2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

යතිවර මහරජ දැන් ඉතින් සමුගන්න!

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

සංසාර අනන්තයේ ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන් යන නවාතැන්පොළින් උන්වහන්සේ නික්ම ගිය සේක. යළි කිසිදාක ගංගාරාමයේ ඇතුළු දොරටුව අබියස සිරියාවන්ත සිනහ මුහුණින් හැම උදෑසනකම වාගේ වැඩහිඳි අපේ පොඩි හාමුදුරුවන්ගේ ප්‍රිය දසුන මගේ දෑසට හමු නොවනු ඇත. උන්වහන්සේගේ මුවින් වෑහුනු සුවදායී ප්‍රිය වදන් සවන් නොවැටෙනු ඇත. ඔබවහන්සේගේ භෞතිකය අතැර ගිය විඥානය සංසාරයේ වීදි දිග බොහෝ මංපෙත් හි තව සැරිසැරුවත් ඔබවහන්සේ ඔබවහන්සේ වෙසින් යළි කිසිදු තත්ත්පරයක අපට මුණ නොගැසෙනු ඇත...

අහන්න ආදරණීය පොඩි හාමුදුරුවනේ... එහෙයින්ම ඔබවහන්සේගේ සමුගැනීම මේ තත්ත්පරයේත් දරාගන්නට අසීරුම සමුගැනීමකි.

අහන්න පොඩි හාමුදුරුවනේ... ඔබවහන්සේ යනු උපමාවකින් වියුක්ත ශාසන අහසෙහි රන්වන් සඳ මඬලකි. ඔබවහන්සේගේ ගුණ සමුදාය වනාහි ඒ අසමසම සඳ මඬලින් විදාහල නිකලැල් සඳ කිරණකි. සඳ දිය දහරාවකි. ඒ සඳ සිහිලේ අපරිමිත මෘදු ගුණය සුවහසක් දන මන සනසාලූ වගෙහි අමුතුවෙන් කියන්නට යමක් නැත.

පොඩි හාමුදුරුවනේ... සමුගැනීමේ වේදනාව මෙතරම්ම රුදුරු වන්නේ ඔබවහන්සේ සදිසි මානවවාදී ප්‍රේමවාදී යතිවර මහ රජෙක් යළි කිසිදා හමුවේදැයි මම නොදන්නා හෙයිනි.

ඔබවහන්සේ හා යාවුණු මගේ මතක සමුදායෙන් සමුච්චයක් මේ තත්ත්පරයේ දිග හරින්නට ඉතින් මට අවසරයි.

වරක් අධ්‍යයන කටයුත්තක් සඳහා මා ඉන්දියාවට යාමට පෙර දිනයේ ගංගාරාම විහාරයට ගියේ ඔබවහන්සේ සහ ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් මුණගැසී යන වග කියා ඔබවහන්සේලාගේ ආශිර්වාද ලබාගැනීමටය. එදත් උදෑසන ගංගාරාමයේ පිවිසුමේදීම මා නෙත ගැටුණේ පොඩි හාමුදුරුවන්ගේ පින්සාර ප්‍රිය දසුනයි. මම උන්වහන්සේට වැඳ නමස්කාර කර හාමුදුරුවනේ හෙට මම ඉන්දියාවට යනවා යැයි කියද්දී ළමයෝ මෙහෙ එන්න යැයි කියමින් උන්වහන්සේ මා කැඳවාගෙන ගියේ ගංගාරාමයේ ධාතු කරඬුව වඩම්මවා ඇති පාරිශුද්ධ භූමිය වෙතය. කරඬුව මගේ හිස මත තබා පිරිත් නූලක් ද ගැටගසා මට ආශිර්වාද කළ උන්වහන්සේ ඉනික්බිති ඒ ඉන්දියානු සංචාරය මට වඩාත් සුව පහසු සංචාරයක් කරනු පිණිස උන්වහන්සේට කළ හැකි උපකාර මා කිසිවක් නොඉල්ලුවත් නිර්ලෝභීවම සිදු කළහ.

