2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

ඡන්දවලට වනසන ධනය

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:03 72

බෝමැඩ වගුරන කිරි කළ දහසින් යනුවෙන් ආචාර්ය නන්දා මාලනී මහත්මිය ගයන ගීතයක් තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා එය රචනා කරන්නේය. බෝ මැඩට කිරි වෙනුවට කිරට හඬන බිළිඳුන්ට එය දෙන ලෙස යෝජනා කරයි. මෙම යෝජනාව මහත් අමන්දානන්දයට හේතුවන නමුත් සැදැහැවතුන් එපමණ එහි නිරත නොවෙති. මැතිවරණ කාලයේ දී ප්‍රචාරක කටයුතු සඳහා වැය කරන අධික මුදල් සම්භාරය ගැන ද මෙවැනිම සංකල්පයක් ජනගත කළ හැකිය. අපේක්ෂකයෝ සිය ඡන්දදායකයන් දැනුම්වත් කිරීම සඳහා නොයෙක් උපාය යොදති. අණ බෙරයේ සිට පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනි සිට නූතන සමාජ මාධ්‍ය භාවිතය දක්වා පුළුල් පරාසයකට විහිදෙයි. මෙම මාධ්‍ය භාවිතය ද කර්මාන්තයකි. එයින් යැපෙන පිරිස අති විශාලය. සංකීර්ණ ක්‍රියාවලියකි. මැතිවරණයක දී මතයක් ඡන්දදායකයන් වෙත විසුරුවා හැරීමට ප්‍රචාරණය අවශ්‍යමය.

කෙසේ වෙතත් අලුතින් සම්මත කරන ලද අණ පනත් අනුව මැතිවරණ වියදම් සීමා කෙරේ. පිළිගත් දේශපාලන පක්ෂයකට, මැතිවරණයක දී වියදම් කළ හැකි ධනය ප්‍රතිශත වටිනාකමක් වශයෙන් තීරණය කෙරේ. මෙම තීරණය මෙම ජනාධිපතිවරණයේ සිට සලකා බැලිය හැකිය. නීතියක් පවතින පසු එය ක්‍රියාත්මක විය යුතුය. කලින් වතාවක මැතිවරණයක දී ඡන්ද ලබාගත් ප්‍රමාණය අනුව මැතිවරණ වියදම නිර්ණය වනු ඇති අතර මෙම වියදම් පක්ෂය හෝ අපේක්ෂකයා විසින් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අලුත් නීති අනුව ප්‍රතිපාදන ලැබීම අනෙක් වැදගත් කරුණකි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කරන ලද ප්‍රකාශනයකට අනුව 2019 ජනාධිපති මැතිවරණයට අපේක්ෂකයන් වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 3,796 කි. මෙම මුදල ඔවුන්ගේ පර්යේෂණයට නිල වශයෙන් හසුකර ගන්නට සමත් වූ ප්‍රමාණය බව ඉතාම පැහැදිලිය. අනෙක දින තිහක කාලය සඳහා පමණකි. ප්‍රචාරණය දිග කාලයක් ගන්නා බව යථාර්ථයයි. දේශපාලන රැස්වීම් සංවිධානය කරන සාමාන්‍ය ආකාරය ගැන අවබෝධයක් අපට ඇත. සෑම අපේක්ෂකයකුටම අවිධිමත් හා අසංවිධිත වියදම් රටාවක් තිබේ. මෙම ධනය තමන්ගේ සාක්කුවෙන් පමණක් අතරමැදියන්ගෙන් මිටි වශයෙන් ලැබෙන මුදල් ද නොව වියදම් කරන බව කිසිසේත් රහසක් නොවේ. අපේක්ෂකයන් වෙනුවෙන් තුන්වැනි පාර්ශ්ව වැය කරන මුදල් ප්‍රමාණයක් ද ඇත. වාහන සැපයීම, වේදිකා ඉදිකිරීම, නැටුම්, ගැයුම් හා වැයුම් පමණක් නොව මේවා උද්දීපනය කරන ආහාරපානවලට ද විශාල වියදම් ඇත. සම්පූර්ණ පිරිවැය තක්සේරු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අපේක්ෂකයෝ නිකුත් නොකරති. ආධාරකරුවන් ඒවා අනාවරණය කරන්නේ ද නැත. ඡන්දයක් යනු අති විශාල මුදලක් ආර්ථිකයට එකතුවන ක්‍රියාන්විතයකි.

