පසුගිය සමයේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට 2022 අප්‍රේල් 12 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිත විදෙස් ණය පියවීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති යැයි 2022 අප්‍රේල් 12 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී භාණ්ඩාගාර ලේකම්වරයා හා මහ බැංකු අධිපතිවරයා අනාවරණය කිරීමත් සමඟම ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය කඩිනමින් පහළ දමන්නට කටයුතු කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ සහයට පැමිණිය ද ඔවුන් ලබාදුන් විවිධ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවිය. එම නිර්දේශවලට අනුව විදේශීය ණය මෙන්ම දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතු විය.
රජයේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.67කි. ඩොලර් බිලියන 41.5ක විදේශ ණය ප්‍රමාණයක් ද, දේශීය ණය ඩොලර් බිලියන 42.1 ක්ද ඊට අයත්ය.
ශ්‍රී ලංකා ආණ්ඩුව රටේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් ණය ලබාගෙන තිබේ. ඒවා යළි ගෙවීම සඳහා විවිධ කොන්දේසි පවතී. එනම් ණය වාරිකය, පොලී අනුපාතය සහ ගෙවා නිම කරන කාලය වශයෙනි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් අදහස් කෙරෙනුයේ රජය විසින් විවිධ කොන්දේසි යටතේ ලබාගෙන ඇති ණය සඳහා වන පොලිය අඩුකර ගැනීම හෝ, කාලය දිගුකර ගැනීම හෝ එම ණයෙන් කොටසක් කපා හැරීම හෝ වැනි ක්‍රියාවලියකි. දේශීය වෙළෙඳපොළෙන් ණය ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගිනි. ඊට අමතරව මහ බැංකුවෙන් ද අත්තිකාරම් ලෙස මුදලින් ණය ගනියි. මේ 2023 මුල් මාස තුනේ දී එසේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,218 කි. මහ බැංකු දත්තවලට අනුව 2022 වන විට නිකුත් කර තිබූ සමස්ත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල වටිනාකම රුපියල් බිලියන 12,872ක් විය. ඉන් රුපියල් බිලියන 3,954 ක්ම සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්ය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහා විදේශ සමාගමකින් උපදේශනය ලබාගත යුතු විය. ඒ සඳහා අවශ්‍ය උපදේශනය ලබා දුන්නේ ලසාඩ් ෆ්රාන්ස් සමාගම මගිනි. ඊට අවශ්‍ය නීති උපදේශනය ක්ලිෆඩ් චාන්ස් සමාගමට ද පැවරිණි. 2022 මැයි 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී, උපදේශන කොන්ත්‍රත්තු මෙම සමාගම් දෙකට ප්රදානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය. ඒ සඳහා ඩොලර් මිලියන 5.6ක මුදලක් ගෙවීමට තීරණය විය. ලසාර්ඩ් ෆ්රාන්ස් ආයතනය ලොව ආර්ථිකය බිඳවැටුණු රටවල් කිහිපයක ආර්ථිකය යළි ගොඩනැගීමේ කටයුතු සාර්ථකව අවසන් කළ සමාගමක් බවද ඇතැම් රටවල් සාර්ථකත්වය කරා ළඟා වෙමින් තිබෙන බවද පැවසිණි.
