අද අපි පොළොන්නරුවට ගොස් දැක බලා ගන්නේ මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල ආදී රජවරුන්ගේ මතක සටහන් සහිත නටබුන්ය. ඒ අතර චෝල ආක්‍රමණ සමයේ ඉදිකළ ශිව දේවාල ද දැකගැනීමට ලැබේ. ඉන් එහා අතීතයට අයත් නටබුන් ඉදිකිරීම් අද පොළොන්නරුවේ දැකගත නොහැකි වුවත් ඒ වැළලුණු අතීතය මතුකර ගන්නා පර් යේෂණ තොරතුරු පසුගිය දා අසන්නට ලැබුණි. පොළොන්නරුව ඉපැරණි නගරයේ මේ වර්ෂයේ මුල දී පුරාවිද්‍යා පර් යේෂණ ව්‍යාපෘතියක් සිදුවිය. මේ ගැන මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මාධ්‍ය සඳහා මෙසේ සඳහන් කර සිටියේය.
"අපි එම කැණීම් ව්‍යාපෘතිය ආරම්භ කළේ පොළොන්නරු යුගයේ වර්ධනය වූ නාගරික ශිෂ්ටාචාරය පිළිබඳව සොයා බැලීමටයි. කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, ඔස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනවල පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් පරාක්‍රමබාහු රජුගේ රජ මාලිගාව හා ඒ අවට පිහිටි පුරාවිද්‍යා භූමියේ අධ්‍යයනයක් කළා. ඔවුන් සිය විමර්ශනය සිදු කළේ නූතන තාක්ෂණය භාවිත කරමින්."
එම ව්‍යාපෘතිය අවසන් වූ අතර ඉන්පසුව ඔස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව පසුගිය දිනවල සිදුකළ පර් යේෂණ ව්‍යාපෘතියක් මගින් පසුගියදා ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිග පරිශ්‍රය තුළ ප්‍රථම වරටි ‘ලයිඩා’ තාක්ෂණය උපයෝගි කර ගනිමින් පුරාවිද්‍යා පරීක්ෂණ සිදු කෙරිණි. එහිදී අනාවරණය වූයේ පොළොන්නරු යුගයට පෙර උද්‍යාන සහිත නටබුන් කලාපය රජ මාලිගා බිමේ පැවති බවයි. මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගත් මහාචාර්ය ප්‍රිශාන්ත සඳහන් කරන්නේ එහිදී ලැබුණු රූප සටහන් අනුව ඉපැරණි පරාක්‍රමබාහු මාලිගයේ සිට උතුරු දොරටුව දක්වා පොකුණු මාර්ග සහිත උද්‍යාන භූමියක නටබුන් දිස්වන භූමියක් දැකගත හැකි වන බවයි.
වර්තමානයේ පුරාවිද්‍යා කටයුතුවලට, ජලය යට තිබෙන දෑ විමර්ශනය කිරීමට මෙන්ම පාරිසරික කටයුතුවලටත් භාවිත කරන LiDAR (Light Detection and Ranging) තාක්ෂණය යනු දුරස්ථ සංවේදක පද්ධතියකි. LiDAR උපකරණය මගින් නිකුත් වන ලේසර් කිරණ ධාරාව පොළෝ අභ්‍යන්තරයේ ඇති වස්තුව වෙතට ගමන් කර පරාවර්තනය කරන ලද සංඥාවේ වේගය සහ තීව්‍රතාවය මැනීමෙන් පසුව ලකුණු දෙකක් අතර නිශ්චිත දුර ගණනය කිරීමෙන් අනතුරුව සවිස්තරාත්මක ත්‍රිමාණ රූප සටහන් නිර්මාණය කෙරේ. මේ නිසා ඇසට නොපෙනෙන පොළෝ ගැබ තුළ ඇති දෑ ගැන තොරතුරු මවා ගැනීමට ඉඩ ලැබේ.
ලොව බොහෝ රටවල මේ තාක්ෂණය භාවිත කළ ද ලංකාවේ එය භාවිත වන්නේ ඉතා කලාතුරකිනි. ලංකාවේ භාවිත වන්නේ පුරාවිද්‍යා පරීක්ෂණ කැණීම් කර දත්ත තිබෙන තැන සොයාගැනීමේ පැරණි ක්‍රමයයි.
ලයිඩා තාක්ෂණයේ විශේෂත්වය වනුයේ ඝන කැලෑවක හෝ ජලාශයක වුවද තිබෙන පුරා විද්‍යාත්මක නටබුන් මීටර් තුනක් පොළොව යට දක්වා නිරීක්ෂණය කර බැලීමට හැකි වීමයි. මේ ගැන වැඩිදුරටත් පැවසූ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන:
“ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොබ් විශ්වවිද්‍යාලය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව මසක පමණ කාලයක සිට මෙහි කැණීම් කටයුතු සිදු කරනවා. මෙමගින් චීන කාසි සහ චීන යුගයේ භාවිත කරන ලද මැටි බඳුන් ද පරාක්‍රමබාහු රජ මාලිගය පරිශ්‍රය තුළ සිදු කරන ලද කැණීම් තුළින් සොයා ගැනීමට ලැබුණා. එම කාසි අයත් වන්නේ 10 සහ 12 වැනි සියවස්වල තිබුණු චීනයේ සෝන් රජ යුගයටයි. පොළොන්නරුව අගනුවර ලෙස ආරම්භ කිරීමට පෙර යුගයක අතීතයක පුරාතන ජනාවාස මෙහි තිබුණු බව මෙසේ හමුවූ මැටි බඳුන් කැබලි තුළින් අනාවරණය කර ගැනීමට හැකි වේවි. හමුවූ චීන කාසි පබලු සහ මැටි බඳුන්වල කාල නිර්ණය කිරීම සඳහා විද්‍යාගාර පර් යේෂණ සඳහා තවදුරටත් යොමු කළ යුතුයි. ඉතිහාසයේ චීනය සහ ශ්‍රී ලංකාව අතර දැඩි ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා තිබුණු බවට ඉතිහාස පොතපතේ සඳහන් කරුණු පොළොන්නරුව යුගයේ දී සාක්ෂිවලින් තවදුරටත් ඔප්පු වෙනවා.”
