2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

අවදානම් ගස් කපන්න බලපත්‍රයක් ගන්නෙ කොහොමද?

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 234

අවදානම් ගස් කපන්න බලපත්‍රයක් ගන්නෙ කොහොමද?

තමන්ගේ නිවසේ හෝ ඉඩමක පවතින ගසක් හේතුවෙන් අනාරක්ෂිත බවක් මතු වී ඇත්නම් එය ඉවත් කර ගන්නේ කෙසේද? ජනතාව අතරින් බහුතරයකට පවතින මෙම ගැටලුවලට අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ග කවරේද? යන්න මෙවර ‘ජන මෙහෙවර’ තුළින් අපි පැහැදිලි කරමු.

ඔබගේ ඉඩමක පිහිටි ගසක් කැපීම සඳහා බලපත්‍ර ලබා ගැනීම

ගස් කපා ඉවත් කිරීම පිළිබඳ පිළිගත් නීති ප්‍රතිපාදන රැසක් පවතී. ඒ අනුව කොස්, දෙල්, තල් වැනි නම් කරන ලද ගස් වර්ග කිහිපයක් කැපීම සඳහා ඕනෑම කෙනකු විසින් බලපත්‍ර ලබා ගැනීම අත්‍යාවශ්‍යය. මෙහිදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ග්‍රාමීය හා ප්‍රාදේශීය පරිපාලන ව්‍යුහය හරහා ගමන් කරනු ලබයි.

ගසක් කපා ඉවත් කිරීම සඳහා සුදුසුකම්

නම් කොට ඇති ගස් වර්ග කපා ඉවත් කිරීම සඳහා පහත සුදුසුකම් සපුරා තිබීම වැදගත්ය. එම සුදුසුකම් අතරින් අවශ්‍ය කරුණු සම්පූර්ණ නොවන අවස්ථාවක ඔබගේ ඉඩමේ පිහිටිය ද අදාළ ගස් කපා ඉවත් කිරීමේ හැකියාවක් නොපවතියි.

• ගස් කපා ඉවත් කිරීමට උසාවිය මගින් තීන්දු කළ පසුව.
• සංවර්ධන කටයුතු සඳහා ගස් ඉවත් කිරීමට සිදුවන අවස්ථාවලදී. (මාර්ග සංවර්ධනය හෝ මාර්ග පළල් කිරීම, විදුලි බලය සැපයීම වැනි අවස්ථා)
• යම් නිවසක් තනන අවස්ථාවක දී නිවාස සැලැස්මට එම ගස බාධාවක් වූ අවස්ථාවක දී.
• ස්වභාවික හේතූන් මත යම් ගසකින් ජීවිතවලට හා දේපලවලට හානි සිදුවීම හේතුවෙන්.
• ගසක් දිරා ගොස් පවතින අවස්ථාවකදී.

අවසර ලබා ගැනීමේ ක්‍රමවේදය

ග්‍රාම නිලධාරී වෙතින් අදාළ ඉල්ලුම්පත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතී. ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීම පිළිබඳ උපදෙස් සහ ආධාර ග්‍රාම නිලධාරී වෙතින් ලබා ගැනීමේ හැකියාව ඔබ සතුය.
(සෑම අංශයකින්ම ඉල්ලුම්පත සම්පූර්ණ විය යුතුය)

අවශ්‍ය වෙනත් ලියැකියවිලි

• ග්‍රාම නිලධාරී නිර්දේශය
• ඉඩමේ ඔප්පුව
• ඉඩමේ සැලැස්ම
•නිවසක් හෝ වෙනත් ගොඩනැගිලි වේ නම් එහි සැලසුම්

ඔබ අදාළ ඉඩමේ තනි අයිතිකරුවා නොවන අවස්ථාවක පහත ලිපි ලේඛන ද සපයාගත යුතුය.

• අනිත් හවුල්කරුවන්ගේ කැමැත්ත ග්‍රාම නිලධාරී විසින් සනාථ කරන ලිපිය.
• උසාවියෙන් දෙන ලද තීන්දුවක් ඇත්නම් ඒ ලියකියවිලි.
• ප්‍රාදේශීය සභාව මගින් දෙන තීන්දුවක් ඇත්නම් ඒ ලියකියවිලි.
සැලකිය යුතුයි:
ඔප්පුව, ඉඩමේ සැලැස්ම අවශ්‍ය වන්නේ ගෙට හෝ වෙනත් ගොඩනැගිලිවලට අනතුරක් වේද? යන්න ඔප්පු කිරීම සඳහාය.

