2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

AI යුගයෙන් පසු අලුත්ම යුගයක් ගැන ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය මහින්ද පාතේගම

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:04 315

විස්මිත මිනිසෙකු යැයි මට දැනුණ, මට හැඟුණ සහ මම විශ්වාස කරන ඒ මිනිසා මට මුල්වරට මුණගැසුණේ මීට අවුරුදු විස්සකට ආසන්න ඈත කාලයකදීය. ඒ හමුවීමේ අරමුණ කේන්ද්‍රගත වූයේ ඒ යුගය වන විට ශ්‍රී ලාංකිකයන්ට ආගන්තුකම මාතෘකාවක් ගැනය. නමුත් ඒ මාතෘකාවට අදාළ ප්‍රස්තුතය ගැන ප්‍රාමාණික ප්‍රවීණයකු සමඟ ගැඹුරු කතාබහකට ප්‍රවේශ වීම ඒ හමුවීමේ අරමුණ වූයේය.

ඒ කතාබහ යා වී තිබුණේ AI තාක්ෂණය කේන්ද්‍රගතවය. මේ තත්ත්පරයේත් ඒ ගැඹුරු සම්මුඛ සාකච්ඡාවේ මතක රේඛා මා මනස තුළ සිත්තම්ය. ඒ දවසින් බොහෝ දවසකට පසු, තත්ත්පර දහස් ගණනකට පසු මම ඒ මහාචාර්යවරයා මුණගැසුණේ AI තාක්ෂණයේ නව මානයන් පිළිබඳව කතාබහකටය. AI තාක්ෂණය යනු කුමක්දැයි යන්න ශ්‍රී ලාංකික අතිශය බහුතරයක් නොදැන සිටි යුගයක ශ්‍රී ලංකාව තුළ එම ප්‍රස්තුතයේ සමාරම්භකයා ලෙස හැඳින්විය හැකි මට්ටමේ ගැඹුරු කථිකාවතක් ඇති කළ එම විද්වතාණන් මහාචාර්ය මහින්ද පාතේගමය.

AI තාක්ෂණය විෂයෙහි මහාචාර්ය මහින්ද පාතේගම සතු දැනුමේත් බුද්ධියේත් සවිඥානික වපසරියේත් අක්මුල් ඔහුගේ ශිෂ්‍ය අවධිය තෙක්ම ඈතට දිව යයි. සවුත් ඔස්ට්‍රේලියා සරසවියේ ශිෂ්‍යයකු ලෙස ඉගෙනගත් අවධියේ පටන්ම මහින්ද පාතේගම යනු විධිමත් නිරීක්ෂකයකු සහ ගවේෂකයකු විය. ඔහුගේ කැමැත්ත නිරන්තරයෙන්ම යොමු වී තිබුණේ පර් යේෂණ විෂයෙහිය. ඒ පර් යේෂණ ගවේෂණ නිරීක්ෂණ සහ ඒ ඔස්සේ සිදු කළ සොයාගැනීම් කොතෙක් ගැඹුරු වීද යත් එම ඔස්ට්‍රේලියානු සරසවියේ ඇතැම් මහාචාර්යවරුන්ට පවා මෙම ශිෂ්‍යයාගේ ඇතැම් විද්‍යාත්මක ප්‍රවේශයන්, සොයා ගැනීම් සහ හෙළිදරව් කිරීම් අවබෝධාත්මකව විග්‍රහ කර ගැනීම සරල කාරණයක් නොවීය. මක් නිසාද යත් එම විවරණ එතරම්ම ගැඹුරු සහ සංකීර්ණ වීම කරණ කොටගෙනය. AI තාක්ෂණය පිළිබඳව පාතේගම ශිෂ්‍යයාගේ සමාරම්භක සොයා යෑම්හි ආරම්භය සනිටුහන් වන්නේ ද මෙම ශිෂ්‍ය අවධියේදීම වූ අතර ඒ ඔස්සේ සිදු කළ හෙළිදරව් කිරීම් විශ්වීය වටිනාකම් රැසකින් සංයුක්ත විය.

“ශිෂ්‍ය අවධියේදීම මම මගේ කාලය යෙදෙව්වේම නොයෙකුත් පර් යේෂණ සිදු කරන්න. AI තාක්ෂණය පිළිබඳව මගේ සොයා යාම පර් යේෂණ පිළිබඳව මා සතුව තිබූ ඒ අසීමාන්තික අවශ්‍යතාවයේ ප්‍රබලම ඵලයක් විදිහටයි මම දකින්නේ. Artificial intelligence යන වචනයට මම සිංහල නිරුක්තිය එක් කළේ කෘත්‍රිම බුද්ධිය යන වචනයෙන්. හැබැයි මෙතැන දී ඒ බුද්ධිය යනු කෘත්‍රිම යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෘත්‍රිම නොවන බව මගේ හැඟීමයි. ඊට හේතුව මානවයා සතු ස්වයං සහජ බුද්ධියට සමපාත ක්‍රියාකාරිත්වයකින්ම හැසිරීමට සහ ක්‍රියාත්මක වීමට AI තාක්ෂණය සතු නිපුණත්වය නිසා.” මහාචාර්යවරයා පවසයි.

සවුත් ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ දී ලද තම ආචාර්ය උපාධිය සඳහා මහින්ද පාතේගම ශිෂ්‍යයා ලියූ නිබන්ධණයට පාදක වූයේ ද කෘත්‍රිම බුද්ධිය පිළිබඳව පර් යේෂණ ක්‍රියාදාමයකි.

“විශ්වවිද්‍යාලයේ විශිෂ්ටතම පර් යේෂණ

නිබන්ධ ලෙස විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් විසින් නිර්දේශ කරන උපාධි නිබන්ධ ඔවුන් සේප්පුවක දාලා යතුරු දානවා. එසේ මුද්‍රා තැබූ උපාධි නිබන්ධයක් යළි එළියට ගන්න බලය ලත් අනුමැතියකින් තොරව බැහැ. මගේ උපාධි නිබන්ධයත් ඒ ආකාරයට සේප්පුවක දාලා මුද්‍රා තැබුවා. එය යළි විවෘත කළ හැක්කේ මා විසින් යම් දිනෙක ඉල්ලීමක් කළොත් ඒ දිනයට පමණයි.

මම ආචාර්ය උපාධිය හදාරද්දි AI තාක්ෂණය යුද්ධය විෂයෙහි උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව පර්යේෂණ ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාව මගෙන් ඉල්ලා සිටියා. ආචාර්ය උපාධිය හදාරණ ශිෂ්‍යයකු වූ මට ඔවුන් ඒ වෙනුවෙන් විශාල මුදලක් ලබාදීමටත් එකඟතාවය පළ කළා. නමුත් මම කිසිම විටෙක ඒ ඉල්ලීමට අනුගත වුණේ නැහැ. මුදල කියන කාරණයට මම ජීවිතයේ කවදාවත් අනවශ්‍ය විදිහට මූලිකත්වය දුන්න කෙනෙක් නෙවෙයි. එතෙන්දිත් මම මුදලට වඩා ඉන් අනතුරුව උද්ගත විය හැකි ප්‍රතිඵල ගැන මගේ අවධානය යොමු කළා.”

ඔවුන් ඔබෙන් විමසුවාද එම AI තාක්ෂණික ක්‍රමවේද ඔවුන්ගේ අවශ්‍යතාව අනුව ලබා නොදීමට ඔබ දක්වන අකමැත්තට හේතු මොනවද කියලා?