වාර්තාවට අනුව 2019 වසරේ ඔක්තෝබර් 13 සිට නොවැම්බර් 13 දක්වා කාලය තුළ කරන  ලද වියදම සලකා බලා ඇති අතර මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, ප්‍රසිද්ධ රැලි, ප්‍රවාහන හා ප්‍රචාරක සැලසුම් කළමනාකරණය කරන සියලු වියදම් ඇතුළත් කර ඇති බව දක්වයි. එය ඉතාම වැදගත් රටට ප්‍රයෝජනයට ගත හැකි පර් යේෂණයකි. මෙහි සඳහන් වන පරිදි මෙම රුපියල් මිලියන 3,796 ක ප්‍රමාණයෙන් සියයට අනූ හතරක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වැය කර තිබේ. එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එහි වගකීම බැර වන බව දැක්වේ. ඉතිරි සියයට හයක ප්‍රතිශතය අනෙක් අපේක්ෂකයන් තිස් තුන් දෙනකුගේ වියදම බව සඳහන් කළ යුතුය.

ජනාධිපතිවරණයට විශාල අපේක්ෂක පිරිසක් ඉදිරිපත් වන නමුත් අවසානයේ දී ජයග්‍රහණය අපේක්ෂා කරන ප්‍රධාන තරගකරුවන් දෙදෙනා අතරට සීමා වේ. පසුගිය ජනාධිපතිවරණයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන භූමිකාවට ඇතුළත්ව සිටියහ. ජනතාව පෙළගැසුණු ආකාරය අනුව අන්තිම ජවය ලබාගැනීම සඳහා ප්‍රචාරණය සැලසුම් කරන්නට ඇති බවට සැකයක් නැත.

