හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක සහ හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඇතුළු මූලික කටයුතු මේ වන විට ලහිලහියේ සිදුවෙමින් පවතී.
1982 වසරේ පැවැත්වූ පළමු ජනාධිපතිවරණයේ සිට අවසන් වරට 2019 වසරේදී පැවති ජනාධිපතිවරණය දක්වා සුවිශේෂී අමතක නොවන සිදුවීම් රැසක් සිදුව ඇති අතර, ඇතැම් සිද්ධි අප්‍රකටය. මේ එවැනි සිදුවීම් පිළිබඳව බීබීසී සිංහල සේවය කළ ආවර්ජනයකි.
උපන් දිනය දා බාරගත් නාම යෝජනාව
මෙරට ඉතිහාසයේ පළමු වරට 1982 වසරේ පැවති ජනාධිපතිවරණය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මැතිවරණයක් විය.
ඊට මූලික හේතුව වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරියක වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමය. ඒ අනුව, 1978 වසරේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන වසර දෙකකට පෙර ජනාධිපතිවරණය කැඳවීමට තීරණය කළේය.
1982 වසරේ පැවති ජනාධිපතිවරණ නාමයෝජනා බාරගැනීම එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්. ජයවර්ධනගේ උපන් දිනය දා එනම්, සැප්තැම්බර් මස 17 වැනිදා සිදුකිරීම විශේෂත්වයක් විය. එම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව එවකට ජනාධිපතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන ඡන්ද 34,50,811ක් ලබා ගනිමින් දෙවැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තේරීපත් විය.
කිසිදු ඡන්දයක් නැති ඡන්ද පෙට්ටි 207ක්
1988 වසරේ දී පැවති භීෂණ සමය අතරතුර මෙරට දෙවැනි ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කෙරිණි.
එම කාලසීමාව වන විට ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය තහනම් කිරීමට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කර තිබිණි. ඒ, රට තුළ ජාතිවාදී කෝලාහල ඇතිකළ බවට චෝදනා කරමිනි.
එම මැතිවරණයේ දී පළමු වරට මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති භීෂණ තත්ත්වය නිසා ඡන්ද මධ්‍යස්ථාන 49ක ඡන්ද විමසීම් පැවැත්වීමට නොහැකි විය. එමෙන්ම, මෙම මැතිවරණයේ දී ඡන්ද පොළවල් 207ක ඡන්ද පෙට්ටි එකම ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු එවා තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
මෙතෙක් පැවති ජනාධිපතිවරණවලදී අවම අපේක්ෂකයන් සංඛ්‍යාවක් තරග වැදුණු එම ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දුන්නේ, අපේක්ෂකයන් තිදෙනකු පමණි.
එක්සත් ජාතික පක්ෂයෙන් රණසිංහ ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් ඔසී අබේගුණසේකර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළහ. 1988 දෙසැම්බර් මස 19 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රණසිංහ ප්‍රේමදාස ඡන්ද 2,569,199ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ලෙස තේරීපත් විය. ඡන්ද විමසීම් මධ්‍යස්ථාන 50කට අධික සංඛ්‍යාවක බෝම්බ පිපිරීම් සිදුවූ අතර මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක් ඝාතනයට ලක්වූහ.
වැන්දඹුවන් දෙදෙනෙක් ජනපති සටනට
1988 ජනාධිපතිවරණයෙන් පසුව වසර 3ක් ගතවීමට පෙර එක්සත් ජාතික පක්ෂය තුළින්ම ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් විය. ඒ අනුව, 1992 වසරේ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු සභා වාරය එම වසරේ අගෝස්තු මස 30 වැනිදා දක්වා කල් තබනු ලැබීය.
ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය ප්‍රතික්ෂේප කළ බවට කතානායක එම්.එච්. මොහොමඩ් විසින් 1992 වසරේ ඔක්තෝබර් මස 07 වැනිදා ජනාධිපතිවරයා වෙත දන්වා යවනු ලැබීය. ඒ අනුව, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ගෙන ඒමට කටයුතු කළ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී.ඇම්. මුනිදාස, ලක්ෂ්මන් සෙනවිරත්න ඇතුළුව එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ මන්ත්‍රීවරුන් පිරිස ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් අලුත් පක්ෂයක් පිහිටුවා ගත්හ. 1993 වසරේ පැවති මැයි දිනය සැමරීමේ පෙළපාළියක දී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජීවිතක්ෂයට පත් විය.