මෙම ආයතන දෙකට එම සේවාවන් සැපයීම වෙනුවෙන් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5ක් ගෙවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය උපදේශනය ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලසාර්ඩ් ෆ්රාන්ස් සමාගමට 2024–07-31 දිනට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක්ද ක්ලිෆඩ් චාන්ස් සමාගම විසින් සපයන ලද නීති උපදේශන සේවා සඳහා 2024 නොවැම්බර් මාසය වන තෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 4.6ක්ද ගෙවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මුලින් ටෙන්ඩර් කැඳවීමේදී ගෙවීමට නියමිත වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 5.6ක් යැයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කර තිබූ අතර එම මුදලට වඩා වැඩි මුදලක් මේ වන විට එම ආයතන සඳහා ගෙවා තිබේ. ඊට හේතු වූයේ වරින් වර ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට සිදුවූ බැවිනි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක් වූ හෙයින් මෙම ආයතනයන්හි සේවය ලබාගැනීමේ කාලය දීර්ඝ කිරීමට සිදුවූ බවද මෙම කාර්යය කෙදිනක අවසන් විය හැකිදැයි ප්‍රකාශ කළ නොහැකි බවද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් මෙම ආයතන දෙකෙහි සේවය ලබා ගැනීමට සිදුවන බවද ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කොට ආර්ථිකය ස්ථාවරභාවයට ගෙන ඒම සඳහා මේ වන විට පියවර ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතා සාර්ථකව අවසන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජූනි මාසයේ ප්‍රකාශ කළේය. මේ යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක ණය ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇත. ද්විපාර්ශවික ණය හිමියන් ඔවුන්ගේ ණය ප්‍රමාණයේ මුහුණත අගය අඩු කිරීමට එකඟ වී නොමැති අතර ණය නොගෙවන සහන කාලයක් ලබා දීමටත් ණය ගෙවීමේ කාලය දීර්ඝ කිරීමට හා ණය මත අය කෙරෙන පොලිය යම් ප්‍රමාණයකින් කපා හැරීමටත් එකඟතාවකට පැමිණ තිබේ. මේ අනුව ණය ගෙවීම ආරම්භ වන්නේ 2028 වසරේ සිටය. එසේම ණය ගෙවීම වසර 15ක කාලයක් තුළ සිදු කළ හැකිය. එසේම මෙම එකඟතාව හරහා ශ්‍රී ලංකාවට ඇ.ඩො. බිලියන 5ක පොලී ණය සහනයක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට සමස්තයක් ලෙස ණය දෙන ආයතන කොටස් තුනකට බෙදිය හැකිය. එකක් බහුජාතික සමාගම්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුවල ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන එම කාණ්ඩයට අයත්ය. මෙම ආයතනවලින් ලබාගත් ණය ගෙවීම ශ්‍රී ලංකාව පැහැර හැර නොමැත. මෙම ණය කෙටිකාලීන ණය නොවන අතර ඒවා ගෙවීමට වසර 30ක් 40ක් වැනි කාලයක් හිමි වේ. එවැනි ණයවලින් රටට එතරම් බරක් පැටවෙන්නේ නැත. රටට බරක් වන්නේ ද්විපාර්ශවීය ලබාගත් ණයයි. චීනය, ජපානය වැනි රටවලින් මෙලෙස ද්විපාර්ශවීය ණය ලබා ගනී. මොවුහු පැරිස් සමාජයේ සහ පැරිස් සමාජයට අයත් නොවන ණය හිමියෝ වෙති. මේ හැර ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය වෙළෙඳපොළින් ද ස්වෛරී බැඳුම්කර යටතේ ණය ලබා ගනී. මේ වන විට පැහැර හැරීමට ලක්ව ඇත්තේ ද්විපාර්ශවීය ණය සහ ස්වෛරී බැඳුම්කර යටතේ ලබාගත් ණයයි.
ශ්‍රී ලංකාව විවිධ ව්‍යපෘති සඳහා ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 22කි. වාණිජ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15කි. ව්‍යාපෘති ණය සඳහා ලබාගත් ඩොලර් බිලියන 22කින් ඩොලර් 10.6ක් ද්විපාර්ශවික ණය වේ. ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන චීනයට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.7 ක් ණය වී ඇති අතර ඉන්දියාවට ඩොලර් බිලියන 1.74 ක් ගෙවීමට ඇත. පැරිස් ක්ලබ් සමූහයේ පාර්ශ්වයක් වන ජපානයට ඩොලර් බිලියන 2.68ක් ණය ගෙවීමට තිබේ.
මෙම ණය ගෙවීම කල් දමා ගැනීම, පොලිය අවම කර ගැනීම සහ ණයෙන් කොටසක් කපා හැරීම සඳහා වන උපදේශනය සඳහා තවත් ඩොලර් මිලියන 11.5ක් ගෙවන්නට ශ්‍රී ලංකාවට සිදුවීම හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටීමක් බඳුය. ණය ප්රතිව්යුහකරණය සිදු කළ ද එම ණය කෙදිනක හෝ ගෙවිය යුතුය. රට බංකොලොත්භාවයෙන් මිදෙන්නට නම් මේ වන විට පැහැර හැර ඇති ණය සහ ගෙවීමට ඇති ණය ගෙවන්නට හැකි පරිදි රටේ ආර්ථික පරිවර්තනයක් සිදුවිය යුතුය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා