ජාතික රෝහලේ අලුතෙන් ආරම්භ කළ බාහිර රෝගී අංශයට අයත් සීටී සහ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර 2ම මාස එකහමාරකට ආසන්න කාලයක් අක්‍රීයව ගොසිනි. ජාතික රෝහල සතු අනෙක් සීටී යන්ත්‍ර2 සහ එම්.ආර්.අයි යන්ත්‍ර 2 ද අක්‍රියව ඇති හෙයින් සමහර රෝගීන්ට පොරොත්තු ලේඛනගතව මාස 08 කට ආසන්න කාලයක් සිටීමට සිදුව ඇත.
මේ ප්‍රමාදවීම් මදිවාට ජාතික රෝහලේ පවා ස්කෑන් පරීක්ෂාවට පැමිණෙන රෝගීන් හට අඩු තරමේ දින 3ක්වත් රොහලේ රැඳී සිටීමට වන තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. හදිසි අඝාත තත්ත්වයක් වැනි සිදුවීමක දී ස්කෑන් පරීක්ෂාවක් කඩිනමින් සිදු කළ පැය හතරක් තුළ මිල අධික ඖෂධයක් ලබා දී ජීවිත බේරා ගැනීමට හැකි වුවද දැන් මේ ස්කෑන් බිඳ වැටීම හේතුවෙන් දුර රෝහල් කරා යාමට සිදුවීමෙන් පැය 4ක රන් දාලය ඉක්ම යාමෙන් බොහෝ රෝගීන් හට ජීවිත කාලයටම බලපාන බරපතළ රෝගී තත්ත්ව ඇතිවිය හැකිව තිබේ.
රට පුරා ඇති රෝහල් ගණනාවකම අත්‍යවශ්‍ය සේවාවක් වන ස්කෑන් සේවා මෙලෙස බිඳ වැටීමට ලක්ව ඇති අතර ඒ පිළිබඳව බලධාරීන් නොයෙක් අයුරින් දැනුම්වත් කළ ද ඒ උත්සාහයන් බීරි අලින්ට කළ වාදනයන් මෙන් නිෂ්ඵලව ගොස් ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම ‘දේශය’ සමඟ මේ ගැටලුව ගැන කළ කතාබහක දී පැවසීය.
ආමාත්‍යංශය තුළ ඔඩුදුවා ඇති යාවත්කාලීන නොවූ යල් පැනගිය ක්‍රමවේද සහ නිලධාරීන්ගේ අන්තනෝමතික නිද්‍රාශිලී ක්‍රියාකාරිත්වය මේ යන්ත්‍ර කඩිනමින් යථා තත්ත්වයට ගෙන ඒම සඳහා බාධක ලෙස ක්‍රියා කරන බව සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි. හදිසියේ උද්ගත වන යන්ත්‍ර බිඳ වැටීම් පමණක් නොව කාලානුරූපව සිදුවිය යුතු කලින් දැන සූදානම්ව සිටිය යුතු නඩත්තු කටයුතු පවා නිසි කලට සිදුකිරීමට අවශ්‍ය ලිපි ගනුදෙනු ප්‍රමාදය බොහෝ විට මේ විනාශකාරී තත්ත්වයට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ හේතුවෙන් කෝටි ගණනක මුදල් අපතේ යාමක් සිදුවන බව ඔහු පෙන්වා දෙයි. යම් රෝහලක ඇති ස්කෑන් යන්ත්‍ර බිඳ වැටීම නිසා මධ්‍ය සහ ශික්ෂණ රෝහල් කරා රෝගීන් ප්‍රවාහනයට වැය වන කෝටි ගණනක මුදලට අමතරව රෝගීන්ගේ හදිසි රෝග විනිශ්චයන් අතපසු වීම නිසා සිදුවන හානිය සුළු පටු නොවන බව ඔහු පෙන්වා දෙයි.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීවේය.
“මේ වන විට රජයේ රෝහල් රෝහල්වල CT ස්කෑන් යන්ත්‍ර 44න් 07 ක් අඩපණ වෙලා. සමහර රෝහල්වල රෝගීන් ප්‍රවාහනයට වැය වන මුදල මසකට රුපියල් ලක්ෂ 120 ඉක්මවන බවයි, අප කළ සොයා බැලීම්වලදී වාර්තා වුණේ. ස්කෑන් යන්ත්‍ර බිඳ වැටුණු රෝහල් අතරට, කරවනැල්ල මූලික රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, හම්බන්තොට මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකය, කල්මුනේ මූලික රෝහල, කළුතර මහ රෝහල සහ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයත් ඇතුළත්.”