ඉන්දියානු සංචාරය නිමවා පැමිණෙන විට පොඩි හාමුදුරුවන්ට තෑගි කරන්නට මම අලංකාර කැටයම් සහිත ඇත් රූ දෙකක් ඉන්දියාවෙන් මිලදී ගෙන උන්වහන්සේ වෙත රැගෙන ආවෙමි. ආ ඒක හරි ලස්සනයි කියමින් එය තුටින් පිළිගත් උන්වහන්සේ එය මා ද කැටුව ගොස් ගංගාරාමයේ තබා ඇති රාක්කයක් මත අලංකාරවත් ලෙස තැන්පත් කර යළිත් නිහඬවම සිනාසුණේය. උන්වහන්සේගේ ස්වභාවය එලෙසය. සතුටින් හිඳිනු වස් බොහෝ මිනිසුන් නොසෑහෙන්න භෞතිකයන් එක්රැස් කරද්දී උන්වහන්සේ අල්පමාත්‍ර දෙයකින් වුව සැනහී සිටියහ. බොහෝ මිනිසුන් එක්රැස් කිරීමෙන් කිසිදා අවසාන තෘප්තියකට පත් නොවී ජීවිතයේ හැම තත්ත්පරයකම ඉපයීම වෙනුවෙන් මිඩංගු කරද්දී පොඩි හාමුදුරුවන් උන්වහන්සේට පූජා කරන යම් දෙයක් වෙත්නම් ඒ දෙය ද දුටු සතුටු සිතින් දන් දී අපමණක් සැනසුණහ.

සැබෑ අත්හැරීම තුළ සියල්ල හමුවන වග මගේ විශ්වාසයයි. ඒ විශ්වාසය මා තහවුරු කර ගත්තේ පොඩි හාමුදුරුවන් වෙතින් දිසි ජීවන සංනිදර්ශනයන්ගෙනි. සියල්ල අත්හරින විට උන්වහන්සේට සියල්ල හමුවිය. අල්පමාත්‍රයකදු ශේෂ නොකර යමක් අත්හැරීම යනු පුද්ගලයකුට සරල කාරණයක් නොවේ. මට සිතෙන්නේම මට දැනෙන්නේම එවන් අත්හැරීමක් උන්වහන්සේ සසර සක්මන සරා පුරුදු කරගෙන ආ හැටියකි.

ගංගාරාමයේ වැඩහිඳින කේෂ ධාතූන් වහන්සේ උදෙසා රන් කරඬුවක් නිර්මාණය කරද්දී මම මගේ සුළැඟිල්ලේ පැළඳ සිටි කුඩා රන් මුදුවක් ඒ කරඬුව වෙත පූජා කළෙමි. ඒ මා ගංගාරාමය වෙත පැමිණි පළමු දිනයේදීය. එදා මම ගංගාරාමයට පැමිණියේ ද මාධ්‍යවේදිනියක ලෙස පැවරුණු වගකීමක් දෙවුර දරාගෙන එය ඉටු කරලනු පිණිසය. ගංගාරාමය පුදබිමත් එහි වැඩසිටි පොඩි හාමුදුරුවන්, අස්සජී හාමුදුරුවන්, රතනසාර හාමුදුරුවන් ප්‍රමුඛ යතිවරයාණන් වහන්සේලා සමඟ මගේ ගෞරවපූර්ව හිතෛෂීත්වයත් ගොඩනැගුණේ ඒ පළමු දිනයේ පටන්මය. කලක් තිස්සේ මා ළඟ සුරැකිව තිබූ රිදී ආභරණ සහිත පෙට්ටිය ගංගාරාමයේ කරඬුව වෙත පූජා කරන්නට දිනෙක මට සිත් විය. එක් උදෑසනක මම ඒ රිදී ඇසුරුම උන්වහන්සේ වෙත පිළිගන්වද්දී උන්වහන්සේ සුපුරුදු සිනහ මුහුණින් විමසුවේ තරුණ ගෑනු ළමයෙක් මහණ වෙන්න හිතිලා පූජා කරනවා නෙවෙයි නේද යනුවෙනි. ඒ රිදී එකතුවෙහි විසල් වටිනාකමක් නොතිබුණත් එය පැහැසර සිතින් බාරගත් උන්වහන්සේ හදවතින්ම මට උන්වහන්සේගේ ආශිර්වාදය පිරිනැමූහ.

