2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

තරගෙට බහින ජනාධිපති අපේක්ෂකයෝ

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 38
 
වී වේලීමට මාගලක් දිගහරිනවා මෙන් මෙම ජනාධිපතිවරණයේ දී මනාපය පළ කිරීමට විසල් ඡන්ද පත්‍රිකාවක් ලැබෙන ලකුණු දැකගත හැකිය. පසුගිය සිකුරාදා (09) උදෑසන වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කළ පිරිස 24 ක් බව මැතිවරණ කොමිසම වාර්තා කළේය. ඒ අනුව මෙරට මැතිවරණ ඉතිහාසය ඓතිහාසික ජනාධිපතිවරණයක් කරා එළැඹෙමින් සිටින බව පෙනී යයි. මෙම තත්ත්වය යටතේ මේ වන විටත් ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයන් පිළිබඳ වැඩිදුරටත් විමසා බැලීමට අපි තීරණය කළෙමු.
 
දැනට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන් අතරින් 11 දෙනකු පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අතර, ඡන්ද හිමියන් විසින් නාමයෝජනා කළ (ස්වාධීන) අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් වෙති. මීට අමතරව වෙනත් දේශපාලන පක්ෂයක් ලෙසින් ද එක් අපේක්ෂකයකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කොට තිබේ. මෙයින් අප දැනගත යුතු කරුණක් නම් පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියකුට ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා කොට ඇප මුදල් තැන්පත් කළ හැක්කේ වර්තමාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් පමණක් බවය. ඒ අනුව පැහැදිලිවම පෙනී යන පරිදි වර්තමාන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටිති.
 
දැනට ඇප මුදල් තැන්පත් කර ඇති ලැයිස්තුව මෙලෙස උපුටා දක්වමු.
 
1. රනිල් වික්‍රමසිංහ මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
2. සරත් කීර්තිරත්න මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
3. හිටිහාමිලාගේ දොන් ඕසල ලක්මාල් අනිල් හේරත් මහතා - අභිනව නිවහල් පෙරමුණ
 
4. ඒ.එස්.පී. ලියනගේ මහතා - ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
 
5. සජිත් ප්‍රේමදාස මහතා - සමගි ජන බලවේගය
 
6. පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක මහතා - ජාතික සංවර්ධන පෙරමුණ
 
7. විජයදාස රාජපක්ෂ මහතා - ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
 
8. කේ.කේ. පියදාස මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
9. සිරිතුංග ජයසූරිය මහතා - එක්සත් සමාජවාදී පක්ෂය
 
10. අජන්ත ද සොයිසා මහතා - රුහුණු ජනතා පෙරමුණ
 
11. කේ. ආනන්ද කුලරත්න මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
12. සරත් මනමේන්ද්‍ර මහතා - නව සිහළ උරුමය
 
13. පූජ්‍ය. බත්තරමුල්ලේ සීලරතන හිමි - ජනසෙත පෙරමුණ
 
14. අක්මීමන දයාරතන හිමි - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
15. සිරිපාල අමරසිංහ මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
16. කේ.ආර්. ක්‍රිෂාන් මහතා - අරුණළු ජනතා පෙරමුණ
 
17. ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
18. දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක මහතා - ජාතික ජන බලවේගය
 
19. පානි විජේසිරිවර්ධන මහතා - සමාජවාදී සමානතා පක්ෂය
 
20. බියන්විලගේ ඇන්ටනි වික්ටර් පෙරේරා මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
21. අහිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
22. මරක්කල මානගේ පේමසිරි මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
23. පල්ලිමුල්ල කපුගමගේ අනුර සිඩ්නි ජයරත්න මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
24. ඩී.එම්. බණ්ඩාරනායක මහතා - ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයකු
 
මෙම අපේක්ෂක ලැයිස්තුව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන ආකාරයට මෙලෙස විශාල පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උත්සාහ දරමින් සිටින්නේ පවතින අස්ථාවර දේශපාලනයේ වාසිය තමන් සතු කර ගැනීමේ අරමුණ සහිතවය. එසේම ජයග්‍රහණය නොව සිය පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා ද පිරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් ඇති බව පැහැදිලි වේ. මේ හරහා මැතිවරණයේ දී ඡන්දදායකයන් අවුලට පත්වීමේ හැකියාවක් පවතින බවද කියැවේ.
 
මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුරවැසින් සතුව පවතින අයිතියට අප ගරු කළ යුතුය. එහෙත් එය වඩාත් සාධාරණ ප්‍රවේශයකින් සිදුවිය යුතුය. මේ හරහා පීඩාවට පත්වන්නේ ඡන්දදායකයන් වන අතර කිසිදු ජන පදනමක් හෝ පිළිගැනීමක් නොමැති පුද්ගලයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම සිය මනාප ප්‍රකාශ කිරීමේදී වැඩිහිටි ක්‍රමයන්ට මෙන්ම සාක්ෂරතාවයෙන් අඩු පිරිස්වලටද බාධාවක් විය හැකි බව පැහැදිලිය. මින් පෙරදී මෙම අපේක්ෂකයන් සීමා කිරීම හා සම්බන්ධ නීති සම්පාදනය කළ යුතු බවට කොතරම් සාකච්ඡා පැවතුණ ද එම කටයුත්ත විවිධ හේතූන් මත මගහැරුණි. එම තත්ත්වයේ බරපතළ බව සමස්ත පුරවැසියන්ට මෙවර මැතිවරණයේ දී අවබෝධ වනු ඇත.
 
• චමිඳු නිසල් ද සිල්වා
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03