2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

සෙනෙහසේ කැදැල්ල කඩා ඉහිර වූ බලංගොඩ මාරයා

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:04 345

පාස්කු ඉරිදා කොළඹ තරු පහේ හෝටලයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා අත් කකුල්වලින් ලේ ගලන අතරේ පියෙක් සිය දරුවා දෑතින් වඩාගෙන හෝටලයෙන් ඉවතට දිව ගියේය. දරුවා ඒ වන විටත් මියගොස් සිටි අතර බෝම්බ ප්‍රහාරයෙන් ඔහුගේ දරු තිදෙනාම ඔහුට අහිමි විය. ඒ තාත්තා ඩෙන්මාර්කයේ වැඩිම ඉඩම් හිමි ධනවත්ම පුද්ගලයා වූ ඇන්ඩර්ස් හෝල්ච් පොව්ල්සන්ය. ලංකාවේ සංචාරයකට පැමිණ සිටි අතරේදී ඔහු ඇතුළු පවුල මෙම ඉරණමට ගොදුරු විය. මියගිය දරුවා දෝතින් බදාගෙන රක්ත පැහැ ගැන්වුණු ඇඳුමින් යුතුව ඔහු දිවගිය අයුරු මාධ්‍ය වාර්තා කළේය. ඒ එක් තාත්තෙකි.

මියගිය දරුවා රැගෙන යාමට අවමංගල රථයට ලබාදීමට මුදල් අඟහිඟකම් හේතුවෙන් පියෙක් සිය දරුවාගේ සිරුර අසනීප දරුවකු ලෙස අඟවා බස් රථයක ගෙන ගියේය. ඒ තවත් තාත්තෙකි.

නුවරඑළියේ විනෝද චාරිකාවක් ගොස් සිටියදී සිය දරුවා අසනීප වී නුවරඑළිය රෝහලට ඇතුළත් කළ අවස්ථාව වන විටත් දරුවා මෙලොව හැර ගොස් ඇතැයි වෛද්‍යවරුන් පවසා ඇතත් ඒ බව විශ්වාස නොකළ පියකු සිය පුතුගේ සිරුර අරන් කිලෝමීටර 195 ක් දුර සිය ගම් ප්‍රදේශය වන කළුතර බේරුවල දක්වා බස් රථයක ගෙන ගිය බව කියන පුවතක් වාර්තා වූයේය. ජාති ආගම් භේද කුමක් වුවත් ඒත් තාත්තෙකි.

දාරක ස්නේහයට උපමා නොමැති බව යළි යළිත් සපථ කරමින් එබඳු පියකු පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා වූයේ බලංගොඩ ප්‍රදේශයෙනි.

පියකු තම බිරිය සහ හත් හැවිරිදි දියණිය සමඟ යතුරුපැදියේ බලංගොඩ මූලික රෝහලට පැමිණ සිටියේ දියණියගේ අසනීපයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහාය. ඉන්පසුව බෙහෙත් ලබාගැනීමෙන් පසු සිය යතුරුපැදියෙන් පල්ලෙබැද්ද ප්‍රදේශයේ නිවෙස වෙත ගමන් කරන්නට පටන්ගෙන ඇත. එම අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් යතුරුපැදිය අනතුරට ලක් කර පලා ගොස් තිබේ. ලොරි රථයේ වැදී දියණියගේ පාදයකට හානියක් වී ඇති අතර එම අවස්ථාවේදී මෙම පියා යතුරුපැදියෙන් සිය බිරිය සහ දියණිය බස්සවා දියණිය රෝහල්ගත කිරීමට බිරියට පවරා ලොරි රථය පසුපස ලුහු බැන්දේ සිය දියණිය අනතුරට ලක් කළ පලා ගිය ලොරි රියැදුරු කෙසේ හෝ අල්ලා ගැනීමේ අදිටනිනි. මෙම පියා සිය යතුරුපැදියෙන් කිලෝමීටරයක් පමණ දුරක් ලොරි රථය පසුපස හඹා ගියේය. එසේ යාමේදී ලොරි රථය වෙනත් මාර්ගයකට හැරවීමට උත්සාහ කිරීමේදී යතුරුපැදියේ ගමන්ගත් පියා රියැදුරු අසුන පැත්තෙන් ගමන් කරන ලොරි රථයේ දොරෙහි එල්ලී ඇත. ඒ වෙලාවෙදිත් වාහනය නොනැවතූ ලොරි රියැදුරු මෙම පියා දොරෙහි එල්ලි සිටියදීම මීටර් 300 ක් පමණ දුර වාහනය නොනවත්වා ධාවනය කර ඒ පස ඉදිරියෙන් තිබූ ලයිට් කණුවක ගැටීමට සලස්වා තිබේ. ලයිට් කණුවේ ගැටුණු මෙම පියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ලොරි රථය අතහැර රියැදුරු පලා ගොස් තිබේ.

