2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයට උතුරෙන් බහින පොදු අපේක්ෂකයා

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

2024 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පසුගිය ජූලි 22 දින උතුරේ දෙමළ පක්ෂ හතක් සහ සිවිල් සංවිධාන හතක් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබිණි. යාපනය තන්දෙයි සෙල්වා රඟහලේ දී අත්සන් තැබුණු එම අවබෝධතා ගිවිසුමට ටෙලෝ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, තමිල් මක්කල් කුට්නි පක්ෂයේ නායක සී.වී. විග්නේස්වරන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික පක්ෂයේ නායක නීතිඥ එන්. ශ්‍රීකාන්තා, ඊපීආර්එල්එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන පක්ෂ නායකයන් ද, සිවිල් සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරිකයකු වන ටී. වසන්තරාජාල, නීතිඥ එස්.ඒ. ජෝතිලිංගම්, මහාචාර්ය කේ.ටී. ගනේෂලිංගම් යන අය ද අත්සන් තබා තිබිණි. ඒ අනුව එම පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළත් දෙමළ ජාතික පොදු රාමුව නමැති සන්ධානයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා මාධ්‍යවේදියකු වූ පී. අරියනේන්ද්‍රන් මහතා තෝරාගෙන තිබේ.

දෙමළ පක්ෂ එක්ව අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුමෙන් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වාසය කරන දෙමළ ජනතාවට උතුරු නැගෙනහිර පිහිටි සිය පාරම්පරික නිජබිම තුළ ස්වයංනිර්ණ අයිතිය ලබාගැනීම සඳහා හිමිකමක් ඇති බවටය. ජාත්‍යන්තර නීතිවලට අනුකූලව ද එම හිමිකමට දෙමළ ජනතාව සුදුසු බවද එහි සඳහන් වන අතර යුද අපරාධ සඳහා සාධාරණය ඉටු නොවීම, දෙමළ ගැටලුවට දේශපාලන විසඳුමක් නොලැබීම සහ මර්දනය, බියගැන්වීම, ආක්‍රමණ, බෙදා වෙන්කොට සැලකීම යන කරුණු සහ හමුදා පසුබිමක් තුළ දෙමළ ජනතාවගේ ජාතික පැවැත්ම ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇති බවද එම ලියවිල්ලේ සඳහන්ය. එහෙයින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව එක්සත් කිරීමේ අරමුණ ඇතිව දෙමළ ජනතාවගේ අභිලාශයන් පිළිබිඹු කිරීම සඳහා 2024 ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි දෙමළ පක්ෂ සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේස්වරන් මෙලෙස ප්‍රකාශ කළේය. 

“ලංකාවේ සුළුතරය ලෙස හඳුන්වන උතුරු නැගෙනහිර බහුතරය වන දෙමළ ජනතාවට ඇති එකම ආයුධය තමයි ඡන්දය. 13 වැනි සංශෝධනය අපට සුදුසු එකක් නොවෙයි. 13 තියෙන්නේ බහුතර ඒකාධිපතිවාදයට මගපෙන්වන ඒකීය රාජ්‍යයක් තුළයි. මෙච්චර කාලයක් අපි දකුණේ දේශපාලකයන්ට ඡන්දය දුන්නට අපට කිසිම දෙයක් ඔවුන් ඉටු කරල නැහැ. ලංකාවේ සුළු ජාතිය වුණාට උතුරු නැගෙනහිර පළාත්වල වැඩියෙන් ඉන්නේ අපේ ජනතාව. අපි සුළු ජාතිය නෙවෙයි අපේ පළාත්වල වැඩ කටයුතු කරගැනීමේ අයිතිය අපට තිබෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මේ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කළේය. 

“අපි එකමුතුව ජාතික ප්‍රශ්නය සහ මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට කණ්ඩායමක් නිර්මාණය කළා. ඒ අනුව දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අප තීරණය කළා. සියලු පක්ෂ එකම කණ්ඩායමක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට පියවර ගන්නවා.”

දෙමළ ජනතා මනාපය වැඩියෙන් හිමිවන්නේ උතුරේ අපේක්ෂකයකුට ද, දකුණේ අපේක්ෂකයකුටද යන්න පැහැදිලිව කිව නොහැකිය. උතුරේ අපේක්ෂකයකුට ඡන්දය ලබා දුන්නද එවැන්නකුට ජනාධිපති ධුරයට පත්වීමට ඇති අවස්ථාව ඉතා විරල බව ඔවුහු දනිති. එහෙයින් දකුණේ අපේක්ෂකයකුට ඡන්දය දී තමන්ට කිසියම් හෝ දෙයක් ලබාගත හැකිවනු ඇතැයි ඔවුහු සිතති. දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාව විනා උතුරේ දෙමළ ජනතාවගේ අවශ්‍යතාවක් නොවේ. උතුරේ දෙමළ පක්ෂ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණ ඔවුනට තවමත් හිමිවන කුඩම්මාගේ සැලකිල්ලට විරෝධය පෑමක් පමණකි.