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන තවදුරටත් පවසා සිටියේ කර සිටියේ ජී.පී.ආර්. තාක්ෂණය (පොළොව ස්කෑන් කිරීම තුළින්) ලබාගත් පුරාවිද්‍යාත්මක සාධක ද ලයිඩා තාක්ෂණය ඔස්සේ ලබාගත් පුරාවිද්‍යාත්මක සාධකවලට මූලිකව සමාන බවය. ලයිඩා තාක්ෂණයෙන් ත්‍රිමාණ පින්තූර ලබාගත හැකි නිසා වඩාත් පැහැදිලි අදහසක් ලබාගත හැකිවීම වාසියකි. ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොබ් විශ්වවිද්‍යාලයේ සහකාර අධ්‍යක්‍ෂක ආචාර්ය කිය ස්ට්‍රික්ලන් මහතා ඇතුළු විදෙස් විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් මෙම
පර් යේෂණවලට සම්බන්ධ වී සිටිති. ඉදිරියේ දී තවදුරටත් අප නොදන්නා තොරතුරු මේ ඔස්සේ ලබාගැනීමට හැකිවනු ඇත.
අනුරාධපුර රාජධානිය චෝල පාලනයට යටත් වූ වර්ෂ 993 දී රාජරාජ චෝල රජු අගනුවර පොළොන්නරුවට ගෙන ගියේය. පොළොන්නරුව රාජධානිය බිඳ වැටුණේ ක්‍රි.ව. 1236 දී කාලිංග මාඝ කාලයේය. වසර 250කට ආසන්න කාලයක් පැවති පොළොන්නරුව රාජධානිය පාලනය කළ සාර්ථකම පාලකයා වුණේ මහා පරාක්‍රමබාහු රජුය. විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසුව පොළොන්නරු රාජධානිය අත්පත් කරගත් පරාක්‍රමබාහු රජු සිය රාජ්‍ය කාලය තුළ විශාල වැඩ කොටසක් ඉටු කළ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. එලෙස පැරකුම් යුගයේ දී ඉදිවුණු සුවිසල් නිර්මාණ අද දකින විට බොහෝ දෙනකුගේ සිතට පිවිසෙන්නේ එදා පොළොන්නරු රාජධානිය තුළ තිබුණු ශ්‍රී විභූතියයි. පොළොන්නරුව රජ මාලිගය මෙන්ම ගල් විහාරය ද ඒ රජුගේ නිර්මාණ අතර වේ.
පොළොන්නරුවේ ‘ඇතුළු නුවර’ දක්නට ලැබෙන විශාලතම ගොඩනැගිල්ල වන්නේ පරාක්‍රමබාහු රජ මාලිගයයි. චූලවංශයේ මෙය හඳුන්වා ඇත්තේ ‘වෛජයන්ත ප්‍රාසාද’ නමිනි. මෙම ගොඩනැගිල්ල මහල් 7ක් උසට ගොඩනගා තිබුණු බවට සඳහන්ය. අද දැකගත හැක්කේ රජ මාලිගයේ මහල් 3ක නටබුන් පමණයි. දැව කුලුනුවල සලකුණු මෙන්ම ඉහළට නැගීමට පැවති පියගැට පෙළ ද එහි දැකගත හැකිය.
ක්‍රි.ව. 1215 දී කාලිංග මාඝ විසින් පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කරන අතර ඔහු රාජධානිය කොල්ල කා වෙහෙර විහාර විනාශ කර දැමුවේය. මාලිගය ගින්නකින් විනාශ වූ බවට සලකුණු පවතින අතර එය මාඝගේ ආක්‍රමණ කාලයේ සිදුවූ දෙයක් වීමට ඉඩ තිබේ.
මෙහි කාමර 1000ක් තිබුණු බව මහාවංශයේ සඳහන් වේ. එය අතිශයෝක්තියක් වුවද මාලිගය විශාල ගොඩනැගිල්ලක් බව ශේෂ වී පවතින නටබුන්වලින් පෙනේ. මෙය තැනීමට වසර සතක් සහ මාස හතක් ගත වූ බවත් මහාවංශය සඳහන් කරයි.
එවකට මාලිගය ගොඩනගා ඇත්තේ පැරණි උද්‍යානයක බවත් ඒ අවට තවත් ගොඩනැගිලි පැවති බවත් මෑත විද්‍යාත්මක පර් යේෂණවලින් සනාථ වී තිබේ. දැන් කළ යුත්තේ ඒ පුරාණ නටබුන් මතු කරගත හැකි තැන්වලින් හෝ මතුකර සංරක්ෂණය කිරීමය.
සේයාරූ අන්තර්ජාලයෙනි
• කුසුම්සිරි විජයවර්ධන