නොමිලේ නීති ආධාර ලබාගන්නේ කොහොමද?
අයුක්තිය අසාධාරණය ඉදිරියේ මහජනයා සරණක් සොයා යන්නේ නීතිය ඉදිරියටයි. එහෙත් නීතිය ඉදිරියේ පවා අසරණ වන අවස්ථා අප ඕනෑ තරම් දැක තිබේ. ඊට හේතුව වී ඇත්තේ නීතියේ සරණ පැතීමට ප්‍රමාණවත් මිල මුදල් ඔවුන් සතුව නොවීමයි. එබැවින් නීතියේ සරණ පතන මිනිසුන්ට සැබෑ ලෙසම සරණක් සොයා ගන්නට උපකාරී වන යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ නෛතික රාමුව තුළ සකස් වී තිබේ. එහෙත් බහුතර පුරවැසියන් සතුව මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැත. මේ සතියේ ජන මෙහෙවර තුළින් අප ඔබ දැනුවත් කිරීමට සූදානම් වන්නේ, නීති ආධාර කොමිෂන් සභාව, හෙවත් නීතිය ඉදිරියේ අසරණ ජනයාට යුක්තිය ඉටුකර ගැනීමට උපකාර කරන සුවිශේෂී ආයතනය පිළිබඳවයි.
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව කියන්නේ කුමක්ද?
මහජනතාවට නොමිලේ නීති උපදෙස් සහ නීතිඥ සහාය ලබා ගැනීමට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය නීති ආධාර කොමිෂන් සභාවයි. මෙම කොමිෂන් සභාව ස්ථාපිත කොට ඇත්තේ 1978 අංක 27 දරන නීති ආධාර පනත මගිනි. දරිද්‍රතාව නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකාවේ දුගී ජන කොටස් සඳහා නීති ආධාර සැපයීම සිය අරමුණ බව මෙම ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ කාර්යභාරය පුළුල් පරාසයක පැතිර යන්නක් බවද සඳහන් කළ යුතුය. අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබාදීමට අමතරව සමස්ත සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීම, නව නීති සම්පාදනයේ දී හා නෛතික නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශන කාර්යයේ නිරත වීම යනාදී කාර්යයන් මෙම ආයතනය හරහා ඉටු වේ.
ඍජුව ප්‍රධාන කාර්යාලය යටතේ ක්‍රියාත්මක කොළඹ නීති ආධාර මධ්‍යස්ථානය ඇතුළුව නීති ආධාර කාර්යාල 80 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වී ඇත.
සේවාව ලබාගත හැක්කේ කා හටද?
නීති ආධාර කොමිෂන් සභාව අධිකරණමය නීති කෘත්‍යයන් සඳහා ප්‍රාදේශීය ග්‍රාම නිලධාරිවරයා මගින් කැඳවූ ආදායම් වාර්තා සලකා බලන නමුත් නඩත්තු නඩුවලදී ඒ පිළිබඳව සලකා බලනු නොලැබේ.
නීති ආධාර ඉල්ලුම් කරන අයගේ ආදායම සලකා බලන්නේ කෙසේද?
මේ අනුව අධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥ නියෝජනය ලබාදීමේදී සුදුසුකම් ලබන්නේ මාසික ආදායම රුපියල් 25,000ට වඩා අඩුවෙන් ලබන පුද්ගලයන් පමණි. එහිදි නීති ආධාර ඉල්ලුම් කරන තැනැත්තා පදිංචි වී සිටින ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් ඔහුගේ හෝ ඇයගේ ආදායම් තත්ත්වය පිළිබඳව සහතික කළ යුතුය. ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය ප්‍රමාණවත් වන අතර අවශ්‍ය අවස්ථාවලදී පමණක් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කොමිසම වැඩිදුරටත් තොරතුරු විමසා සිටියි.
ආදායම් සලකා නොබලන අවස්ථාව තිබේද?
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ආදායම් නොසලකා නීතිය ආධාර සපයන අවස්ථා ද පවතියි. කාන්තාවන්, දරුවන් සම්බන්ධ නඩත්තු නඩුවලදී අපරාධ වින්දිතයන් සම්බන්ධ නඩුවලදී, ගෘහස්ත ප්රචණ්ඩත්වය සම්බන්ධ කාරණාවලට අදාළ නඩුවලදී ආදායම් නොසලකා නීතිඥ සහාය ලබාදීමට නීති ආධාර කොමිෂන් සභාව කටයුතු කරයි. එසේම දරුවන් සම්බන්ධ නීතිමය කාරණයකදී මව, පියා හෝ භාරකරු විසින් දරුවාගේ යහපත පිණිස කරනු ලබන ඉල්ලීමකදී ද කොමිසම ආදායම් තත්ත්වය නොසලකා අදාළ උපකාර සිදු කිරීම සඳහා මැදිහත් වේ.
සහය ලැබෙන්නේ මොන වගේ නඩු කටයුතුවලදීද?
