2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

දළදා කරඬුව වැඩම කරවන ඇත් පන්තියේ වගතුග

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 90

මේ ඇසළ පෙරහර සමයයි. ඇසළ පෙරහරේ ප්‍රධාන ආකර්ශනය වන්නේ එයට එක්වන අලිඇතුන් පන්තියයි. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවන්නේ සද්දන්ත කුලයේ ඇතකුට පමණි. උපශාන්ත ලීලාවෙන් හා විනීතව ඇතා විසින් දළදා කරඬුව වැඩම කරන විට නරඹන්නෝ අසුනෙන් නැඟිට ගෞරවාචාර දක්වන අන්දම පෙරහර නරඹන්නෝ දකිති. පෙරහරේ හොරණෑ සහ හේවිසි නාදයෙන් ඇසෙන්නේ ගජගා වන්නමේ රිද්මයයි.

අලි ඇතුන් සම්බන්ධ දිගුකාලීන සංස්කෘතියක් දළදා මාලිගය හා බැඳී පවතී. මේ අලිඇතුන් සාමාන්‍ය සංචාරකයන්ට නැරඹීමට අවස්ථාව සලසා දීම පසුගිය වසරේ සිදුවිය. දළදා මාලිගාවට නුදුරුව පිහිටා තිබෙන ‘ඇත් ගාල’ පරිශ්‍රය නරඹා අලි ඇතුන්ගේ දෛනික චර්යාවන් අත්විඳිමින් සතුටුවීමට දැන් කාටත් පුළුවන. ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් සහාය වීමට, දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ට හා විදේශීය සංචාරක පිරිස්වලට අවස්ථාව උදා වී තිබේ. ඇත් පන්තිය යනු එක අලියකුට, ඇතකුට වඩා  හස්ති සමූහයක් සිටින තැනකි. ඇත් ගාල කියන්නේ ද එම අදහසිනි. ලංකාවේ දැනට ඇති විශාලතම ඇත් පන්තියට හිමිකම් කියන්නේ දළදා මාළිගාවයි. මේ ඇත් පන්තියේ සාමාජිකයෝ එකොළොස් දෙනෙක් සිටිති. 1987 වන තුරුම ඇත් පන්තියේ නායකත්වය දරා සිටියේ මාලිගාවේ රාජා හස්තියා වන අතර ඉන් අනතුරුව වර්තමානය වන විට මෙහි නායකත්වය හිමිව ඇත්තේ ඉන්දි රාජා හස්තියාටය.

මේ ස්ථානය පොදු ජනයාට විවෘත කරන ලෙස කලක සිටම දැඩි ඉල්ලීමක් පැවති අතර ශ්‍රී  දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ උපදෙස් පරිදි දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශය හා ඇත්ගාල කාර්ය මණ්ඩලය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටිති. ඇත්ගාල පරිශ්‍රයට පැමිණෙන ජනතාවට මාලිගාවේ ඇත් පන්තියේ ඡායාරූප ගැනීමටත් අලින්ට ලබාදෙන ආහාරවේල නරඹන්නන්ට තම අතින්ම අලින්ට ලබා දීමටත් අවස්ථාව හිමිකර දී තිබේ.

ඇත්ගාල සහ අලින්ගේ තටාක ශ්‍රම දායකත්වයෙන් පවිත්‍ර කර දීමේ හැකියාව ඇත්නම් ඒ සඳහා ද අවස්ථාව ලබාදීමට ‘ඇත්ගාල’ කාර්ය මණ්ඩලය සූදානමින් සිටිති. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර නිලධාරි ප්‍රදීප් මියනපලාව සඳහන් කරන්නේ ඇත් පන්තිය නැරඹීමට පැමිණෙන අය වෙත යම් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති අතර එය හුදෙක්ම නරඹන්නන්ගේ ආරක්ෂාව සඳහා වැදගත් වන බවය.

‘මාලිගාවේ ඇත් පන්තිය මෙන්ම හස්ති පාලකවරුන්ගේ කටයුතු වෙනුවෙන් මාසිකව ලක්ෂ හතළිස් පහක පමණ මුදලක් වැය වන බව පැවසේ. අලින්ට ආහාර වශයෙන් ලබාදෙන කිතුල්, කොස් අතු වැනි ශාක පිටතින් මිලදී ගැනීමට සිදු වී තිබේ. කලකට පෙර මාලිගාවේ ඇතුන්ට ලබා දී තිබෙන්නේ අසල තිබෙන උඩවත්ත කැලේ තිබුණු කිතුල් ගස් වුවද දැන් රක්ෂිත වනාන්තරවල ගස් කැපීම තහනම්ය. අතීතයේ මාලිගාවේ ඇත් පන්තිය රැකබලා ගැනීමේ වගකීම පැවරී තිබුණේ කෑගල්ලේ තවලංගොඩ ගම්මානයේ වැසියන් පිරිසකට බව පැවසේ.

දළදා මාලිගාවේ හස්තීන් පිළිබඳව මුලින්ම තොරතුරු හමුවන්නේ 1885 දීය. එවකට පැවති ඉංග්‍රීසි පාලන සමයේ දී දෙහිගම ටිකිරි කුමාරිහාමි මාලිගයට හස්තියකු පූජා කළ බවට වූ ඔප්පුව දළදා මාලිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබී හමුවිය. ඒ කාලයේ මාලිගාවටම වෙන්වූ ඇත් පන්තියක් තිබුණාද යන්නට ලිඛිතව හමු නොවේ. උඩරට රජ සමයේ ද දළදා පෙරහරට අලිඇතුන් යොදා ගත්ත ද දළදා මාලිගයට හස්තින් සිටිය බවට සාධක හමු නොවේ. රජුගේ ඇත් පන්තියේ ඇතුන් පෙරහරට යොදාගන්නට ඇති බව සිතිය හැකිය.

ගිරාගම වලව්වේ ටිකිරි බංඩා මාම්පිටිය දිසාව විසින් 1937 දී දළදා මාළිගාවේ ඇත් පන්තියට රාජා සහ ස්කන්ධා යන හස්තීන් දෙදෙනා පූජා කළේය. අඩසිය වසක් දළදා පෙරහරේ සදාතුක කරඩුව වැඩම කළේ මේ ඇතුන් දෙදෙනා විසිනි. ඒ අතරින් ද රාජා හස්තියා වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කළ හස්තියා ලෙස ඉතිහාසයට එක්ව සිටියි. 1988 ජූලි 16 වැනි දින මිය ගිය හෙයින් ආදාහනයෙන් පසුව මතු පරපුරට දැකගත හැකි ලෙස සකසා ප්‍රදර්ශනයට තබා ඇත. දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි රජ මාලිගාව දෙසට ගමන් කරන විට රාජා කෞතුකාගාරය හමු වේ. අඩසියවසක පමණ කාලයක් දළදා පෙරහරේ පෙරහර කරඬුව වැඩම කළ රාජා හස්තියා මෙරට පළමු ජාතික වස්තුව ලෙසට රාජ්‍ය ගෞරවයට පාත්‍ර වූ ඇතා වේ.

රාජා සහ ස්කන්ධාට අමතරව තවත් හස්ති සාමාජිකයෙක් 1966 දී ඇත් පන්තියට එක්විය. එවකට ඉන්දිය අගමැතිතිය වූ ඉන්දිරා ගාන්ධි මැතිතිය විසින් ජය රාජා ඇතු එසේ පූජා කළ හස්තියාය. වර්ෂ 1978 දී දළදා මාලිගාවට විමලා කන්නන්ගර මැතිතිය විසින් පින්නවල සිටි ඇතකු සහ අලියකු පූජා කර තිබේ. ඒ 2017 වසරේ මාර්තු 12 වැනි දින මෙලොව හැර ගිය ඒක දන්ත හස්තියා සහ ජීවත්වන කණ්ඩුල කියන අලියාය. බොහෝ දෙනකු විශ්වාස කළේ ඒකදන්තයා යනු වාසනාවන්ත හස්තියකු ලෙසයි. මෙම දෙදෙනා ද සමඟ මාලිගාවේ ඇත් පන්තිය පස්දෙනකු දක්වා ඉහළ ගියේය. ඒකදන්ත හස්තියා දළදා මාලිගාවේ ඇත් පන්තියට එකතු වූවාට පසු දළදා මාලිගාවේ ඇත් පන්තියට බොහෝ අලි ඇතුන් ප්‍රමාණයක් එකතු වූ නිසාය.

මාලිගාවේ ඇත් පන්තියට ජනරාජා එක්වූයේ 1985 වසරේදීය. හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන  දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජනරාජා දළදා මාලිගාවට පූජා කළේය. දළදා පෙරහරේ කරඬුව වැඩම කරවීමේ කාර්යයට දශක දෙකක් තිස්සේ කැප වී සිටින ඉන්දි රාජා 1986 වසරේ දී මාලිගාවට පූජා කරනු ලැබුවේ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා විසිනි. අවුරුදු හයේදී දළදා මාලිගා ඇත් පන්තියට එක්වූ ඉන්දි රාජාගේ දැන් වයස අවුරුදු 44කි.

කෙරමිණිය විහාරස්ථානයේ අනෝමදස්සි හාමුදුරුවන් විසින් කදිරා සහ මැණිකා නම් අලි දෙදෙනා මාලිගාවට පූජා කර තිබෙන්නේ 1986 වසරේදීය. මැණිකා අවාසනාවන්ත ලෙස අකුණු සැර වැදීමෙන් 2004 වසරේ දී මිය ගියේය. එම වසරේදීම තායිලන්ත රජු විසින් විජය රාජා (තායි රාජා) නම් ඇතා පූජා කළේය. හිටපු ජනපති ආර්. ප්‍රේමදාස දළදා මාලිගාවට 1989 වසරේ දී නාලක නමින් අලියකු පූජා කළේය. කරඬුව වැඩම කරවීමේ භාග්‍යය ද හිමිවූ සිංහ රාජා මාලිගාවේ ඇත් පන්තියට එක්ව තිබෙන්නේ 1994 වසරේදීය. මේ හස්තියා සිංහ රෙජිමේන්තුව භාරයේ සිටි වවුනියාවෙන් හමුවූ අලියෙකි.

හිටපු ඉන්දීය අගමැති අතල් බිහාරි වජ්පායි විසින් 1998 වසරේදී පූජා කළ ඇතා කාවේරි රාජාය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1999 දී උඩවලව ඇත් අතුරු සෙවණේ සිටි මිගාර නම් ඇත් පැටවා මාලිගාවට පූජා කළාය. බුරුම රාජා හා මියන් රාජා දළදා මාලිගා ඇත් පන්තියට එක්වූයේ 2007 වසරේදීය. මියන්මාර් අග්‍රාමාත්‍ය ලුතිනන් ජෙනරාල් තෙසිං යෙසිං විසින් මේ ඇතුන් පූජා කර තිබේ. දළදා කරඬුව වැඩම කරවන ඇතා සමඟ බොහෝ විට දැලේ ගමන් කරන්නේ මෙම ඇතුන් දෙදෙනාය. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තායිලන්තයට ගොස් පරිවාර ඇතුන් සඳහා සුදුසු ඇතුන් දෙදෙනකු ලෙස මෙම ඇතුන් දෙදෙනා තෝරාගෙන තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේනට මියන්මාරයේ රාජ්‍ය නායිකාව වූ අවුන්සාන් සුකී මහත්මිය 2017 ලබාදුන් ඇතා දළදා මාලිගාවට පූජා කරනු ලැබුවේ පුලතිසි රාජා ලෙස නම් තබමිනි.

දළදා කරඬුව වැඩම කරවීමට ඇතකු තෝරාගැනීම ලේසි නැත. මාලිගාවේ ගජනායක නිලමේ, කාරියකෝරාල හා ඇතුන් සම්බන්ධ කටයුතු කරන සියලු දෙනා එක්ව සුදුසු ලක්ෂණ දරන හස්තියකු තෝරා ගැනීම කරති. එහිදී නාඹර ගැටවර ඇතුන් තෝරා නොගන්නා අතර පරිණත වයසට එළඹි ඇතකු මේ සඳහා තෝරා ගනී. රජුගේ ඇත් පන්තියේ ඒ වෙනුවෙන්ම ඇතකු වෙන් කිරීම සිදු කෙරිණි. සිය හාම්පුතා සම්බන්ධ ලැදියාව, ප්‍රචණ්ඩ ඇතකු නොවීම, මිනිසුන් මරා නොතිබීම ආදී කාරණා ද මංගල ඇත් රාජයකු තේරීමේ දී සැලකිල්ලට ගනු ලැබේ.

සුදුසුකම් සැපිරීමේ දී හස්තියාගේ හත්වැදුම් පොළ පිහිටා තිබිය යුතුය. එනම් සතර පා, හොඬය, ලිංගය හා වලිගය භූමිය ස්පර්ශ වන ආකාරයෙන් පිහිටීමයි. මේ ආකාරයේ භාරදූර කාර්යයකට යොදවන ඇතාගේ පුළුල් කුඹුතල, පුළුල් පිට, උදාර ලීලාව හා තේජාන්විත දළ යුග්මය ආදී ගුණාංග ගැන ද සලකා බැලේ.

මාලිගාවේ රාජාගෙන් අනතුරුව ඉන්දි රාජා ඇතා ද කරඬුව වැඩම කරවීමට යොදා ගැනේ. නැදුන්ගමුවේ රාජා හස්තියා, හෙයියන්තුඩුවේ රාජා, මිල්ලන්ගොඩ රාජා ද දළදා කරඬුව වැඩම කරවූ පිටින් රැගෙන එන හස්තීන් අතර වෙති. වෑවලදෙණිය ඇතා, කතරගම වාසනා ඇතා, ගංගාරාමයේ නවම් රාජා, රත්නපුර මහ සමන් දේවාලයේ ඇතා ද කරඬුව වැඩම කරවීමේ වාසනාව උදාකර ගත්තෝ වූහ.

සේයාරූ අන්තර්ජාලයෙනි
• කුසුම්සිරි විජයවර්ධන