මෙසේ සිය ජීවිතයට සමුදුන්නේ පල්ලෙබැද්ද අම්බැවිල පදිංචි 32 හැවිරිදි තිළිණ රංගලාල් නමැති එක්දරු පියෙකි. මේ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය බලංගොඩ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් සීසීටීවී දර්ශන පරීක්ෂා කර පරීක්ෂණ සිදු කර අනතුර සිදු වී පැය 24 ක් යාමට මත්තෙන් සැකකාර ලොරි රථය සමඟ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිට සැකකාර ලොරි රියැදුරු ලොරි රථය සඟවා ප්‍රදේශයෙන් පලා ගොස් සිට ඇත. සැකකාර රියැදුරු මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටී.

මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර ලොරි රථ රියැදුරු මෙම අනතුරට පෙර තුඹගොඩ මංසන්ධිය ආසන්න ප්‍රදේශයකදී ලොරි රථය බස් රථයක ද හප්පා ඇති බවයි. නොහික්මුණු රියැදුරකු හේතුවෙන් එම පියාට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේය. එකී සිදුවීම ඒ පියාගේ දියණියට මතු අනාගතයේ දී කෙසේ දැනේවිද?

බලංගොඩ ඛේදවාචකය මෙලෙස නිමා වූයේ මෙවැනි අවස්ථාවක මුල් තැන දිය යුතු වන්නේ හැඟීමටද එසේත් නැතිනම් බුද්ධියටද? යන පැනය සැම සිත්සතන්වල ඉතිරි කරමිනි. ඒ නිසාම මෙවැනි හදිසි අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරය සහ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගෙන් අපි විමසුවෙමු.

“මේ සිදුවීම ඇත්තටම අවාසනාවන්ත සිදුවීමක්. තම දරුවා අනතුරට ලක් වී ඇතැයි මව කෑ ගසද්දී දාරක ස්නේහය උතුරන පියකුට ඉවසිය නොහැකි බව අප කොයි කවුරුත් දන්නවා. එය හැඟීමක් ලෙස සංවේදී කාරණයක්. එහෙත් අප නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කරන්නේ මෙවැනි හදිසි අවස්ථාවක හැඟීම්වලට වහල් නොවී බුද්ධිමත්ව ක්‍රියා කරන්න කියලා. මේ සිදුවීමෙන් දරුවාට තාත්තකු නැතිවුණා. බිරියට ආදරණීය ස්වාමියකු නැතිවුණා. මෙම අවස්ථාවේ මෙම පියා තම දරුවා අනතුරට ලක් කර පලා යන වාහනයේ අංකය ලියාගෙන එය ආසන්නතම පොලිසියට දැන්වූවා නම් හෝ පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූවා නම් සැකකරු අත්අඩංගුවට ගන්න ලෙහෙසියෙන්ම අවස්ථාව උදා වෙනවා. එසේ වූවා නම් පියාගේ ජීවිතයත් ආරක්ෂා වෙනවා. ලොරි රියැදුරුගේ ක්‍රියාව දෙස බැලීමේදී වර්තමාන සමාජයේ අනෙකාගේ කාරුණික අකාරුණික බව පිළිබඳ අපට වැටහීමක් නෑ. සැමවිටම ක්ෂණික ආවේගයට අනීතික මාර්ගවලින් ක්‍රියා නොකර සෑම අවස්ථාවකම නීත්‍යනුකූල පියවර අනුගමනය කිරීම තමයි වඩාත් සුදුසු. කෙසේ වෙතත් අනතුර සිදු වී පැය 24 ක් යාමට මත්තෙන් සැකකාර ලොරි රියැදුරු රථය සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා. මෙම අනතුර සාමාන්‍ය රිය අනතුරක් සේ මෝටර් වාහන ආඥා පනත අනුව නොව අපරාධමය වරදක් සේ සලකා ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.”

ගේ ඇතුළේම මියගිය 74 හැවිරිදි සිය මවට දින 20 ක් කෑම ලබා දුන් දියණියක පිළිබඳව මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූයේ 2022 වසරේදීය. තම මව මියගිය බව නොපිළිගත් දියණිය මළ සිරුර සමඟ දින 20 ක් ජීවත් වී ඇති අතර එම කාලය ඇතුළතදී මවට කෑම ලබා දී ඇති බවද අනාවරණය විය. හදිසි ආපදාමය අවස්ථාවකදී රෝගියකු හමුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ අවම දැනුමක් බව මෙවැනි සිදුවීම්වලින් පසක් වන කරුණකි.
ඒ පිය සෙනෙහස පරදන්නට තරම් බලංගොඩ මාරයා කුරිරු වූයේය. එහෙත් එම සිදුවීම රටට කියාදෙන පාඩම නොසලකා හැරිය නොහැකි සර්වකාලීන පාඩමකි. මෙරට වෙසෙන සැමදෙනාට හදිසි ආපදා තත්ත්වයකදී එය කළමනාකරණය කර ගන්නේ කෙසේද? එයට සුදුසුම ක්‍රියාමාර්ගය නීත්‍යනුකූලව ගන්නේ කෙසේද? යන්න සම්බන්ධයෙන් මාර්ගෝපදේශ දැනුමක් ලබාදීම කාලීන වැදගත්කමක් බව පමණක් අවසන් වශයෙන් ලියා තබමු.

• සසංක චලන ගිම්හාන
සේයාරූ - බලංගොඩ අනතුරේ සීසීටීවී දර්ශන