රාජ්‍ය ආදායම එකතු වීම දුර්වල මට්ටමක පවතින බව යළි යළිත් විවිධ පැතිවලින් වාර්තා වේ. අලුතින් බදු පනවනවාට වඩා එකතු කිරීමට ඇති බදු හැකි තරම් එකතු කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවිය යුතු බව ප්‍රකාශ වෙයි. එසේ වුවද බදු එකතු කිරීමේ අංශ එකතු කිරීමට අපහසු බදු ආදායම ලබා ගැනීමට උනන්දු වෙනවා වෙනුවට උත්සාහ කරනුයේ අලුතෙන් පැනවූ විවිධ බදු වර්ග එකතු කිරීමටය. ඒ නිසා බදු ආදායම අඩුවීමට අදාළ අංශවල ඇතැම් විෂය නිලධාරින් වගකිව යුතු බව පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ අකාර්යක්ෂමභාවය සහ උනන්දුව අඩුවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ඇතැම් නිලධාරින් විශේෂයෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන තිබීමද බදු එකතු කිරීම පහළ මට්ටමක සිටීමට හේතු වී තිබේ. බදු නොගෙවා සිටීමට වක්‍ර ආකාරයෙන් ඇතැම් දූෂිත නිලධාරින්ගේ සහය ඔවුන්ට නිරතුරුව ලැබීම මෙහිදී සිදුවේ.
ඍජු බදු එකතු කිරීම මෙලෙස අවම මට්ටමක තිබියදී වක්‍ර බදු එකතු කිරීමේ ක්‍රමවේදය ද බොහෝ සේ දුර්වල මට්ටමක පවතී. එයට හේතු වන්නේ ද අදාළ ක්‍රියා පටිපාටියේ ඇති දුර්වලතා මෙන්ම මේ ක්ෂේත්‍රවල නිරත වී සිටින සමහර නිලධාරින් වංචා දූෂණවලට පෙළඹී සිටීමයි. රේගු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මෙලෙස විශාල වශයෙන් බදු එකතු කිරීමේ ක්‍රියාදාමය බිඳවැටී ඇති ආයතන වෙයි. මෙම ආයතන දෙකම විශාල බදු මුදල් එකතු කිරීමේදී සිදුවන දූෂණ, වංචා සහ අකාර්යක්ෂමතා නිසා රාජ්‍ය ආදායමේ විශාල ප්‍රමාණයක් අය කරගත නොහැකි තත්ත්වයට පත් වී ඇත.
රේගු තෑගි අරමුදලෙන් සියයට 50 ක් නිලධාරින්ට සහ සියයට 30 ක් රජයට ද සියයට 20 ක් නිලධාරින්ගේ සුබසාධනයට ද යොදාගත හැකි ආකාරයේ නීති දැනට පවතින නමුත් මෙහිදී ද නොයෙක් වංචා සිදුවන බව දැනගන්නට තිබේ. නිලධාරින් නිතරම උත්සාහ කරනුයේ ස්වකීය ගොඩ වැඩි කර ගැනීම සඳහාය.
මෙම තෑගි අරමුදලෙන් සියයට 50 ක් රජයට ලබාගැනීමට හැකිවන පරිදි නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පසුගියදා පැවසීය. දැනට පවතින සියයට 30, 50 දක්වා වැඩිකර ගැනීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙයි. මේ අනුව රජයට සියයට 50 ක් නිලධාරින්ට හා ඔත්තුකරුවන්ට සියයට 45 ක් සහ නිලධාරි සුබසාධනයට 5 ක් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරයි. කෙසේ වුවද දැනට පවතින ක්‍රමය යටතේ වුව ඇතැම් අවස්ථාවල රජයේ කොටස නිසියාකාරව උරුම කර නොදී එයින් ද ඇතැම් නිලධාරින් වැඩිපුර හිමිකර ගන්නා බව විගණකාධිපතිවරයා අනාවරණය කර ඇත.
මත්පැන් නිෂ්පාදක සමාගම්වලින් හිඟ බදු රුපියල් බිලියන 1.1 ක් අයකර නොගැනීම පිළිබඳ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී දැඩි අප්‍රසාදය පළ වී තිබේ. එම කාරක සභාව මෙම මුදල 2024-06-30 දිනට පෙරාතුව අයකර ගන්නා ලෙස උපදෙස් දුන්නද ඒ අනුව ක්‍රියාත්මක නොවීම පිළිබඳ එහි සභාපති පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා චෝදනා මුඛයෙන් කතා කර තිබේ. වැඩිපුරම හිඟ හිටුවා ඇති ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් අයකර ගැනීමට ඇති මුදල මිලියන 1659 කි. හිඟුරාන ඩිස්ටිලර්ස් සමාගම මිලියන 102 ද, සිනර්ජි සමාගම මිලියන 37 ක්ද හිඟ හිටුවා ඇති බව අනාවරණය විය.