ඒ අනුව, අගමැතිවරයා ලෙස කටයුතු කළ ඩී.බී. විජේතුංග වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කරනු ලැබීය. 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත්වූ අතර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ඔක්තෝබර් මස 07 වැනිදා නාමයෝජනා බාරගනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ගාමිණී දිසානායක ඉදිරිපත් කිරීමට තීරණය කළ අතර පක්ෂයෙන් නෙරපා හැර සිටි ඔහුට නැවත පක්ෂ සාමාජිකත්වය ලබා දීමට කටයුතු කෙරිණි.
1994 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා කොළඹ තොටළඟ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ රැලියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක ඇතුළු 35 දෙනකු ජිවිතක්ෂයට පත්වූහ.
ගාමිණී දිසානායකගේ අභාවය නිසා ජනාධිපතිවරණය සඳහා ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමති දිසානායක ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය. 1994 නොවැම්බර් මස 09 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට පොදුජන එක්සත් පෙරමුණ යටතේ තරග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමත් විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපති ධුරය සඳහා පළමුවරට කාන්තාවක තේරී පත්වූයේ එහිදීය.
අනූ නවයෙන් බේරුණු ජනාධිපති
1994 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති ධුරයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දෙවැනි වරටත් ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට තීරණය කළාය. 1999 වසරේ ඔක්තෝබර් 20 වැනිදා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අතර, නොවැම්බර් මස 15 වැනිදා නාමයෝජනා කැඳවනු ලැබීය.
1999 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීම් අවසානයේදී කොළඹ මහ නගර සභා භුමියේ පැවති පොදුජන එක්සත් පෙරමුණේ රැලියට එල්ල වූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තුවාල ලැබීය.
එහිදී, හිසට සහ දකුණු ඇසට තුවාල ලැබූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දෙසැම්බර් මස 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළාය.
“ආතතිය” ඇතිවූ මැතිවරණ කොමසාරිස්
2010 වසරේ පැවති මෙරට සයවැනි ජනාධිපතිවරණය සඳහා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් ඉදිරිපත් විය. එල්.ටී.ටී.ඊය පරාජය කළ යුද්ධයට නායකත්වය දුන් හමුදාපති සරත් ෆොන්සේකා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට කටයුතු කළේය.
එහිදී, මෙරට ජනාධිපතිවරණයක් සඳහා පළමුවරට භික්ෂූන් වහන්සේ නමක් තරග කළේය. ඒ බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ය. 2010 ජනාධිපතිවරණයේ දී ප්‍රතිඵල නිකුත් කිරීම දැඩි කතාබහට ලක්වූ අතර ඇතැම් පිරිස් එය ‘කම්පියුටර් ජිල්මාට්’ ප්‍රතිඵලයක් ලෙස ද හැඳින්වූහ.
2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් ජයග්‍රහණය කළේය.
ආප්ප සහ කෝපි ගැන කතාබහට ලක්වූ ජනාධිපතිවරණය
2015 වසරේදී පැවති ජනාධිපතිවරණය මෑත ඉතිහාසයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ජනාධිපතිවරණයක් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ තෙවැනි වරටත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වූ අතර ඔහුගේ පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන, පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමට ඉදිරිපත් විය.
මහින්ද රාජපක්ෂ කඳවුරෙන් මිදී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ කණ්ඩායමට එක්වූ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ, තමන් මහින්ද රාජපක්ෂ හැර යාමට පෙර ඔහු සමඟ එකට ආප්ප කා කෝපි පානය කළ බවය.
පසුව, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ආප්පයක මිල රු. 10ක් විය යුතු බවට මිල නියම කළේය.
එවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වය මෛත්‍රීපාල සිරිසේනගේ හැඩහුරුව ඇති පුද්ගලයකු සිය ඡන්ද ව්‍යාපාරයට යොදා ගත්තේය.
මෙම ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජය ගත්තේය.
ඉන් වසර කිහිපයක් ගත වෙද්දී රනිල් වික්‍රමසිංහ සමග විරසකයක් ඇති කරගත් ඔහු යළිත් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කර මෙරට දින 52ක් පුරා පැවති නොසන්සුන් වාතාවරණය මැද ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කිරීමට දායක විය.
• BBC