2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

අපේක්ෂකයො ගොඩයි ඡන්ද වියදමත් සැරයි

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:03 82

කතිර සටන මේ වනවිට උණුසුම් වී තිබේ. රැකවල් මුරකාවල් බැඳ මේ වනවිට මුළු රටක් සැදී පැහැදී සිටින්නේ මෙරට 9 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්දයටය. මේ වනවිට අපේක්ෂකයෝ 39 දෙනෙක් නාම යෝජනා අවසන් කර සිටිති. මහජන මුදල් වියදම් කරමින් පවත්වන ඡන්දය සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් විය යුතු බව මෙරට සැමගේ අපේක්ෂාවය. එහෙත් 1982 ප්‍රථම ජනාධිපතිවරණයේ පටන් ඇතැම් අවස්ථාවල මහජන මුදල් කාබාසිනියා කළ ආකාරයේ අනවශ්‍ය ක්‍රියා ඕනෑතරම් දැකිය හැකි විය. මේ හේතුවෙන්ම ඡන්දයක වියදම පිළිබඳ සැමදෙනාටම හරියාකාර දැනීමක් නැත.

මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයක කරන වියදම්වලින් වැඩිම වියදමක් දරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයේ මුද්‍රණාලයටය. තැපැල් දෙපාර්තමේන්තුවට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ තැපැල් ඡන්දය හේතුවෙනි. මේ බව පැවසූයේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාය. ඔහු වැඩිදුරටත් පැවසූයේ තැපැල් දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් කැඳවීමේ දී තැපෑලට අවශ්‍ය භාණ්ඩ එක් ඡන්දයක දී වසර 2කට සෑහෙන ප්‍රමාණයේ භාණ්ඩ එකපාරකට ගන්නා බවත් මැතිවරණ කොමිසම ප්ලේන්ටියක් බිබී වැඩේ කරද්දී තැපැල් දෙපාර්තමේන්තුව අයිස් කෝපි බිබී වැඩ කරන බවත්ය. ඔහු පවසනුයේ මඟුල අපේ වුණාට හනිමුන් යන්නේ වෙන අය බවයි. පොලිස් දෙපාර්තමේන්තුවේත්, මුද්‍රණාලයේත් ඡන්ද වියදම් සැලකීමේදීත් මෙකී තත්ත්වයට සමාන බවත් මෙම වියදම් විගණනයකට නියාමනයකට ලක්විය යුතු බවත් හෙතෙම පැවසීය.

ඒ අස්සේ මෙවර ජනපතිවරණයේ දී ‘අවසර ලත් මුදල’ යනුවෙන් වදනක් නිරන්තරයෙන් අහන්නට ලැබෙනු ඇති අතර එය මුල් වරට ඇහෙන්නේ ද ළඟ එන ජනාධිපතිවරණ සමයේ දී වීම විශේෂත්වයකි.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පසුගියදා පැවසූයේ ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රමාණය 36 ඉක්මවා ගියහොත් වැඩිවන සෑම අයකු වෙනුවෙන්ම මිලියන 200 බැගින් එනම් කෝටි 20 බැගින් වියදමක් දැරීමට සිදුවන බවයි.
අයවැයෙන් ඡන්දය සඳහා කෝටි 1000 ක් එනම් බිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බවත් එය මැතිවරණ කොමසාරිස්ගේ අවශ්‍යතා මත ලබාදීමට සූදානම් බවත් මහා භාණ්ඩාගාරය පැවසුවේය. මැතිවරණයකට යන වියදම් සම්බන්ධයෙන් කතා කිරීමේදී මුලින්ම මතක් වන්නේ ඡන්දය ලකුණු කරන ඡන්ද පත්‍රිකාය. මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනුයේ රජයේ මුද්‍රණාලයේය. ඒ එයටම වෙන් වූ විශේෂිත කඩදාසියකය. සාමාන්‍ය ඡන්ද පත්‍රිකාවක් අඟල් විසිහත හමාරක දිගින් සමන්විතය. ගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 35 දෙනාගේ නම් මුද්‍රණය සඳහා අඟල් 26 ක ඉඩක් වෙන් වී තිබේ. මෙකී ප්‍රමාණය ඉක්මවා යන නම් සඳහන් කිරීමක දී ඡන්ද පත්‍රිකාව පේළි දෙකකට මුද්‍රණය කිරීමට සිදුවේ. ඡන්ද පත්‍රිකාව දිගින් වැඩි වෙනවා සේම ඒ හා සමානව යන පිරිවැය ද වැඩිවීම සිදු වේ. 1982 මෙරට ප්‍රථම ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ සිටියේ අපේක්ෂකයන් 6 දෙනකු පමණි. එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර්. ජයවර්ධන, ලංකා සමසමාජ පක්ෂයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයෙන් ජී.ජී. පොන්නම්බලම්, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර සහ නව සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර යන මහත්වරු නාමයෝජනා පිළිගත් අපේක්ෂකයෝ වූහ.

