පොල් වගාවට හානි කරන සුදු මැස්සා හේතුවෙන් වගාවට යම් බලපෑමක් ඇතිවී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි. පොල් කොළවල යටි ප්‍රදේශවල සුදු පැහැති පුළුන් වැනි සුදු මැස්සාගේ ජනාවාස පවතී. එහි බිත්තර සුදු පැහැතිය.
“මීට වසර කිහිපයකට පමණ පෙර සුදු මැස්සාගේ ව්‍යාප්තිය සිදු වුණා. සුදු මැස්සා මුලින්ම කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවල වාර්තා වුණා. මුලින්ම සුදු මැස්සා ලංකාවේ පොල්වලට හානි කරන කෘමියෙක් නෙවෙයි. කාලයක් තිස්සේ සුදු මැස්සා මඤ්ඤොක්කා, ගස්ලබු, කෙසෙල්, බටු, මිරිස් වැනි බෝගවලට හානි සිදු කළා. ක්‍රමයෙන් පොල් වගාවන්ට හානිදායක වෙද්දී පොල් පර් යේෂණ ආයතනය මේ සම්බන්ධව සොයා බලද්දී පොල් අතුවල කොළ කහ පැහැති වීමේ තත්ත්වයක් ඇතිවන බව සොයා ගනු ලැබුවා. ඒ අනුව කරන ලද පර් යේෂණවලදී පොල් පර් යේෂණ ආයතනය සුදු මැස්සා හඳුනාගනු ලැබුවා. එයින් පොල් අස්වැන්නට බලපෑමක් ඇතිවිය හැකි බැවින් සුදු මැස්සා පාලනය කරන්නට තීරණය කළා.” යැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාප්ත හා සංවර්ධන) එන්.එස්.ජයලත් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඒ අනුව පොල් පර් යේෂණ ආයතනය පළමුව රසායනික ද්‍රව්‍ය කිහිපයක් මේ සඳහා නිර්දේශ කළේය. එම රසායනික ද්‍රව්‍ය පොල් අතුවල යටි පැත්තට ඉසීමට ඔවුන්ගේ අනුමැතිය ලැබුණි. විශේෂයෙන් වැඩි වේගයෙන් සුදු මැස්සා හානිදායක වන ප්‍රදේශවලට මෙම ද්‍රව්‍ය පළමුව ඉසීමට ඔවුහු තීරණය කළහ. ඒ අනුව පොල් සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගය ද ඇතිව සුදු මැස්සා වැඩි වශයෙන් පැතිරෙන ප්‍රදේශවලට මෙම ක්‍රියාවලිය සිදු කෙරිණි. මෙම රසායනික ද්‍රව්‍යවලින් යම් තරමකින් සුදු මැස්සා විනාශ විය. සුදු මැස්සා පොල් කොළවල යුෂ උරා බොමින් පොල් වගාවට හානි සිදු කරයි. විශේෂයෙන් සුදු මැස්සා කහ පැහැයට වැඩි කැමැත්තක් දක්වයි. ඒ හේතුවෙන් වැඩි වශයෙන් හානි සිදුවන්නේ තැඹිලි වගාවන්ටය. පොල් වගාවේදී පහළට බර වූ පොල් අතු කහ පැහැයෙන් යුක්ත වන අතර ඒවාට ද සුදු මැස්සාගෙන් හානි සිදුවිය.
රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් යම් පාලනයක් සිදුවුවද විවිධ ප්‍රදේශවලින් වරින් වර සුදු මැස්සාගේ වර්ධනය වීමක් දක්නට ලැබිණි. පුත්තලම, කුරුණෑගල, ගම්පහ දිස්ත්‍රික්කවල වරින් වර වැඩි වශයෙන් සුදු මැස්සා ව්‍යාප්ත විය. මේ අතරේ සුදු මැස්සාට රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් අනික් විලෝපිතයන්ද විනාශ වන හෙයින් මෙම වසංගතය ස්වභාවිකව පාලනය වීම අඩුවන හෙයින් රසායනික ද්‍රව්‍ය ඉසීම නවතා ඒ සඳහා වෙනත් විකල්පයක් ඉදිරිපත් විය.
ඒ අනුව වතුර ලීටරයකට කොහොඹ තෙල් මිලිලීටර් පහක් සහ සබන් කුඩු මිලිලීටර් පහක් සමඟ හොඳින් කලවම් කොට මර්දනය කිරීම සඳහා ඉසීම සිදු කිරීමට තීරණය විය. පොල් ගස් උසවීම හේතුවෙන් මෙය එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා එකවර අවශ්‍යව තිබූ කොහොඹ තෙල් ප්‍රමාණය ලංකාවේ නොතිබූ අතර ඒවා ඉන්දියාවෙන් ද ආනයනය කර තිබුණි.