මෙන්ඩිස් සමාගම හැර සෙසු ආයතන සමඟ අත්සන් කළ බදු ගිවිසුම් මේ වනවිට අක්‍රිය වී තිබීමද අයකර ගැනීමට ගැටලුවක් වී තිබේ. 2023 වසරේ හිඟ බදු නොගෙවූ සමාගම්වල බලපත්‍ර තාවකාලිකව අවලංගු කරන ලෙස දුන් උපදෙස් ක්‍රියාත්මක වී නොමැති අතර සුරාබදු කොමසාරිස්වරයා පවසන්නේ බලපත්‍ර අවලංගු නොකර ව්‍යාපාර කරන ගමන්ම බදු අයකර ගැනීම උචිත බවය. සාමාන්‍ය ජනතාව මත බදු බර පටවමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම ගැන කාගේත් අප්‍රසාදය පළ වේ.
ලොව රටවල් 152 ක් අතරින් අඩුම ආදායම ලබන රටවල් 5 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත්ය. ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ ආදායම සියයට 15 කින් වැඩිකර ගැනීමට නමුත් ලොව දියුණු රටවල රජයේ ආදායමේ අගය සියයට 30 – 40 දක්වා ඉහළය. මේ අතර අදානි සමාගම වැනි විදේශ සමාගම්වලට වසර 25 – 50 වැනි බදු විරාම ලබා දෙමින් පවතී. බදු ආදායම වසරින් වසර අඩුවෙමින් පවතින අතර, 2022 වසර වනවිට එකතු නොකළ බදු ආදායම රුපියල් බිලියන 976 ක් වන අතර එය පෙර වසරේ එකතු කළ ආදායමෙන් සියයට 56 ක් වෙයි. ඒ නිසා ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කළ යුතු අතර අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රතිසංවිධානය කිරීම වැදගත්ය. සම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් නව තාක්ෂණය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් අප තවමත් යන්නේ පරණ පාරේමය.
මුළු දෙපාර්තමේන්තුවම ප්‍රතිසංවිධානය කළ යුතුයි
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා:
අපේ රටේ දිගු කාලයක සිට රාජ්‍ය ආදායම අඩුවීම ප්‍රධාන ගැටලුවක් වෙලා. ආදායම අඩුයි. වියදම වැඩියි. මේ දෙක අතර පරතරය පියවීමට මුදල් මුද්‍රණය සහ ණය ගැනීම තමයි සාමාන්‍යයෙන් කෙරුණේ. ඒත් අද වනවිට මේ දෙකම කරන්න බැහැ. ඒ නිසා බදු ආදායම වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය වෙලා. බදු ආදායම අඩුවීමට දේශපාලන මැදිහත් වීමද, යාන්ත්‍රණයේ ඇති දුර්වලතා ද හේතු වුණා.
2022 දී අපේ ජාතික ආදායම රුපියල් බිලියන 2013 ක් තමා ලැබුණේ. ඒත් ඒ වසරේ ඇස්තමේන්තුව බිලියන 3000 ක් වෙලා තිබුණා. ජනාධිපති අන්තිමට කීවේ රුපියල් බිලියන 2830 පමණ එකතු කළ හැකි බවයි. ඒත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව ක්‍රියා කිරීම නිසා එය බිලියන 3075 දක්වා වැඩි කරගත හැකි වුණා. 2022 වසරට සාපේක්ෂව මෙය සියයට 53 ක වැඩිවීමක්. බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සහ බදු පැහැර හැරීම වළක්වා ගැනීමට ගෙනා නීති රීති මෙයට හේතුවක් වුණා. මේ වැඩි වූ බිලියන 1062 න් බදු බිලියන 962 ක් වන අතර ඉතිරිය බදු නොවන ආදායම්. මෙහිදී වැට් එක වැඩි කිරීම නිසා රුපියල් කෝටි 23100 ක අතිරේක බදු ආදායමක් වැඩි කරගෙන තියෙනවා. පුද්ගල ආදායම් බදු රුපියල් කෝටි 14400 ක් වැඩි වුණා. වසරකට ලක්ෂයකට වැඩි පොලී ආදායමට බදු ගැසීම නිසා කෝටි 13800 ක් උපයාගෙන තියෙනවා. මේ හේතු නිසා තමා ආදායම වැඩි වී ඇත්තේ.
එහෙත් අප තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් ඉලක්කවලට පසුපසින් තමා සිටින්නේ. දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 25 – 26 ක ආදායමක් ලැබෙනවා. සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල් ලංකාවේ රාජ්‍ය ආදායම ගෝඨාභය සමයේ සියයට 8 දක්වා පහළ ගියා. මෙහිදී බදු කපා හැරීමෙන් පමණක් වසරකට කෝටි 60000 ක් පමණ ආදායම අඩු වුණා. අර්බුදය ඇතිවූයේ මේ නිසයි. මූල්‍ය අරමුදල පවසා ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතය 2027 වසර වනවිට සියයට 15 කින් පමණ වැඩි විය යුතු බවයි. 2024 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 – 14 ක ආදායමක් පෙන්විය යුතු බවට මූල්‍ය අරමුදල පැවසුවද බලාපොරොත්තු විය හැක්කේ සියයට 11 – 12 පමණයි. මේ නිසා තමා මූල්‍ය අරමුදල බදු ප්‍රතිශතය වැඩි කරන ලෙස හෝ අලුත් බදු පැනවිය යුතු බවට උපදෙස් දී ඇත්තේ.