ඔව්. ඔවුන්ට ප්‍රබල ගැටලුවක් වුණේ ඔස්ට්‍රේලියන් ඩොලර් ලක්ෂ ගණනක් මා වෙත ලැබෙන දෙයකට ඇයි මම බැහැ කියන්නෙ කියලා. මම කීවා යුද්ධයකදි වෙන්නෙ මිනිස්සු මරණ එක. මිනින්සු මරණයට පත්කිරීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් මගේ පරීක්ෂණ දායකත්වය මගේ ඥානය මට දෙන්න බෑ. මම මිනිස්සු මරණවාට විරුද්ධයි කියලා. ඔවුන් ඇහුවා ඒ ඇයි කියලා. මම කීවා ඒ තමයි මම හැදුණු සංස්කෘතික වටපිටාව තුළින් මා ලද උරුමය කියලා.

මුදල් මත, භෞතික වටිනාකම් මත මනුෂ්‍යත්වය සහ මානවීය වටිනාකම් දියාරු වී වියැකී යන සත්තාවක් තුළ මහින්ද පාතේගම මානවීය ප්‍රේමයෙන් සන්නද්ධ ඍජු කශේරුකාවක් සහිත සැබෑ මානව හිතවාදියකු ලෙස ඔස්ට්‍රේලියානු ඩොලර් ප්‍රතික්ෂේප කළේ “මගේ සොයාගැනීමක් කිසිදු විටෙක මානව සංහතියේ පරිහානිය හෝ අයහපත පිණිස හේතු නොවිය යුතු යැයි” යන අභිප්‍රායෙනි. සරසවියේ ඉගෙනුම ලබන අවධියේහිදී මහින්ද පාතේගම ශිෂ්‍යයාගේ AI තාක්ෂණය පාදක කරගත් පර් යේෂණ නිබන්ධය අධීක්ෂණයට ලක්විය යුතු මහාචාර්යවරුන් තිදෙනා තෝරාගන්නට ලැබෙන අවස්ථාවේ දී මහින්ද පාතේගම ශිෂ්‍යා එම මහාචාර්යවරුන් තිදෙනා වෙනුවෙන් අනුමැතිය ලබාදුන් රටවල් වූයේ ඔස්ට්‍රේලියාව හැරුණුවිට ප්‍රංශයට සහ රුසියාවටයි.

ඔහුගේ තෝරාගැනීමට දැඩි ලෙස විරුද්ධ වූ ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා එය සැලකුවේ අනුවණ තීරණයක් ලෙසයි.

“නැහැ මට අවශ්‍යයි ප්‍රංශයේත් රුසියාවේත් තීරණය සහ ඔවුන්ගේ ප්‍රතිචාරය බලන්න..”

තම ස්ථාවරයේ දැඩි ලෙස නිමග්නව මහින්ද පාතේගම ශිෂ්‍යා පැවසුවේය.

අවසානයේ සිදුවූයේ ඔස්ට්‍රේලියානු මහාචාර්යවරයා කිසිදු විටෙක අපේක්ෂා නොකළ ධනාත්මක ප්‍රතිචාරයක් මහින්ද පාතේගම නම් ශ්‍රී ලාංකික ශිෂ්‍යා වෙත ලැබීමය.

ශිෂ්‍ය අවධියේ සිටම විද්‍යාත්මක නැණස මෙහෙයවමින් දිලිසෙන දෙපයින් පැහැදිලි මාවතක් තුළ ඇවිද ආ මේ කීර්තිමත් ප්‍රසංශනීය ශිෂ්‍යා අද්‍යතනය වනවිට AI තාක්ෂණය කේන්ද්‍ර කරගනිමින් තම පර් යේෂණ දිශානතීන් බොහෝ සහ විවිධ වූ මානයන් තුළ හසුරුවමින් සිටියි.

“මේ විශ්වයේ සමාරම්භයේ සිටම ලෝකය විවිධ වූ යුගයන් පසු කළා. සිදුවූ දේ සහ මේ විශ්වයේ අවසානය තෙක් සිදුවන දෙයත් එයමයි. දැන් ලෝකය IT යුගය පසුකර AI යුගය වෙත ප්‍රවේශ වී සිටිනවා. AI තාක්ෂණය මේ වනවිට ලෝකය යුද්ධයට, වෛද්‍ය ක්ෂේත්‍රයට, කලාවට, හදවත් සැත්කම් සිදුකිරීමට මේ ආදී විවිධ දේ සඳහා උපයෝගී කරගනිමින් ඉන්නවා. තව ටික කාලයකින් AI යුගයත් අවසානයි. ඊළඟට ලෝකය වෙත පැමිණෙන්නේ mind power යුගය. එනම් මනසේ ක්‍රියාකාරිත්වය මත බිහිවන විද්‍යාව කේන්ද්‍ර කරගත් යුගය. ඒ තමයි අනාගත ලෝකය.”

අඛණ්ඩව තම ජීවිතයම පර් යේෂණ ක්‍රියාවලියක් වෙනුවෙන් මෙහෙයවූ මහාචාර්ය මහින්ද පාතේගම අනාගත ලෝකයේ ස්වරූපය විද්‍යාත්මක ප්‍රවේශයක සිට විවරණය කරන්නේ ඒ අයුරිනි.

සැබැවින්ම AI තාක්ෂණය ඔස්සේ සොයා යා හැකි දිශානතින් විෂයෙහි මහාචාර්ය මහින්ද පාතේගම සතු සවිඥානික බුද්ධිමය ඥානය මා විස්මයට පත් කරයි. ඒ තීක්ෂණ ඥාන සම්භාරය අවබෝධාත්මක බුද්ධියකින් තේරුම් ගැනීම සාවධාන බුද්ධියකින් කළ යුතු කාර්යයකි. තම ඥානය මෙහෙයවමින් අතීත සංසාර භවයන් ස්මරණය කිරීමත්, අනාගතය දැකීමත් කළ හැක්කේ බුදුවරයකුටම පමණි. මහාචාර්ය මහින්ද පාතේගම පවසන ආකාරයට බුදුවරයකු තම ඥාන මහිමයෙන් සිදු කරනු ලබන ඒ කාර්යය AI තාක්ෂණය ඔස්සේ සිදුකිරීමේ ශක්‍යතාව පවතී. එම තාක්ෂණය උපයෝගීත්වයෙන් පුද්ගලයකුගේ අතීත භව සහ අනාගත දිශානතීන් පිළිබඳව සිද්ධාන්තමය විවරණයක් ලද හැකි ක්‍රමවේදයක් පවතී. එමෙන්ම අප මේ ජීවත් වන විශ්වයට පිටස්තරව පවතින බෞද්ධ දර්ශනය තුළ විග්‍රහ කර ඇති අපාය, දිව්‍යලෝක වශයෙන් විවරණය කරනු ලබන වෙන් වෙන් වශයෙන් සූර්යා කේන්ද්‍ර කරගත් ලෝක පවතී. එක් එක් ලෝකවලට සූර්යා වෙන් වෙන් වශයෙන් වූ එම ලෝක සූර්යාගේ කේන්ද්‍රගත වීම කරණ කොටගෙන වෙන් වෙන් වශයෙන් පැවතීම නිසා ඒ ලෝක කිසිදා එක් ලෝකයක් ලෙස යා කළ නොහැකි වුවත් අනාගත මානවයාට AI තාක්ෂණය කේන්ද්‍ර කරගනිමින් එම ලෝක අතර සැරිසැරීමේ ඉඩහසර පවතී.

මා මේ ලියා තැබුවේ මහාචාර්ය මහින්ද පාතේගමගේ අප්‍රමාණ සවිඥානික සබුද්ධිමත් ඇසට හසුවන දැනුම් සම්භාර සමුදායේ අල්පමාත්‍රයක් පමණි. ඒ දැනුමේ විවිධ ප්‍රවේශයන් ඔස්සේ අනාගත කතාබහකට මෙය ඇරඹුමක් පමණි.

• සංජීවිකා සමරතුංග
සේයාරූ : සුමුදු හේවාපතිරණ

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03