එදා මෙදාතුර ජීවිතයේ සෑම සුබදායී තත්ත්පරයකදීම උන්වහන්සේගෙන් අපරිමිත ආශිර්වාදය ලබන්නට තරම් මම වාසනාවන්ත වීමි. උන්වහන්සේ ජීවිතය හැර යන්නට මාස කිහිපයකට පෙර දවසක උන්වහන්සේ දකින්නට ගිය මොහොතේ වදන් අමුණන්නට තරම් ශක්‍යතාවක් උන්වහන්සේට නොතිබුණත් අස්සජී හාමුදුරුවන් මා මතකදැයි විමසද්දී උන්වහන්සේ හිස සලමින් තම ළෙන්ගතුකම ප්‍රකාශ කළ ’යුරු කෙතරම් සංවේදී දැයි මේ මොහොතේත් මම සිහිපත් කරමි. සුවහසක් මිනිසුන්ට ජීවිතයේ මහ කඳු තරණය කරන්නට ඉනිමං සෑදූ උන්වහන්සේ කිසිදාක තැනූ ඉනිමං බිමට සමතලා කළේ නැත. ඒ ඉනිමං හි පා තබා උන් යනෙන හැටි බලා සම්, මස්, ලේ, නහර, ඇටමිඳුළු විනිවිද යන පීතෘ ස්නේහයක් දරා හිඳින පීතෘවරයෙක් වෙසින් උන්වහන්සේ තුටු වූහ. පොඩි හාමුදුරුවන්ට තිබුණේ පුදුමාකාර දරාගැනීමේ ශක්තියකි. කිව යුත්තක් කවර නිරිඳෙකුට වුව නොවහලා ප්‍රකාශ කිරීමේ උත්තුංග පෞරුෂයක් උන්වහන්සේ සතු වූහ. කිසිදා කිසිවෙකුට බිය නොවූ නිර්භය මහා නිරිඳෙකු වූ පොඩි හාමුදුරුවෝ රට දැය සමය වෙනුවෙන් නොකළ මෙහෙවර කුමක්දැයි අසන්නට මට සිත් වන්නේ උන්වහන්සේ තම සඝ දිවිය පුරා නොකළ මෙහෙයක් තිබුණේදැයි මම මගෙන්ම විමසන කල්හිය.

මහා දියවරක් සදිසි මනුෂ්‍යත්වයත් ආදරයත් ළතෙත් ගුණ ඇති වටිනාකම් සමුදායත් හදවතේ සියලු ද්වාරයන්හි රන් යතුර බවට පත් වූ මිනිසෙක් මගේ ජීවිතයේ පළමු වරටත් මේ තත්ත්පරය තෙක් අවසන් වරටත් හමුවී නම් ඒ පොඩි හාමුදුරුවන්ම පමණි. උන්වහන්සේගේ ළය මඬල පුරා සුවඳවත් ලෙස සුපිපුණු ආදරයේත් මනුෂ්‍යත්වයේත් කුසුම් යාය කිසිදා පරවූයේ නැත. අවසන් හුස්ම ගිලිහුණු මොහොතේත් උන්වහන්සේ ඒ සුවඳ භව ශේෂයක් සහ සංසාර උරුමයක් ලෙස නව ජීවනය උදෙසා රැගෙන යන්නට ඇතැයි මට සිතේ. මට එලෙස සිත් වන්නේ ඒ සුවඳ උන්වහන්සේ රැගෙන ආවේ ද ඈත ඈත සංසාරයේ සිටම යැයි මට හිතෙන නිසාමය.

තම ශිෂ්‍ය හිමිවරුන් වූ ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමි, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි ප්‍රමුඛ යතිවරයාණන් වහන්සේලාට උන්වහන්සේලාගේ දිවියේ දෙවැනි ‘තාත්තා’ වූයේ අපේ රත්තරන් පොඩි හාමුදුරුවන්මය. දොළොස් හැවිරිදි වියේ දී යතිවර දිවියට සපැමිණි කිරින්දේ අස්සජී හිමියන් වරක් පැවසූ දෙයක් මගේ හදවතේ සටහන්ව පවතී. “පොඩි හාමුදුරුවන් ගෙදරට කියා තිබුණේ අටපිරිකරක්වත් ගෙදරින් ගේන්න එපා.. දරුවව විතරක් පන්සලට එක්ක එන්න කියලා. අපෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ පොඩි හාමුදුරුවන් අපට තාත්තා කෙනෙක් වුණා. මටත් රතනසාර හාමුදුරුවන්ටත් තරුණ වියේදීම ආචාර්ය උපාධිය ලබාගැනීම තෙක් උගන්වන්න උන්වහන්සේ මහන්සි ගත්තා. අපි පියවරෙන් පියවර ශක්තිමත් වෙන හැටි බලාගෙන ඉඳලා දරුවන් දිහා බලා සතුටුවෙන තාත්තා කෙනෙක් වගේ උන්වහන්සේ සතුටු වුණා. පොඩි හාමුදුරුවන්ට තිබුණේ කිසිවක් කිසිවකුගෙන් ඉල්ලන හිතක් නෙවෙයි. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් නන්නාඳුනන කෙනකුට වුවත් ජාති ආගම් කුල පන්ති ආදී කිසිදු කොන්දේසියක් විරහිතව පිරිනමන හිතක්... මිනිස්සුන්ට විතරක් නෙවෙයි සතුන් ගැනත් ඒ තිබුණු ආදරය, කරුණාව හරි පුදුමාකාරයි. උන්වහන්සේ සතුට කියන දෙය වින්ඳේම අත්හැරීමෙන් සහ පිරිනැමීමෙන්...”

