2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

කිතුල් ගහෙන් ලොවක් දිනූ ප්‍රදීප්

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

කිසිදු ප්‍රයෝජනයට ගත නොහැකි වුණු කිතුල් ගසකින් නිවසට අවශ්‍ය කරන බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කරන දෙපළක් ගාල්ල ප්‍රදේශයෙන් අපිට මුණගැසුණි. ප්‍රදීප් මල්කුමාර අද වන විට සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහුගේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්පූර්ණ සහයෝගය ලබා දෙනු ලබන්නේ ඔහුගේ බිරිඳ පුෂ්පා මානෙල්ය.

කිතුල් පැණි ගෙන අවසානයේ දී කිතුල් ගසෙන් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි ගස් මිලදී ගෙන ඒවායින් භාණ්ඩ නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ ව්‍යාපාරය වේ. කිතුල් වුඩ් ඩිසයින්, නමින් හඳුන්වන එම භාණ්ඩවලට දේශීය මෙන්ම විදේශිකයන්ගෙන් ද විශාල ඉල්ලුමක් අද වන විට පවතී.

“කිතුල් ලීය කිසිදු ප්‍රයෝජනයකට ගත්තේ නැති ලීයක්. ගොරකා මැස්සක්, දුම් මැස්සක්, බුලත් මැස්සක්, වගේ දේකට කිතුල් ලීය ප්‍රයෝජනයට ගත්තට වෙනත් දේකට පාවිච්චි කළේ නැහැ. හැබැයි අද වන විට කිතුල් ලීයෙන් ඕනෑම භාණ්ඩයක් නිර්මාණය කරන්න පුළුවන්කමක් තියෙනවා.” යැයි ප්‍රදීප් මල්කුමාර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මෙම කිතුල් ලීයෙන් භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි බව මුලින්ම ප්‍රදීප් තේරුම් ගෙන තිබුණි. මීට පෙර ප්‍රදීප් රැකියා කිහිපයක්ම කළේය. ඔහුගේ බිරිඳ මානෙල් ද නිවෙසේ කුළුබඩු පැකට් සාදා වෙළෙඳපොළට නිකුත් කිරීමේ ස්වයංරැකියාවක නිරත වූවාය. නමුත් ඒ කිසිවකින් ඔවුන්ට ලාභදායී තත්ත්වයක් තිබුණේ නැත. මේ නිසාම බොහෝ දෙනා නොකරන ව්‍යාපාරයකට අතගසන්නට ප්‍රදීප්ට සිතුණි. වඩුවකු පවා කිතුල් ලීයෙන් වැඩ කිරීමට අකමැති බව ප්‍රදීප් දැන සිටියේය. කිතුල් ලීයට අනෙකුත් ලී වර්ගවලට වඩා කියත් තල වැඩිපුර ගෙවීම සිදුවේ. මේ නිසාම කිතුල් ලීය ප්‍රයෝජනයට එක් කරගන්නට වඩුවෝ මැලිකමක් දක්වති. නමුත් කිතුල් ලීය සවි ශක්තියෙන් ඉහළ බව ප්‍රදීප් දැන සිටියේය.

“අපේ ගෙදරට ලී පටි ටිකක් කපාගන්න ඕනෑ වුණා. ඒ වෙනුවෙන් මම වඩුබාසුන්නැහේලා දහ දෙනකු පමණ ළඟට ගියා. නමුත් ඒ කිසිම කෙනෙක් කිතුල් ලීය යතු ගාලා දෙන්න කැමති වුණේ නැහැ. ඒ නිසාම ඒ දේ මටම කරගන්න සිදුවුණා. කරුවල ලීයට බොහෝ සමානකමක් කිතුල් ලීයේ තියෙනවා. කිතුල් ලීය කළු පැහැති කීරක් සමඟ මුදු කොටසකුත් එකතුවෙලා නිර්මාණය වෙලා තියෙනවා.” යැයි ප්‍රදීප් මහතා පැවසීය.