මැතිවරණයකට වියදම් කරන ධනය අතරින් සැලකිය යුතු ප්‍රතිශතයක් නීතිවිරෝධීව උපයාගත් මුදල් බව ප්‍රකාශ වේ. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථාන වාර්තාවේ ද එය සඳහන්ය. හෙළි කළ නොහැකි මාර්ගවලින් උපයා ගන්නා අතර රජයට බදු ගෙවීම වළක්වනු සඳහා, ආර්ථිකයට ඇතුළු නොකර ළඟ තබාගන්නා ධනය මෙලෙස වැය කෙරේ. අනෙක් අතට සැලකීමේ දී හෙළි නොකරන ධනය මැතිවරණ වියදම් වශයෙන් හෝ ආර්ථිකයකට එකතු වීම නරක නැත. මුදල් පිළිගත් ප්‍රචාරක ආයතන හරහා බැංකුගත වන අතර එහිදී ආයතන මෙම මුදල් ගැන ප්‍රශ්න කරන්නේ නැත. අනෙක, ආයතනවල ගිණුම් වාර්තා පරීක්ෂා කරන විගණන අංශ එහි පසුබිම විමසා බලන්නට නැඹුරු නොවීම මෙරට පමණක් නොව ලෝකයේ සෑම රටකම සිදුවන චර්යාවකි.
මැතිවරණ ප්‍රචාරක වියදම් පාලනය කර එම මුදල් රටට වැදගත් වන ප්‍රජා සේවා වෙනුවෙන් වියදම් කරන ලෙස යෝජනා කළහොත් කිසිම අපේක්ෂකයකු එයට ඉදිරිපත් වන්නේ නැත. අවංක, සාධාරණ, යුක්තිගරුක හා ජනතාව වෙනුවෙන් පෙනී සිටින වශයෙන් නොයෙක් ප්‍රචාරක පාඨ යොදන නමුත් වැය කරන ධනය මහජන යහපතට නොවේ. තමන්ට ඡන්දයක් ලබාගැනීමේ එකම අරමුණ එහි ඇත. දැනටමත් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ රට පුරා පෝස්ටර් අලවමින් සිටිති. ගෙයින් ගෙට පත්‍රිකා බෙදා හරින බව පෙනේ. මෙම පෝස්ටර් එක දිනයකට වඩා ප්‍රදර්ශනය නොකෙරේ. මධ්‍යස්ථ ඡන්දදායකයන් ප්‍රචාරක පත්‍රිකා කියවන්නේ නැත. පත්‍රිකාවල කියැවෙන ලස්සන වචන ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් පසු අමතක කිරීම සඳහා පමණක් බව ඔවුහු හොඳින් දනිති. ප්‍රධාන අපේක්ෂකයන්ගේ හැසිරීම, ක්‍රියාකාරකම්  ගැන අවබෝධයක් ඇති වෙනස් නොවන අනුගාමිකයන්ට මෙම ප්‍රචාරණයෙන් පලක් නැත. නමුත් පක්ෂයේ ගෞරවය, අභිමානය හා සක්‍රීයව ඉදිරියෙන් සිටින බව හුවා දැක්වීම සඳහා දැවැන්ත ප්‍රචාරණයක් අවශ්‍ය වේ. පුවත්පත්, ගුවන්විදුලිය ඇතුළු මාධ්‍යවලට අමතරව වෙබ් අඩවි, ෆේස්බුක්, ට්විටර්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රෑම් ආදී වශයෙන් සමාජ මාධ්‍ය විශාල ප්‍රමාණයක විසුරුවා හැරීම සඳහා ද ධනය හා යෙදවෙන මානව සම්පත සඳහා කරන ආයෝජනය සුළු පටු නොවේ.

මැතිවරණ කොමිසම වාර්තා දක්වන පරිදි 2019 වසරේ ජනාධිපතිවරණ වියදම රු. මිලියන 4,152 කි. අපේක්ෂකයන් 42 ක් නාමයෝජනා භාර දී තිබුණු නමුත් එම ජනාධිපතිවරණයේ දී අපේක්ෂකත්වය 35 දෙනකුට පමණක් හිමි විය. 2024 ජනාධිපතිවරණයට කඳවුරු බඳින මෙම මොහොත වන විට අපේක්ෂකයන් දහඅට දෙනකු පමණ ඇප මුදල් තැන්පත් කර තිබේ. ඇප මුදල සුළු හා අපේක්ෂකයකු වශයෙන් ලබාගත හැකි වෙනත් රාමු සලකා බලා සැලකිය යුතු පිරිසක් ඉදිරිපත් වෙති. ඇතැම් අපේක්ෂකයන් තමන්ගේ ඡන්දය පවා වෙනත් අපේක්ෂකයකුට දෙන බව ප්‍රසිද්ධියේ දක්වන අතර එය කොපමණ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ උල්ලංඝනය කරන ක්‍රියාවක් ද යන්න නිරීක්ෂණය කළ යුතුය. මෙම ඡන්දයේ දී පවා විශාල අපේක්ෂක පිරිසක් ඉදිරිපත් වුවහොත් ඡන්ද පත්‍රිකාව දෙගුණයක් විය හැකි බව දැනටමත් මැතිවණ කොමිසම අනතුරු අඟවා ඇත. එයට අනුව ආණ්ඩුවේ මුද්‍රණාලයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ වියදම පවා දෙගුණ වීම වැළැක්විය නොහැක.

2019 වසරේ ලියාපදිංචි වී සිටි ඡන්ද ප්‍රමාණය 15,992,096 කි. 2024 වසරේ එය 17,140,354 ක් දක්වා ඉහළ ගොස් ඇත. තරුණ ඡන්ද 1,148,258 ක් අලුතින් එකතු වී තිබේ. ඉකුත්  ජනාධිපතිවරණයේ දී සියයට අසූ තුනක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇත. මෙම පිරිස පමණක් තෝරා ප්‍රචාරණය කළ නොහැකි අතර රටටත්, දැනට ඇති තාක්ෂණ භාවිතය අනුව පිටරටටත් ප්‍රචාරණය සිදු වේ. පසුගිය ජනාධිපතිවරණයට වඩා අපේක්ෂකයන් ඉහළ ගොස් ඇති අවස්ථාවක හා මාධ්‍ය ආයතන හා ප්‍රචාරක උපක්‍රම ප්‍රමාණය උද්දීපනය වී ඇති අවකාශයක් තුළ ජනාධිපතිවරණ වියදම් අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකිය.

අවුරුදු දෙකකට කලින් දරුණු ආර්ථික අර්බුදයක පසු වූ රටක් ලෙස දැන් වාතාවරණය පෙනෙන්නේ නැත. ඡන්ද උණුසුම සමඟ යටගියාව අමතක වී තිබේ. දේශීය හා විදේශීය වශයෙන් එල්ල වූ පීඩනය මත ජනතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන් පවා පීඩාවක පසු වූ අතර දිග පෝලිම්, විශාල හිරිහැර පැවතිණ. ආර්ථිකය අර්බුදයක පවතින අතර බංකොලොත්භාවය පිළිගත්තේය. නමුත් විශාල අරගලකාරී තත්ත්වයකට පසු ස්ථාවර වූ රටට ඒ සඳහා මාර්ගය විවෘත කළේ ඉන්දියාවෙන් ලැබුණු ආධාර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය බව අමතක කළ යුතු නැත. තවමත් ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ කොන්දේසි සහිත පාලන රාමුවක සිර වී සිටී. අනෙක් අතට විදේශ ණය ගෙවීම නතර කර තිබේ. ණය ආපසු ගෙවන්නට පහසු සැලසුම් සාකච්ඡා කරමින් සිටී. දේශීය ණයවලින් පවා කොටසක් ගෙවාගත නොහැකි බව ප්‍රසිද්ධියේ දක්වා ඇත.

මෙම අතීතය අදට මතක නැති දේශපාලන පක්ෂ හා ඒවායේ අනුගාමිකයෝ රට ඉදිරියට ගෙන යන්නට බලය ඉල්ලා සිටිති. බලය ලබාගැනීම සඳහා රට තුළ නැති අමුතුම ධනයක් වියදම් කරන්නට අපේක්ෂකයන් සූදානම්ය. මැතිවරණ ක්‍රියාවලියක සාමාන්‍ය මෙය බව හුවා දක්වා පසෙකින් තැබිය නොහැකි සංවේදී කාරණා මෙම අභ්‍යන්තරය තුළ තිබේ. අපහසු කාලයක දී තරමක් හෝ අරපරිස්සමකින් වියදම් කරන අතර අනවශ්‍ය තරමට හුවා දැක්වෙන දේ වලින් වැළකීම ලාංකේය සංස්කෘතිය බව මතක තබා ගත යුතුය. අලුත් නීති පැනවීම හෝ එම නීති අනුව කටයුතු කරනවා ද යන්න සොයා බැලීමට කණ්ඩායම් පත් කිරීම වෙනුවට හිතට එකඟව ක්‍රියා කරන අපේක්ෂකයන් රටට අවශ්‍යය. තමන්ගේ පණිවුඩය සරලව හා සංක්ෂිප්තව දක්වා ඡන්දදායකයන්ගේ කැමැත්ත ලබාගන්නට සමත් ක්‍රමවේදයක් ගැන අපේක්ෂකයන් අවධානය යොමු කළ යුතුය.

• සාරා කන්දෙගොඩ