උන්වහන්සේට සියල්ල හමුවූයේත් අත්හැරීම සහ පිරිනැමීම තුළ වග අස්සජී හිමියන්ගේ සංවේදී මතක අස මට යළි යළිඳු සිතේ. දුර බැහැර ප්‍රදේශවලට වඩිද්දී දානය සඳහා වඩින්න යැයි ගංගාරාමයේ දායක බැතිමතුන් උන්වහන්සේට ආරාධනා කළත් දුර බැහැර යද්දී කිසිදා උන්වහන්සේ එලෙස ‘සුපිරි’ දාන සොයා නොගියහ. සාමාන්‍ය ව්‍යාපාරිකයකුට ශක්තියක් වනු පිණිස තැනක් බලා බත් පාර්සල් මිලදී ගන්නට සලස්වන උන්වහන්සේ එක් බත් පාර්සලයක් වැඩිපුර මිලට ගත්හ. ඒ වැඩිපුර බත් පාර්සලය මිලට ගත්තේ උන්වහන්සේ නිදහසේ ගසක් මුල හෝ එසේ තැනක වැඩවෙසෙමින් වළඳද්දී සාගින්නෙන් පෙළෙන කවර හෝ සතෙක් පැමිණියහොත් ඒ සතාගේ බඩගින්න නිවන්නටය. හිතේ හැටියට ඒ සත්ත්වයාට කන්නට දෙන්නටය. එවන් මානවවාදී බෝධිසත්ත්ව ගුණෝපිත පොඩි හාමුදුරුවන් ගිරව් ආදී කුරුලු රෑන්වලට ගංගාරාමයේ ගස්වල කෑම බඳුන් එල්ලා සෑම දිනකම කන්නට දුන් හැටි මේ මොහොතේ මගේ මතකයට නැගේ.

දිනක් රෝගියකු වෙනුවෙන් පිරිත් පැන් බෝතලයක් සහ පිරිත් නූලක් රැගෙන එන්නට මා ගංගාරාමයට ගිය මොහොතක උන්වහන්සේ නැවුම් දෙළුම් මල්ලක් මා අත තැබුවේ ළමයෝ මේක ඒ ලෙඩාට දෙන්න. දෙළුම් කියන්නේ දිව්‍ය ඖෂධයක්.. උන්වහන්සේ එදා රෝගියෙක් වෙනුවෙන් පිරිනැමුවේ උන්වහන්සේ වෙත බැතිමතකු පූජා කළ දෙළුම් මල්ලකි. උන්වහන්සේ එහෙමය. මානවවාදී කැඩපතක් බඳු වූ ඒ විසල් හදවතේ රැඳුණු ගුණ සමුදාය විවිධ දිශානතින් ඔස්සේ විහිද ගිය හැටි මහා විස්මයකි. සිවුරක් දෙවුර දරාගත් ඒ මහා රජු කලෙක වල් වැදුණු ස්වභාවයක් ඉසිලූ හුණුපිටිය ගම්බිමෙන් දුසිරිත් පලවා හැර ඒ පෙදෙස මනුෂ්‍ය වාසයට යෝග්‍ය චණ්ඩින්ගේ මුල් සිඳලූ කෙම්බිමක් බවට පරිවර්තනය කළේය. යකෙකුටවත් බය නැති කිසිවෙක් ළඟ දණ නොනැමූ ඒ මහා යතිවර රජුන් මෙල්ල කළ යුතු ඕනෑම කළු යකෙක් මෙල්ල කළේය. සැබැවින්ම උන්වහන්සේ යනු අප්‍රමාණ නිර්භය සඝ රණශූරයෙක් යැයි වරෙක මට සිතේ.

1943 වසරේ දෙසැම්බර් මසේ 14 වැනිදා මෙලොවට සපැමිණි ඒ කුලවත් පින්වත් කුල කුමරු 2024 අගෝස්තු 02 වැනිදා භව හමුව නිමවන තුරුම කළ විසල් සද් කාර්යයන්හි මහිමය සිඳූ දිය පරදන තරම් අප්‍රමාණ දියවරකි. ඒ දියවරෙහි සිහිලෙන් රටක් ජාතියක් සැනසුණහ. මිනිසාට සතා සීපාවාට පමණක් නොව ගහට කොළට පරිසරයට අසීමිතව ප්‍රේම කළ පොඩි හාමුදුරුවන් ගස් බැංකුව සංකල්පය ඔස්සේ මේ දෙරණේ මේ ධරණී තලයේ මේ මහ පොළොව සනසනු රිසින් ලක්ෂ ගණනක් ගස් සිටුවාලූහ.