1982 පැවැති මෙරට ප්‍රථම ජනාධිපතිවරණයට තරග වැදුණු එකම දෙමළ අපේක්ෂකයා වූ සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක නීතිඥ කුමාර් පොන්නම්බලම් යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබා ගත්තේය.  ඒ වන විට උතුරේ ප්‍රබලම දේශපාලන පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) ඡන්දය වර්ජනය කරන්නැයි උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියදී දෙමළ ජනතාව දෙමළ අපේක්ෂකයාට වැඩිම ඡන්දයක් ලබා දී තිබිණි. එමෙන්ම දෙමළ ජනතාව හෙක්ටර් කොබ්බෑකඩුව හා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනටද ඡන්දය ප්‍රකාශ කර තිබිණි. 1988 ජනාධිපතිවරණයේදී යාපනයේ දෙමළ ජනතාව වැඩිම ඡන්ද ලබා දී තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටය. 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යාපනයෙන් වැඩිම ඡන්ද ලබාගත්තාය. 1999 ජනාධිපතිවරණයේදී යාපනයේ වැඩිම ඡන්ද හිමිවූයේ එජාපයෙන් තරග කළ රනිල් වික්‍රමසිංහටය. මේ අනුව දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වුවහොත් සිදුවන්නේ දකුණේ අපේක්ෂකයන්ට හිමිවීමට නියමිත ඡන්ද ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් අහිමිවීම පමණි.

දෙමළ පක්ෂවලින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු පත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දෙමළ පක්ෂ අතර ද මත ගැටුම් පවතී. ආර්. සම්පන්දන්ගේ අභාවයෙන් පසු ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පත් එස්. ශ්‍රීධරන් සහ එම්.ඒ. සුමන්තිරන් යන දෙදෙනා අතර ඇත්තේ ද පරස්පර අදහස්ය. උතුරෙන් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය තුළ ද මේ වන විට බෙදීමක් මතුව තිබේ. 
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නව නායක ශ්‍රීධරන් දෙමළ ‌පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව කියද්දී පක්ෂ සාමාජික සුමන්තිරන් සහ ශානක්‍යයන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියා සිටියේ එවැනි තීන්දුවක් මගින් දකුණේ වෙනත් ප්‍රශ්නයක් නිර්මාණය වනු ඇති බවයි.

“දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා විවිධ අවස්ථාවන්හි විවිධ අපේක්ෂකයන්ට අපේ සහාය හිමිවුණා. එහෙත් ඔවුන් ලබා දුන් එකම පොරොන්දුවක්වත් ඉටු කළේ නැහැ. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුය යන මතයකයි අපි ඉන්නේ. මේ සම්බන්ධයෙන් දෙමළ පක්ෂ ධනාත්මකව සිතන්න ඕන කියන මතයේ මම ඉන්නවා.” යනුවෙන්  එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කරන අතර දෙමළ ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් පවසන්නේ මෙවැන්නකි.

“මින් ඉහත අවස්ථාවන්හිදිත් කුමාර් පොන්නම්බලම්, එම්.කේ. සිවාජිලිංගම් වැනි දෙමළ අපේක්ෂකයන් ඉදිරිපත් කළා. ඔවුනට දෙමළ ජනතාව ලබාදුන් ප්‍රතිචාරය අපිට හොඳට මතකයි. මෙවැනි තීන්දුවක් ගන්නා විට අපේ පැරණි ඉතිහාසයත් මතක් කරගත යුතුයි. දෙමළ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම තුළ දකුණේ වෙනත් ගැටලුවක් නිර්මාණ වේවි කියලයි මට හැඟෙන්නේ.”

කෙසේ නමුදු මේ වන විට ශ්‍රීධරන්ගේ තීරණය මඳක් වෙනස් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. එළඹෙන ජනාධිපතිවරණයේදී තමන් කුමන අපේක්ෂකයාට ඡන්දය දෙන්නේද යන්න අගෝස්තු 10 හෝ 11 ප්‍රකාශ කරන්නේ යැයි ඔහු පසුගිය 29 දින ප්‍රකාශ කර තිබේ. පොදු අපේක්ෂකයකුට සහය දෙනවාද නැතිනම් දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දෙන බවට තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අවධාරණය කරන අපේක්ෂකයකුට තම සහය ලබා දෙනවාද යන්න පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කරන්නේ යැයි ඔහු සඳහන් කරයි.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිත වන අතර ඊට අදාළව නාමයෝජනා බාරගැනීම අගෝස්තු 15 දා සිදුකෙරෙනු ඇත.  ඒ සඳහා දැනටමත් දකුණේ අපේක්ෂකයන් 24 දෙනකුම ඇප මුදල් තැන්පත් කර තිබේ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තරගයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයන්ය. ඒ හැර තවත් පක්ෂ කිහිපයකින් හා වෙනත් සන්ධානවලින්ද අපේක්ෂකයන් පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටිති. 

2019 වසරේ පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත්ව සිටියහ. ඒ හේතුවෙන් අඟල් 26 ක දිගකින් යුතු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවිය. ඡන්ද පත්‍රිකාවක්  මුද්‍රණය කිරීමට හැකි උපරිම දිග අඟල් 26 කි. මෙවර එම ප්‍රමාණය ඉක්මවන අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වුවහොත් කිසියම් ගැටලුවක් නිර්මාණය වන අතර අනවශ්‍ය මුදලක්ද වැය කිරීමට සිදුවනු ඇත.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03