මේ හේතුවෙන් ඡන්ද පත්‍රිකාව කුඩා වූ අතර එයින් පත්‍රිකා 900 ක් පමණ ඡන්ද පෙට්ටියක බහාලීමට හැකියාව ලැබී ඇත. ඉකුත් ජනාධිපතිවරණයේත් ඡන්ද පෙට්ටියකට දැමිය හැකි පත්‍රිකා ප්‍රමාණය අඩු වුවද අමතර ඡන්ද පෙට්ටි වැඩි ප්‍රමාණයක් භාවිතයට ගැනීමට සිදුවන්නේ ඡන්දදායක පිරිස අඩු වී නොමැති නිසාය. මේ හේතුවෙන් ඡන්ද පෙට්ටි වැඩි කිරීමට සිදුවෙයි. ඒ වගේම එම ඡන්ද පෙට්ටි ප්‍රවාහනයටත් රජයේ ආයතනවලින් ලබාගන්නා කුඩා කැබ් රථවල ඉඩකඩ මදි වීම නිසා වෑන් රථ කුලියට ගැනීමට සිදුවෙයි. ඡන්ද පත්‍රිකාවේ නම් වැඩි වීමෙන් වියදම වැඩි වීම එකින් එකට දිග්ගැස්සෙයි. ඒ මන්ද යත් මෙකී කාර්යය එකකට එකක් බද්ධ වී ඇති නිසාය.

ඒ වගේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයකුටම නිදහස් තැපෑලක් හිමි වෙයි. ගෘහ හැටපන් ලක්ෂයක් ඇති රටක අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීමෙන් තැපෑලේ ප්‍රතිලාභය ද අපේක්ෂකයන් සැමට ලබාදීමේදී ද වියදම වැඩි වෙයි.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථානයකට සාමාන්‍යයෙන් එක් අපේක්ෂකයකුගෙන් නියෝජිතයන් දෙදෙනා බැගින් පත් කරන අතර ඡන්ද අපේක්ෂකයන් වැඩිවීමට සමගාමීව පත් කරන නියෝජිත ප්‍රමාණය ද ඉහළ යයි. ඒ වගේම මෙයින් ඡන්ද මධ්‍යස්ථානයේ ඉඩකඩ සම්බන්ධයෙනුත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවෙයි. එහෙත් තමන් නියෝජනය කරමින් නියෝජිතයන් පත් කිරීමේ අයිතිවාසිකමක් සෑම අපේක්ෂකයකුටම හිමිවන අතර එයට ඉඩ දීමට සිදුවෙයි. ඡන්ද ගණන් කිරීමේ කාර්යයට, සුබසාධන කාර්යයට ආදී මෙකී නොකී බොහෝ වියදම් වැඩිවීමක් සිදුවනු ඇත.

එහෙත් වෙනදාට වඩා මෙවර ජනාධිපතිවරණයේ සුවිශේෂී වෙනස්කමක් දැකිය හැකි වන්නේ ප්‍රථම වරටය. ඒ 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත හා හා පුරා කියා ක්‍රියාත්මක කරන්නට සැරසී සිටින්නේ මෙවර ඡන්දයටය. මෙම පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරනු ලැබූවේ ගිය වසරේ ජනවාරි මාසයේදීය. පනතට අනුව නාමයෝජනා බාරගෙන දින පහක් ඇතුළත මැතිවරණ කොමිසම මගින් අපේක්ෂක වියදම් සීමාව තීරණය කරයි. ඒ ඡන්දයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කර ගන්නා අවසන් තීරණයකිනි. පළාත් පාලන මැතිවරණයක නම් ඡන්ද ප්‍රචාරණ කටයුතු ගමේ අපේක්ෂකයාට ගමෙන් ගමට නිවෙසින් නිවෙසට පා ගමනින් ගොස් කළ හැකිය. එහෙත් මැතිවරණ දිස්ත්‍රික් 22 ක් එක් ඡන්ද කොට්ඨාසයක් ලෙස ගණනය කරමින් කරන්නා වූ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරණය ඇතුළු සෑම දෙයටම කළ හැකි වියදම තීරණය කිරීමේදී පැති ගණනාවක් සලකා බැලිය යුතුව ඇත. ඒ වගේම මැතිවරණ වියදම් නියාමන පනත ප්‍රකාරව එහි සඳහන් සුවිශේෂීම කරුණක් වන්නේ ඇතැම් පරිත්‍යාග පිළිගැනීම තහනම් බවයි. රජයේ ආයතනයකින්, විදේශ රාජ්‍යයකින්, ජාත්‍යන්තර සංවිධානයකින්, ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත හෝ ලියාපදිංචි කරනු ලැබූ පුද්ගල මණ්ඩලයකින් මුදල් ලබාගෙන මැතිවරණයට වියදම් කිරීම මෙම පනත මගින් තහනම් කර ඇත. එසේම මෙහි සඳහන් තවත් කරුණක් වනුයේ අනන්‍යතාව හෙළි නොකරන ලද යම් තැනැත්තකුගෙන් මුදල් ලබාගෙන වියදම් කිරීමත් තහනම් කර ඇති අතර මෙවර යම් අපේක්ෂකයකු ඡන්දයට මුදල් යොදවනවා නම් එකී මුදල් ලැබුණු ආකාරය පිළිබඳ විනිවිදභාවයක් පැවතිය යුතු බව එහි සඳහන්ය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 22 ක්, ස්වාධීන අපේක්ෂකයන් 17 ක් සහ වෙනත් පක්ෂයකින් සමන්විත සමස්ත අපේක්ෂකයෝ 40 දෙනෙක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර සිටිති. ඉකුත් 15 වැනිදා 39 දෙනකු නාමයෝජනා භාර දීමෙන් පසු 20 වැනිදාට පෙර මැතිවරණ කොමිෂන් සභාව මගින් අපේක්ෂක වියදම් සීමාව තීරණය කර ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
මෙවර ජනාධිපතිවරණයේ වියදම් සම්බන්ධයෙන් විමසීමට මැතිවරණ කොමිෂන් සභාවේ බලධාරීන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

• සසංක චලන ගිම්හාන