2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

ඝාතන වැලක මෙහෙයුම්කරු ලොකු පැටී කොටුවෙයි

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:02 330

ලත්තුවාහන්දි සංජීව පුෂ්පකුමාර සිල්වා නොහොත් ලොකු පැටී පසුගියදා යුරෝපයට අයත් බෙලරූස් ‍‍රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දුන්නේය. ඒ ජාත්‍යන්තර පොලීසිය හරහා මේ බව දැනුම් දීමත් සමඟය.

එහෙත් මේ කතාව සමඟ තවත් කතාවක් එළියට ආවේය. එනම් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් සහ ඝාතන රැසකට සම්බන්ධ රොටුඹේ අමිල නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවය. එපමණක් නොව සුජීව පුෂ්පකුමාර හෙවත් පොඩි පැටී සහ ඔහුගේ බිරිඳද මෙහිදී කොටුවූ බව සඳහන් විය. ඒ සියල්ල තහවුරු නොකළ තොරතුරුය. ඊට පසුව නැවත සඳහන් වුණේ කංජිපානි ඉම්රාන් සහ රොටුඹේ අමිල නිදහස් කළ බවය. තවත් තොරතුරකින් කියැවුණේ ලොකු පැටී හැර අනෙක් සියලු දෙනාම නිදහස් කළ බවය. මේ සියල්ල නොනිල තොරතුරු විය.

මේ අය වෙනත් රටකට පලා යාමට උත්සාහ කිරීමේදී හසුවූ බව මේ තොරතුරු අනුව කියැවිණි. මේ සියල්ල පෙර කී අඅඅපරිදිම නොනිල තොරතුරුය. එහෙත් මේ නම් ගම් රටේ මිනිසුන්ට නුපුරුදු නම් ගම් නොවේ. මේ අය ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ මාකඳුරේ මදූෂ්ගේ ගෝලයන්ය. ඒ කාලයේ මේ අයගේ නම් ගම් නිරතුරුව කියැවිණි. පසුව මදූෂ් සමඟ රැලම ලංකාවට ආවේ ඩුබායිහිදී පාටි දමා කොටුවීම හේතුවෙනි.

එහෙත් මේ අයගේ නම වැඩියෙන්ම කියැවුණේ, ලියැවුණේ පසුගියදා සිදුවූ ඉතාම අශීලාචාර ඝාතනයත් සමඟිනි. ඒ වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීම හේතුවෙනි. මේ ඝාතනය සම්පූර්ණයෙන් මෙහෙයවූයේ ඩුබායි හි සිටි ලොකු පැටී බවත්, වෙඩික්කරුවන් රොටුඹේ අමිලගේ බවත්, කොන්ත්‍රාත්තුව කංජිපානි ඉම්රාන්ගේ බවත් කියැවිණි. කෙසේ වෙතත් ඒ වනවිට කංජිපානි ප්‍රංශයට පැන ගොස්, ප්‍රංශයේ ලා චැපල් ප්‍රදේශයේ සිටින බවට ආරක්ෂක අංශ වාර්තා කළේය. එසේ සිටියදීත් ලොකු පැටී, රොටුඹේ අමිල සහ කංජිපානි එකම මොහොතේ මේ සිදුවීම සීසීටීවී හරහා නරඹමින් සිටි බව ආරක්ෂක අංශ කීවේය. කංජිපානි එම ඝාතනයට ඍජුව සම්බන්ධ බවට දුරකථන ඇමතුම් සාක්ෂියක් හෝ නොතිබුණත් වෙඩි තැබූ උණ්ඩවල කේ.පී.අයි ලෙස මාර්කර් එකකින් ලියා තිබීම හේතුවෙන් මෙය ඔහුගේ වැඩක් බවට ආරක්ෂක අංශ සැක කළේය. ඒ කංජිපානිගේ අන්වර්ථ නාමය කේ.පී.අයි වන බැවිනි. කෙසේ වෙතත් වසන්ත ඝාතනය කළේ මදූෂ්ගේ මුදල් ආරෝවක් නිසා නම් නියත වශයෙන්ම කංජිපානි මෙයට සම්බන්ධ නොවීමට හේතුවක් නැත. ඒ අනුව වසන්ත ඝාතනයේ වගකීම කංජිපානිගේ ගිණුමට බැරවී අවසන්ය. එහෙත් ඔහු ඊට සම්බන්ධද, නැද්ද යැයි දැනගන්න හැකි වනුයේ කංජිපානි මෙරට ආරක්ෂක අංශයට බාර කිරීමෙන් පසුවය.

කෙසේ වෙතත් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්නම් ඔවුන් මෙරටට බාර දෙයිද නැද්ද යනුවෙන් සැකයක් පවතී. ඒ වෙන කිසිවක් නිසා නොව එරට තුළ මානව හිමිකම් ශක්තිමත් වන බැවිනි. ඒ නිසා ලොකු පැටීට මෙරට ආරක්ෂක අංශවලින් තර්ජනයක් ඇති බව යම් ලෙසකින් හේතු ඉදිරිපත් කළහොත් බොහෝ විට ඔහුට දේශපාලන රැකවරණය හිමිවනු ඇත. එහෙත් ඔවුන්ට වැරදීමට ද ඉඩක් තිබේ. ඒ මෙම සැකකරුවන්ට විරුද්ධව ජාත්‍යන්තර පොලීසිය වරෙන්තු නිකුත් කර ඇති බැවිනි. ලොකු පැටීට වැඩ වැරදිය හැක්කේ ඒ අනුවය.

පුදුමය නම් කංජිපානි අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇත්නම් එලෙස ජාත්‍යන්තර රතු වරෙන්තුවක් හිමි අයකු නිදහස් කළේ කෙසේද යනුවෙනි. එසේ නිදහස් කළේ නම් එතැන ගැටලුවක් ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලීසිය කියන ආකාරයට ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ඇත්නම් කිසිසේත් කංජිපානි නිදහස් කළ නොහැක. ඒ නිසා කංජිපානි අත්අඩංගුවට පත්වූවා යන කතාව තවම නිශ්චිත නැත. විශේෂ‍යෙන් ප්‍රංශයට පැන ජීවත් වන බව කියන කංජිපානි බෙලරූස් හරහා වෙනත් රටකට ගමන් කරන්නේ කුමන අරමුණකින්ද යැයි අපි නොදනිමු. ඒ නිසා මේ සියල්ල ජාත්‍යන්තර පොලීසිය හරහා නිවැරදි කරගත යුතුය. විශේෂයෙන් කංජීපානි වැනි අයකු වෙනත් නමකින් ද සිටිය හැකිය. ඒ අනුව මොහු නිදහස් වී සිටීමටද බැරි නැත. කෙසේ වෙතත් මේ සියල්ල හෙළිවනුයේ ජාත්‍යන්තර පොලීසිය මගින් සියල්ල අපේ රටට දැනුම් දීමෙන් පසුවය. ඒ සියල්ල ඉදිරියේදී සිදුවනු ඇත.

• ගයාන් ගාල්ලගේ

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03