වරක් ගංගාරාමය වෙත පූජා කරන ලද අක්කර දහස් ගණනක් වූ ඌරුමුත්ත වතු යායට මා ගිය මොහොතේ මම සැබැවින්ම විස්මයට පත් වුණෙමි. නිලට දිදුලන ඒ වතුයායේ ඕනෑම පලදාවක් ඕනෑම අයෙකුට රැගෙන යාමට අවසර ප්‍රදානය කර තිබුණි. එමෙන්ම ඒ ගම්මානයේ මිනිසුන් බොහෝ දෙනා ඒ වතු යායේ වැටුප් ලබන වෘත්තිකයන් ලෙස තම දිවිය සරිකර ගන්නා ’යුරු මම එදා දුටුවෙමි. ඒ මිනිසුන් අපේ පොඩි හාමුදුරුවන්ට සැලකුවේ ජීවමනා බෝධිසත්ත්වවරයකුට තරම් ස්නේහයකිනි.
ජිනරතන කාර්මික විද්‍යාලයේ සමාරම්භය සනිටුහන් කළ උන්වහන්සේ ඒ තුළින් සාක්ෂාත්කරණයට අපේක්ෂිත අරමුණ වූයේ විභාග කඩඉම් අසමත් වූ දරුවන් නොමඟ යන මං වළකා ඒ දරුවන්ගේ අනාගත ලෝකය විවිධ ශක්‍යතාවන්ගෙන් සුපෝෂණය කර ඒ ජීවන මල් සාර සුබාවට අස්වැද්දීමය.

අනේ අපේ පොඩි හාමුදුරුවනේ... ඉතින් ඔබවහන්සේ රට දැය ආගම සොබාදහම දරුවන් ආදී සමස්තයේ රුවන්මය ප්‍රවේශයන් උදෙසා ද්වාර විවර කරලනු රිසින් නොකළේ කුමක්දැයි අසන්නට දැන් ඉතින් මට අවසරයි...

පොඩි හාමුදුරුවනේ හිස්තැනක් නොතබා සියල්ල පූර්ණත්වයට පත් කළ, පරිපූර්ණ යතිවර සාධකයක් වූ, මානව සාධකයක් වූ, මුනිවර සාධකයක් වූ පොඩි හාමුදුරුවනේ...

දැන් ඉතින් අපි සමුගනිමු...

ඔබවහන්සේ ඕනෑම කඳුළක් දරාගෙන හිනැහුණු, සෑම මුවකම කඳුළ නොව සිනහව ප්‍රාර්ථනා කළ සොඳුරු සඝ සඳකි. මා දන්නා තරමටත් අස්සජී හිමියන් කියන විදිහටත් ඔබවහන්සේ ඔබවහන්සේගේ ජීවිතයේ හඬා ඇත්තේ දෙවතාවකි. ඒ ඔබවහන්සේගේ ගුරු හාමුරුවන් ඔබවහන්සේ හැරගිය දිනත්, ගංගාරාමයේ ඇත් රජිඳුන් සමුගත් දිනත්ය. ඒ මහ ඇතාටත් ආදරණීය ‘ගංගාටත්’ අප්‍රමාණ කරුණාවෙන් ආදරයෙන් ඔබවහන්සේ සැලකූ හැටි, අලි පරපුරට ඔබවහන්සේගේ ප්‍රේමය මෙතෙකැයි කී හැටි මනරම්ය...

පොඩි හාමුදුරුවනේ.... ලියන්නට ඇති දෑ පත්තර පිටුවකට නොව මහා පුස්තකයකට සෑහෙන තරම්ය. ඔබවහන්සේ මට කිසිදා කියවා හමාර කළ නොහැකි පුස්තකයකි.

පොඩි හාමුදුරුවනේ... අපමණ භක්ත්‍යාදරයෙන් අවසන් හුස්ම තෙක් ඒ පොත කියවන්නට ඉතින් මට අවසරයි...

සංසාර සෙනසුනක ඔබවහන්සේ වෙනුවෙන් කෘතවේදීත්වයේ කුසුම් පුදන්නට මට අවසරයි..

ඉතින් දැන් අපි සමුගනිමු අපේ හාමුදුරුවනේ...
අවසරයි පොඩි හාමුදුරුවනේ!

• සංජීවිකා සමරතුංග