කරවනැල්ල රෝහලේ යන්ත්‍රය පෙබරවාරි මස 15 වැනිදා සිට බිඳ වැටී ඇති අතර දැනට රෝගීන් කෑගල්ල මහ රෝහල දක්වා ප්‍රවාහනය සිදු කරයි. ඒ සඳහා මේ වන විට මසකට ලක්ෂ 30ත් 40ත් අතර මුදලක් අවම වශයෙන් ප්‍රවාහනය සඳහා වැය වී ඇති බව හෙළි වී තිබේ. රත්නපුර මහා රෝහලේ යන්ත්‍රය මාස කිහිපයක සිටත්, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ යන්ත්‍ර ජූනි 30වැනිදා සිටත් බිඳ වැටීම සිදු වී තිබේ. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කය සහ ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන්ම සිටී පරීක්ෂණ අඩාල වීමක් සිදු වී ඇත. දැන් රත්නපුර යන්ත්‍රය යථා තත්ත්වයට පත්ව ඇතත්, අනෙක් යන්ත්‍ර ගැන තාම සිතා බලාවත් නැති තරම්ය. හම්බන්තොට මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ තිබෙන සිටී යන්ත්‍රය වසරකට වැඩි කාලයක් තිස්සේ බිඳ වැටී ඇත.කළුතර මහ රෝහලේ සිටී යන්ත්‍රය ද වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ බිඳ වැටී තිබෙන අතර එම යන්ත්‍රය වෙනුවට අලුත් යන්ත්‍රයක් මිලදී ගැනීමට මේ වන විට කටයුතු සිදුවෙමින් තිබේ.
කල්මුණේ මූලික රෝහලේ යන්ත්‍රය දැනට මාස එකහමාරක් තිස්සේ බිඳ වැටී තිබෙන අතර එම රෝගීන් මඩකලපුව සහ අම්පාර රෝහල් වෙත ප්‍රවාහනය කොට CT ස්කෑන් පරීක්ෂණ සිදු කරනු ලබයි.
මෙම යන්ත්‍ර බිඳ වැටීම් ගැන සලකා බැලූ කල ඉන් සමහර යන්ත්‍ර සඳහා වාර්ෂික සේවා ගිවිසුම් යාවත්කාලීන වීම සිදු නොවී තිබෙන අතර තවත් සමහර යන්ත්‍ර සේවා ගිවිසුම්ගතව තිබුණත් යන්ත්‍ර යථා තත්ත්වයට පත් කිරීම ලේඛන තුළ සිර වී ප්‍රමාද වෙමින් පවතී.
කෙසේ නමුත් මේ වන විට මෙම යන්ත්‍ර බිඳ වැටීම හේතුවෙන් රෝග හඳුනා ගැනීම ප්‍රමාද වීම සහ එමගින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වීම මගින් රෝගී ජීවිත ඉතා අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන අතර රෝගීන් වෙනත් රෝහල්වලට ප්‍රවාහනය සඳහා වැය කළ සම්පූර්ණ මුදල ගණන් බැලූ කල නවීන යන්ත්‍ර කිහිපයක් මිලදී ගැනීමේ හැකියාව පවතින බව හෝ තිබෙන යන්ත්‍ර නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට හැකි බව ප්‍රත්‍යක්ෂ වේ.
මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු පාර්ශ්වයන් කඩිනමින් තීන්දු තීරණ නොගැනීම ප්‍රධාන හේතුව සේම, එම තීන්දු ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය සේවාව තුළ අකාර්යක්ෂම බව සහ වැය බර අධික වන බව ජනතාවට පෙන්වා දෙන හොඳම අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
සමහර පාර්ශ්වයන් සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට ද යෝජනා කරන්නේ මෙවැනි තත්ත්වයන් උපයෝගී කරගෙන බවත් යම් හෙයකින් එසේ පෞද්ගලීකරණය කිරීමට තීරණ ගතහොත් මීටත් වඩා වැඩි වියදමක් රජයට දරන්නට සිදුවන බවත් සිය විශ්වාසය යැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.
• සුගත් පී. කුලතුංග ආරච්චි