එහෙත් මා හිතන හැටියට මෙහිදී වැදගත් වන්නේ අතිරේක බදු නොපනවා තිබෙන බදු නිසි පරිදි එකතු කිරීමයි. එවිට ජනතාවට හිරිහැරයක් ද නැහැ. රටේ බදු එකතු කිරීමේ ප්‍රධාන ආයතන තුන වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරා බදු දෙපාර්තමේන්තුවයි. එහෙත් මේවායින් ආදායම් එකතු කිරීම අකාර්යක්ෂමයි. දූෂණ වංචා නිසා ලැබෙන බදු අඩුවෙලා තියෙනවා.
මූල්‍ය අරමුදල කියන්නේ බදු එකතු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතු බවයි. එහෙත් අරමුදලේ තුන්වැනි වාරිකය ගන්නට යන විටත් මෙය අපට කිරීමට නොහැකි වෙලා තියෙනවා. පසුගිය මාස 20 තුළ බදු එකතු කිරීමේ ක්‍රමවේදය නිසි ලෙස කළමනාකරණය කර නැහැ. රජයේ ඇති අවංකභාවය ගැන සැක ඇති වෙනවා. රාජ්‍ය ආදායම සියයට 52 කින් ඉහළ නංවාලීම හොඳයි. මේ අලුතින් එකතු කරගත් රුපියල් කෝටි 96200 ජනතාවගෙන් තමා අය කරගෙන තිබෙන්නේ. මෙහිදී ජනතාවගේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව කෝටි 96200 කින් අඩු කරගෙන ඇති බව පෙනෙනවා. මේ නිසා ආර්ථිකය සංකෝචනය වෙයි. එහෙත් ජනතාව අත මුදල් ගැවසේ නම් මේ තත්ත්වය යම් පමණකට අඩු වෙනවා ඇති. පැලැස්තර විසඳුම්වලට නොගොස් මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම මෙහිදී වැදගත්. ගෝඨාභය ජනපති කාලේ තිබුණු බදු ගොනු ලක්ෂ 15, ලක්ෂ 4 දක්වා අඩු වුණා. අද වන විටත් ඇත්තේ ලක්ෂ 8 ක් පමණයි. ඒත් නීතිය අනුව වසරකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායම් ලබන අය ගෙවිය යුතු වෙනවා. මේ අනුව අපට පෙනෙන්නේ බදු ගෙවිය යුතු වැඩි දෙනා බදු නොගෙවන බවයි.
රේගු නිලධාරින්ගේ රාජකාරිය රට තුළට බදු නොගෙවා ගෙනෙන භාණ්ඩ අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීමයි. එය ඔවුන් කළ යුතුයි. එම රාජකාරියට ඔවුන්ට වැටුප් ලැබෙන අතර යළි ත්‍යාග මුදලක් ද දීම අසාධාරණයි. එසේ නම් සෙසු රාජ්‍ය සේවකයන්ටද එවැනි දීමනා ගෙවිය යුතු වෙනවා. දඩ ගැසීමේ ක්‍රමවේදය විධිමත් නැහැ. දඩය තීරණය වෙන්නේ පුද්ගලයා අනුවයි. ගෙවන දඩය අඩු කරන ක්‍රමවේදයක් ද තිබෙනවා. එය පුද්ගලයා අනුව වෙනස් වෙනවා. මැති ඇමැති කෙනෙක් අසුවුණාම දඩය ඉබේම අඩු වෙනවා. සාමාන්‍ය කෙනකුට එවැනි වාසනාවක් නැහැ. මේ ක්‍රමවේදය විධිමත් විය යුතුයි.
සුරා බදු දෙපාර්තමේන්තුවේ ද වංචා දූෂණ බහුලයි. ඒ නිසා රටට ලැබෙන ආදායම අඩුවෙලා. ඇතැම් නිලධාරින් මත්පැන් සමාගම් සමඟ එකතු වෙලා විවිධ වංචා කරනවා. අරක්කු බෝතල්වලට ස්ටිකරයක් ඇලවීම නිසා මුල් දවස්වල යම් ආදායමක් වැඩි වුවද ඒ ක්‍රමය අසාර්ථක වීම නිසා පහුවන විට පෙර තිබූ තත්ත්වයට පත් වුණා. හොරට පෙරන මත්පැන් වැටලීමේ ක්‍රමවේදය අසාර්ථක නිසා දෙපාර්තමේන්තුවට ලැබෙන බදු ආදායම පහළ වැටිලා තියෙනවා. පවතින තත්ත්වය වෙනස් කිරීමට නම් මුළු දෙපාර්තමේන්තුවම ප්‍රතිසංවිධානය කළ යුතු බවයි මගේ අදහස.
• යසවර්ධන රුද්රිගු