“ඒ වන විට අධිවේගයෙන් දියර ඉසිය හැකි යන්ත්‍ර අපි මිලදී ගෙන තිබුණා. අපි මෙම මිශ්‍රණය සාදා යන්ත්‍ර මගින් ඉසීමට ප්‍රාදේශීය මට්ටමින් වගාකරුවන්ගේ සහයෝගය ඇතුව පොල් වගාවට යොදා ගත්තා. පහුගිය වසරවල්වල ගස් ලක්ෂ එකොළහකට වැඩි ප්‍රමාණයකට තෙල් ඉසීම සිදු කළා. ඒ සඳහා අපි වැටුප් ගෙවා මිනිසුන් සේවයට යොදා ගත්තා. ඇතැම් දිස්ත්‍රික්කවල සුදු මැස්සා වැඩි වශයෙන් වාර්තා වුණේ නැති වුණත්, වැඩි වශයෙන් වාර්තා වුණු දිස්ත්‍රික්කවලට අපි මෙම ක්‍රියාව අනුගමනය කළා. මෙයින් සෑහෙන දුරට සුදු මැස්සා මර්දනය වුවද ඇතැම් පොල් වගාකරුවන් මේ සඳහා වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. විශේෂයෙන් අයිතිකරුවන් විදෙස්ගතව සිටින පොල් ඉඩම්වල මුරකරුවන් යොදා සොයා බලන පොල් ඉඩම්වල මෙය සිදුවුණේ නැහැ. නමුත් අපිට බලෙන් ගිහින් පොල් වගාවට මේ යොදන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඇතැමුන්ගේ උනන්දුව නැතිවීම හේතුවෙන් පොල් වගාවන් සියල්ලටම මෙය යොදන්න හැකියාවක් ලැබුණේ නැහැ.” යැයි එන්.එස්. ජයලත් මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
කොහොඹ තෙල් හා සබන් කුඩු මිශ්‍රණයෙන් සුදු මැස්සා යම්තාක් දුරකට සාර්ථක ලෙස මර්දනය සිදුවිය. එයින් යම් පාලනයක් ද සිදුවිය. නමුත් පසුකාලීනව දෙවැනි වතාවටත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නැවතත් සුදු මැස්සා වාර්තා විය. අනුරාධපුරේ සිට යාපනය දක්වාම මේ කාලයේ දී සුදු මැස්සා ව්‍යාප්ත වීම සිදු විය. ඒ අනුව ක්ෂේත්‍රයේ සිටින වගාකරුවන් දැනුවත් කොට නැවතත් දියර යන්ත්‍ර අවශ්‍ය ප්‍රමාණයට ප්‍රදේශවලට බෙදාහරින ලදී. යාපනය ජනතාවගෙන් ඇතැම්හු කොහොඹ තෙල් වෙනුවට රසායනික ද්‍රව්‍ය පොල් වගාවට ඉසීමට තීරණය කළහ. කෙසේ හෝ වර්ෂාවත් සමඟ නැවතත් මෙහි අඩුවක් දක්නට ලැබුණු අතර එයින් ද යම් ප්‍රමාණයකින් මෙය පාලනය විය. මේ වන විට වරින් වර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් සුදු මැස්සා මතුවෙමින් සිටියි.පසුගිය කාලයේ දී සුළඟත් සමඟ පැවැති තද වර්ෂාවත් සමඟ සුදු මැස්සාගේ මර්දනයක් සිදුවිය. වියළි කලාපවලදී මෙය වැඩි වශයෙන් දක්නට ඇත. මේ සම්බන්ධයෙන් පොල් සංවර්ධන නිලධාරීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දී ඇති අතර ඔවුන් හරහා පොල් වගාකරුවන්ට මේ සම්බන්ධයෙන් දැනුමක් ලබා දී තිබිණි.
පසුගිය කාලයේ දී පොහොර හිඟය සහ පොහොර මිල ඉහළ යාම හේතුවෙන් පොහොර යෙදීමේ අඩුවක් සිදුවිය. එයින් ද ගස්වල තිබෙන ගුණය අඩුවීම සිදු වේ. මේ හේතුවෙන් ද සුදු මැස්සාගේ වර්ධනය ඉහළ ගොස් ඇත. ඒ අනුව පොල් වගාවට අවශ්‍ය පොහොර හා සොයා බැලීම් සිදු කිරීමෙන් පොල් වගාවට ඇතිවන හානිය ද අවම කර ගැනීමට හැකිවනු ඇති බව සොයාගෙන ඇත. සුදු මැස්සාගේ බලපෑමෙන් පොල් අස්වැන්නේ යම් අඩුවීමක් ඇතිවිය හැකිය. හානිය අධික අවස්ථාවල පොල් ගෙඩි හා පොල් පිතිවලද සුදු මැස්සා දැකිය හැකිය.
සුදු මැස්සා සඳහා රසායනික ද්‍රව්‍ය යෙදීමේදී ස්වභාවික සතුන්ට හානි නොවන සේ යෙදීමට වග බලාගත යුතුය. විලෝපිතයන් මගින් යම්තාක් දුරකට සුදු මැස්සා පාලනය වේ. මේ වන විට දියර ඉසින යන්ත්‍ර හත්සියයක් පමණ පොල් වගාකරුවන් අතර බෙදා දී තිබේ.
• දිශානි ජයමාලි කරුණාරත්න