක්‍රමය වී තිබේ. නිපදවන භාණ්ඩවලට ඉල්ලුමක් ලැබෙන පසු එයින් රටකට විනිමය ලැබේ. එම විනිමය රාජ්‍ය ධනය තර කරන ප්‍රධාන උපාය මාර්ගය බවට පත්ව ඇත. රටවල් අතර ගනුදෙනු ඉතාම සංකීර්ණ සබඳතා දක්වා වර්ධනය වී ඇති අතර වෙළෙඳ ගිවිසුම්, සැපයුම් චක්‍ර යනාදී විශේෂ ක්ෂේත්‍ර අනුව අවස්ථා ලබාගැනීම සඳහා දැවැන්ත තරගයක් ලෝකය පුරා ඇත.
ශ්‍රී ලංකාව තවමත් සුපුරුදු තේ රබර් ඇතුළු කෘෂි අපනයනයෙහි හා අලුතින් ඇති කරගත් ඇඟලුම් අපනයනයට පමණක් සීමා වී ඇත. දක්ෂතම ශ්‍රමික පිරිස විදේශගත කිරීම විනිමය උත්පාදනය සඳහා ප්‍රධානම අංශය බවට පත්ව තිබේ. මෙම හැඩය රටක දියුණුව ඇති කරන්නේ නැත. බලයට පත්වන ආණ්ඩු මෙම ආර්ථිකය ප්‍රසාරණය කරන පොරොන්දු ඡන්දදායකයන් ඉදිරියේ තැබිය යුතු වේ. ලෝකයේ ඇති අලුත් තාක්ෂණික හා ව්‍යවසායක අවස්ථා සඳහා ඉඩ දීම පොරොන්දුවක් විය යුතුය. පසුගියදා අවසන් වූ බ්‍රිතාන්‍ය මැතිවරණය එයට හොඳ පාඩමකි. පුරවැසියන් අලුත් අවස්ථා ඉල්ලා සිටි අතර වසර දහ තුනකට පසු රට තුළ ඇති අවස්ථා ගැන සාකච්ඡා කළ කම්කරු පක්ෂය ඉදිරියට පැමිණියේය. අවස්ථා හිඟකම බංග්ලාදේශයේ තරුණයන් ආණ්ඩුවට විරුද්ධව කැරළි ගසන තත්ත්වයට පත් කළේය. පොරොන්දු දේශපාලනයෙන් රට ඉදිරියට ගෙන යා නොහැකි බව අවුරුදු ගණනාවක් තිස්සේ වරින් වර හටගත් ගැටුම්, ප්‍රචණ්ඩ ක්‍රියා සහ යුද්ධ අපට උගන්වන පාඩමකි.

නිෂ්පාදනය නංවන අතර නිෂ්පාදනය සඳහා ඉඩ දෙන ව්‍යවසායකත්වයක් ඇති කිරීමට පහසුව ඇති කිරීම මැතිවරණ පොරොන්දුවක් විය යුතුය. නොමිලේ බෙදන, ආණ්ඩුවෙන් දෙන සෑම රුපියලකටම ගෙවිය යුතු වන්දියක් ඇත. පවතින ආර්ථිකයෙන් දේශපාලනඥයන් හා සහන ලැබිය යුතු අයවලුන්ට බෙදාගත් පසු අයවැය පරතරය පුළුල් වේ. එය පියැවීමට ගන්නා ක්‍රියාමාර්ග පසුගිය දශක ගණනාව තුළ පිළිකාවක් වශයෙන් ආර්ථිකය දුබල කර ඇත. ණය ගැනීම, බදු අය කිරීම වැනි උපායවලින් ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැත. අලුත් ව්‍යුහයක් නිර්මාණය කරන්නට ශක්තියක් අවශ්‍ය අතර එම පොරොන්දුව රටට වටිනා අභිමානයක් ඇති කරනු ඇත. රට ගොඩනගන පොරොන්දුව ප්‍රකාශ කිරීම සහ තරගකාරී විවෘත අවස්ථා ඇති කරන සමාජයක් ගොඩනගන බව ප්‍රකාශ කරන්නට දේශපාලනඥයන්ට හා දේශපාලන පක්ෂවලට මහත් ධෛර්යය තිබිය යුතුය.

• සාරා කන්දෙගොඩ