ඉල්ලුම්පත බාර දීම

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ලිපි ලේඛන සමඟ ග්‍රාම නිලධාරීවරයාට බාර දිය යුතුය.  ඉන්පසු ග්‍රාම නිලධාරී විසින් එම ඉල්ලුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙනු ලැබේ. අවශ්‍ය කරන ලියැකියවිලි සහිතව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ග්‍රාම නිලධාරින්ට බාර දිය යුතුය.
ග්‍රාම නිලධාරී විසින් සපයන ලද ලියැකියවිලි සහිත ඉල්ලුම්පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බාර දෙනු ලැබේ. ප්‍රාදේශීය ලේකම්තුමා හෝ සහකාර ප්‍රාදේශීය ලේකම් හට මේ පිළිබඳ පරීක්ෂණය සිදු කළ හැකිය. ප්‍රාදේශීය ලේකම් හෝ සහකාර ලේකම් විසින් ඉල්ලුම්පත අනුමත කළ පසු අයැදුම් කරන්නා වෙත බලපත්‍රයක් නිකුත් වේ.

විශේෂයෙන් දැනගන්න

1. ඉඩම් සංවර්ධන අධිකාරී බලපත්‍ර සහිත ඉඩම්වලින් ගස් කැපීම.   
එල්.ඩී. බලපත්‍ර සහිත ඉඩමකින් ගස් කැපීම සඳහා බලපත්‍ර අනිවාර්ය වේ. එල්.එල්. පර්මිට් ලබා ගැනීමෙන් පසු තමා විසින් වවන ලද ගසක් කැපීමට හා ප්‍රවාහනය කිරීමට අවසර ලබා ගැනීමට නම් ගස අවුරුදු 20 ක් පරණ වීම, ගසේ කඳ අඩුම තරමේ අඩි 3 1/2 මහත්වීම අවශ්‍ය වේ.
තවද ඇලෙස්ටෝනියා, ලුණුමිදෙල්ල, වල් සපු, ඇල්බීසියා, ඉපිල් වැනි ගස් කැපීම හා ප්‍රවාහනය කිරීම සඳහා පවා අවුරුදු 15 ක් ගත විය යුතු අතර, ගස්වල කඳ මහත අඩි 2 2/1 කට වැඩි විය යුතුය.
බලපත්‍රයක් ලබා ගැනීමට පෙර තිබූ ස්වභාවික ගස් ඵම ඉඩමේ තනන වර්ග අඩි 1200 අඩු ගොඩනැගිල්ලක් හෝ නිවසක අවශ්‍යතා සඳහා උපරිම ඝන මීටර් 7 ක් දක්වා ගස් කපා ගැනීමට බලපත්‍රයක් ලබාගත හැක. ඵවැනි ඉල්ලීමක් සලකා බලනුයේ ඉඩමේ බලපත්‍රයට වසර 3ක් සමීපූර්ණ වී ඇත්නම් පමණි.
2. ස්වර්ණ භූමි, ජය භූමි ප්‍රදානය සහ ඉඩම් උරුමයන්හි ගස් කැපීම
ඉඩමේ සීමාව ඇතුළත තිබෙන කොස්, දෙල්, තල් ගස් හැර අනෙකුත් ගස් කපා ගැනීමට ද බලපත්‍රයක් අනවශ්‍ය වේ. ගස් කපා ගැනීමට සුදුසු බලපත්‍රයක් ලබාගත හැක්කේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
3. දීර්ඝකාලීන බදු ඉඩම්වලින් ගස් කපා ගැනීම
දීමනා පත්‍රයක් සකසා නැති මධ්‍යම පන්තියේ ඉඩම්වලින් ඉවත් කෙරෙන දැව රාජ්‍ය දැව සංස්ථාව වෙත බාර දිය යුතුය.
4. වාර්ෂික බලපත්‍ර සහිත ඉඩම්වල දැව හෙලීම
වාර්ෂික බලපත්‍ර සහිත ඉඩම්වල කිසිම ගසක් කිසිම තැනකින් කපා ගැනීමට හිමිකමක් නොමැත. මැරුණු හෝ කඩා වැටුණු ගසක්, අයින් කිරීමේදී රජයේ දැව සංස්ථාව වෙත යොමු කළ යුතුය.

වැඩිදුර තොරතුරු දැනගැනීම :-
ඔබ ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරී හෝ ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙත ගොස් මේ පිළිබඳව වැඩිදුරටත් දැනුවත් වීමේ හැකියාව පවතියි. කෙසේ වෙතත් වංචනික ලෙස මෙම කටයුත්ත සිදුකිරීමට අල්ලස් දීම සිදු නොකළ යුතුය. අල්ලස් දීම ද අල්ලස් ගැනීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. ඔබ නීත්‍යානුකූල ක්‍රමවේදය අනුගමනය කරන්නේ නම් කිසිවකුගේ බාධාවකින් තොරව ඔබට කටයුත්ත කර ගැනීමේ හැකියාවක් පවතියි. බාධා කිරීම්වලදී ඉහළ නිලධාරීන් වෙත හෝ වගකිය යුතු ආයතන වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන්න.

• චමිඳු නිසල් ද සිල්වා

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03