ප්‍රදීප් කාලයක් තිස්සේ කුකුළු, හරක් ගොවිපොළක් පවත්වාගෙන ගියේය. මානෙල් නිවසෙහි කුළුබඩු මෝලක් සුළුවෙන් පවත්වාගෙන ගියාය. නමුත් පිරිවැය වැඩවීමත් සමඟ ඔවුන්ගේ ව්‍යාපාර අඩාල විය. ප්‍රදීප් ගොවිපොළ අතහැර පෙදරේරු වඩු වැඩවලට එකතු විය. එහිදී හෝටල් ආශ්‍රිතව වැඩ කිහිපයක් කරද්දී විදේශකයන් තුළ දේශීය නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඔහු දැක්කේය. එය අතරතුරේ ප්‍රයෝජනයට නොගත් කිතුල් ගස් සහ කිතුල් කඳන් ද ප්‍රදීප් දුටුවේය. ඒවායින් යම් ප්‍රයෝජනයට ගැනීමට හොඳම කාලය මෙය බව ඔහු තේරුම් ගත්තේය. ඉවත දැමූ එවැනි ගසක් රුපියල් එක්දහස් පන්සීයකට මිලදී ගෙන එයින් විශාල මුදලක් ඉපයිය හැකි බව ඔහුට වැටහිණි. ඒ අනුව රුපියල් එක්දහස් පන්සීයකට මිලදී ගන්නා ගසකින් රුපියල් පනස් දහසක් පමණ ඉපයිය හැකිය. ඇතැම් ගසකින් ලක්ෂයක, ලක්ෂ එකහමාරක භාණ්ඩ නිෂ්පාදනය ද සිදු කළ හැකිය.

“අපි මේ නිෂ්පාදනය සිදු කිරීම ඉතා සුළුවෙන් පටන් ගත්තා. එය දකින අය අගය කළා. ඒ නිසා මෙයින් සමාජයට ලොකු වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා අපි දිගටම මේ නිෂ්පාදනය සිදු කළා. දවසින් දවස අපි අලුත් නිර්මාණ කළා. ඇතැම් දේ ඉල්ලීම් අනුව නිෂ්පාදනය කළා. අද වන විට චීනයෙන් එන භාණ්ඩවලට සමාන සියලුම භාණ්ඩ අපි නිෂ්පාදනය කරනවා. මේ වෙනුවෙන්ම වෙන්වුණු යන්ත්‍ර සූත්‍ර අපිට නැහැ. නමුත් අද වන විට අපි තියෙන යන්ත්‍ර සූත්‍රවලින් භාණ්ඩ වර්ග අටසීයකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා.” යැයි ප්‍රදීප් මල්කුමාර මහතා පැවසීය.

ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවලට ලංකාවේ පමණක් නොව විදෙස් රටවලින් ද හොඳ ඉල්ලුමක් පවතී. කොවිඩ් වසංගතයට පෙර එංගලන්තයට වාර හතරක දී පමණ කිතුල් භාණ්ඩ ආනයන කොට ඇත. ගිය වසරේ දී ඔහු ඉන්දියාවට ද මෙම භාණ්ඩ රැගෙන ගියේය. ඔහු එරට පැවැති භාණ්ඩ ප්‍රදර්ශනයකට ද මෙම දේශීය නිෂ්පාදන ඉදිරිපත් කළේය. ඉන්දියාවේ මෙම භාණ්ඩවලට විශාල ඉල්ලුමක් පැවති බව ප්‍රදීප් පවසයි.

මුල් කාලයේ දී පෙදරේරුවකු ලෙසින් රැකියාව කොට නිවෙසට එන ප්‍රදීප් රාත්‍රී කාලයේ දී මෙම භාණ්ඩ නිෂ්පාදනය කළේය. නමුත් අද වන විට පූර්ණ කාලීනව ඔහු මෙම කටයුත්තේ නිරතව සිටියි. මේ වන විට ඔහු යටතේ තිදෙනෙක් සේවය කරති. වැඩි භාණ්ඩ ඉල්ලුමක් ලැබෙද්දී ප්‍රදීප් අමතර සේවකයන් ද දින වැටුප් වෙනුවෙන් එකතු කර ගනියි.

“ලංකාව පුරාම කිතුල් ගස් තියෙනවා. ප්‍රයෝජනයට නොගන්නා කිතුල් ගස් අපි මිලදී ගන්නවා. එයින් කිසිදු පාරිසර හානියක් සිදුවන්නේ නැහැ. කිතුල් ගස්  අපට ලබා දෙන පිරිස් ඉන්නවා. දේශීය වගේම විදේශිකයින්ගෙන්ද අපේ කිතුල් භාණ්ඩවලට විශාල ඉල්ලුමක් අද තියෙනවා.” යැයි ප්‍රදීප් මල්කුමාර වැඩිදුරටත් දේශයට පැවසීය.

• දිශානි ජයමාලි කරුණාරත්න

      

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03