නඩත්තු නඩු - නඩත්තු ගෙවීම් පැහැර හරින අවස්ථාවලදී යුක්තිය ඉටුකර ගැනීම සඳහා පෙනී සිටීම සිදු වේ.
රිය අනතුරු වන්දි නඩු - රිය අනතුරට පත් පුද්ගලයාගේ පාර්ශ්වයට වන්දි ලබා ගැනීම සඳහා නීතිය ඉදිරියේ පෙනී සිටීම මෙහිදී සිදු වේ.
ඉඩම් සහ නෙරපීම් පිළිබඳ නඩු - නීති විරෝධීව දේපලවල රැඳී සිටීම සහ නීති විරෝධී ලෙස පදිංචි ස්ථානවලින් නෙරපා හැරීම පිළිබඳ නඩු කටයුතුවලදී මැදිහත් වීම සිදු කරනු ලබයි.
මුදල් සහ සිවිල් නඩු - මුදල් ගනුදෙනු හෝ බැංකු ණය ආදී කටයුතුවලදී අසාධාරණයට ලක් වූ අය වෙනුවෙන් ආදායම් සීමාවන්වලට යටත්ව නීතිඥ සහය ලබාදීම සිදු වේ.
මීට අමතරව අනෙකුත් මහේස්ත්‍රාත් අධිකරණ නඩු කටයුතු සඳහා ද විවිධ සීමා මායිම්වලට යටත්ව ශ්‍රී ලංකාව නීති ආධාර කොමිෂන් සභාවේ සහය ලබා ගැනීමේ හැකියාව පවතී. මූලික අයිතිවාසිකම් නඩු, ඇප ලබා ගැනීම සම්බන්ධ නඩු, අභියාචනා නඩු ආදිය සඳහා ද ඒ අනුව නීති ආධාර කොමිසමේ සහය ලබාගත හැකිය. එසේම අපරාධ නඩුවල අභියාචනා හැර අනෙකුත් සියලුම අභියාචනා සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු ද, රිට් ආඥා නඩුකර සහ ප්රතිශෝධන නඩු සඳහා ද නීති ආධාර කොමිසම අඩු ආදායම්ලාභීන්ට නොමිලේ නීතිඥ සේවය ලබා දීම සිදු වේ.
නොමිලේ නීති උපදෙස් ලබාදීම
ඔබට යම් නීති උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමෙන් අදාළ උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් පවතී. මෙහිදී කොමිසම ඉදිරියේ වත්කම්, ආදායම් පිළිබඳ කිසිදු හෙළිදරව් කිරීමකින් තොරව නොමිලේ උපදෙස් ලබාගැනීමේ හැකියාව පුරවැසියන් ලෙස ඔබ සතුය.
අයකිරීම් තිබෙනවාද?
ඔබ ආධාර කොමිෂන් සභාවේ සහය ලබන විට රුපියල් 200ක ලියාපදිංචි ගාස්තුව හැරුණුවිට ඉහත සඳහන් කිසිදු නඩුවක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම සඳහා නීතිඥවරයකුට සේවා දායකයකු ලෙස ගාස්තු ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ. එසේම අප සඳහන් කළ නඩත්තු නඩුවක දී රු. 200.00 ක ලියාපදිංචි ගාස්තුව ද කොමිසම අය නොකරයි. කෙසේ වෙතත් බෙදුම් නඩු සහ බූදල් නඩු සඳහා නීති ආධාර කොමිෂන් සභාව ඉතා විශේෂ අවස්ථාවල හැර පෙනී සිටිනු නොලැබේ.
සහය ලබාගන්නා ආකාරය
අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල පිහිටා ඇති නීති ආධාර කොමිෂන් සභාව ප්‍රධාන කාර්යාලය වෙත පැමිණීමෙන් නීතිඥ සහය සහ නීති උපදෙස් ලබා ගැනීම පිළිබඳ තවදුරටත් දැනුවත් වීමේ හැකියාව පවතී. එසේම පහත ලිපිනය සහ දුරකථන අංක ඔස්සේ ද වැඩිදුර තොරතුරු විමසා සිටීමේ හැකියාව පවතියි.
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
අංක 129, අලුත්කඩේ වීදිය,
කොළඹ – 12,
දුරකථන :-
+94 115 335 329/ +94 115 335 281
+94 112 433 618
ඊමේල් :- legalaid@sltnet.lk
මිල මුදල් මත යුක්තිය යටපත් වීමට නොදී යුක්තිය උදෙසා වන ඔබගේ සටනේ දී නොබියව ශ්‍රී ලංකා නීති ආධාරක කොමිෂන් සභාවේ සහාය පතන්න. මෙම කොමිසමට අමතරව නීති ආධාර සපයන විශ්වවිද්‍යාල නීති පීඨ සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන ද ඇති බව දැනුවත් වීම වැදගත්ය. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේ හැකියාව පවතී. එබැවින් මේ පිළිබඳව ඔබගේ හිතවතුන් ද දැනුවත් කරන්න.
• චමිඳු නිසල් ද සිල්වා