2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

ඡන්දෙට සෙට් වෙන පාතාලෙ...

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:02 226

මැතිවරණ සමය යනු ඕනෑම රටක අවදානම් සහිත ගැටලුකාරී සමයකි. මෙහෙමයි කියා ප්‍රශ්නයක් නැතත් අවදානම 100% කටත් වැඩිය. ඒ වෙනින් කිසිවක් නිසා නොව බලය වෙනුවෙන් ගැටෙන මොහොතක් නිසාය. මේ නිසා බලය ලබාගැනීමට විවිධ කුමන්ත්‍රණ අපරාධ භීෂණ එකී මැතිවරණ සමය තුළ සිදුවිය හැකිය.

මෑත කාලයේ ලෝක දේශපාලනයේ මැතිවරණයක් තුළ සිදුවූ ඉතාම බරපතළ සිදුවීම වූයේ ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හට එල්ල කළ ස්නයිපර් ප්‍රහාරයයි. කුඩා තරුණයකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස එය දැනුම් දුන්නත් ආරක්ෂක අංශය එල්ල කරන ලද ප්‍රහාර හමුවේ එම තරුණයා මිය ගියේය. ආරක්ෂක අංශ සඳහන් කළේ එය හුදෙකලා සිදුවීමක් බවයි. එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැක කළත් අවසානයේ එය හුදෙකලා සිදුවීමක් බවට පත්විය. මෙවැනි සිදුවීම් සිදුවූ පසුව ලෝකයේ සාමාන්‍ය ක්‍රමය වන්නේ ඒවා ප්‍රවණතාවයක් ලෙස පැතිර යාමයි. ඒ නිසා ලෝකයේ වෙනත් තැනක මැතිවරණයක් පැවැත්වෙන විට එකී රටේ ආරක්ෂක අංශ ඒ රටේ ආරක්ෂක තත්ත්වයත් ලෝක ප්‍රවණතාවයත් සැලකිල්ලට ගෙන ආරක්ෂක කටයුතු සකසනු ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සටන ආරම්භ කර තිබේ. පසුගියදා පුවත් මගින් කියැවුණේ ස්නයිපර් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර ඇතිවිය හැකිද? අපේක්ෂකයන්ට යම් අනතුරක් ඇතිවේද? යන්න පොලිසිය මගින් සොයා බලන බවයි. කෙසේ වෙතත් එවැනි අනතුරක අවදානමක් මේ රට තුළ ඇතිවීමේ අවදානමක් නැතැයි කීමට බැරිය. ඊට හේතු කාරණා දෙකක් ඇත. එනම් එක් පැත්තකින් 2019 වසරේ අප්‍රේල් 21 දා මුස්ලිම් අන්තවාදීන් විසින් හදිසියේ එල්ල කරන ලද ප්‍රහාරයයි. ඒ හේතුවෙන් අන්තවාදී කණ්ඩායම්වල ප්‍රහාර එල්ල වේද යන සැකය තිබීමයි. අනෙක් පැත්තෙන් ඇති ලොකුම අවදානම වන්නේ කුලියට මිනී මරණ පාතාලයයි. පසුගිය කාලය පුරාම තැන් තැන්වල සිදුවූ පාතාල මිනීමැරුම් නිසා අපේක්ෂකයන්ට එරෙහි එවැනි අනතුරු සිදුවෙන්නට ඇති අවදානම තවත් පැත්තකින් බලපෑම් එල්ල කර තිබේ.

ඉහත කී අවදානම් දෙකෙන් ලොකුවටම බලපාන්නේ දෙවැනි අනතුර හෙවත් පාතාලයේ ගැටුම්ය. එම අවදානම වඩාත් බරපතළ වන්නේ අද වනවිට පාතාලය සතුව නවීන ආයුධ රැසක් පැවතීම හේතුවෙනි. ඔවුන් සතුව එවැනි ආයුධ ඇත්තේ මෙරටට එන කිලෝ ගණනක කුඩු හරහා ලැබෙන මුදලිනි. මෙකී ආයුධ පැමිණෙන්නේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හරහාය. එලෙස පැමිණෙන අවි අතර බ්‍රවුනින්, මි.මි, ටී 56, ඒ.කේ. 47, උෂි වැනි ආයුධ බොහෝ විට ලැබේ. ඒ නිසා එවැනි ආයුධ අතර ස්න‍යිපර් වැනි ආයුධ එන්න බැරියක් නැත. කෙසේ වෙතත් එලෙස ආයුධ ලැබුණත් අපේක්ෂකයන්ට ඉන් අවදානම එල්ල විය හැකි ආකාර දෙකක් ඇත. එකක් ඍජුව තර්ජනය එල්ල වීමය. දෙක සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර යම් ගැටුමක් ඇති වුවහොත් තුන්වැනි පාර්ශ්ව‍යක් ලෙස දේශපාලන නායකයකු, රැස්වීමක් තර්ජනයට ලක්වීමට ඉඩ තිබීමයි. ඊට හොඳම උදාහරණය වන්නේ 2015 මහ මැතිවරණය අවස්ථාවේ බ්ලුමැන්ඩල්වල පැවැති දේශපාලන රැලියකට පාතාලය විසින් ප්‍රහාර එල්ල කිරීමයි. එනම් එම රැලියේ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් යන අය සිටින බවට විරුද්ධ කල්ලියක් වූ දෙමටගොඩ චමින්දලාගේ කල්ලියට තොරතුරු ලැබීමත් සමඟ වෙඩි ප්‍රහාරයක් එල්ල විය. අවසානයේ පාතාලයන් බේරුණු අතර අහිංසක මිනිස්සු දෙදෙනකු ජීවිතයෙන් වන්දි ගෙවූහ.

කෙසේ වෙතත් ඡන්දය කිට්ටු වන විට අපේක්ෂකයන් සමීපයට විවිධ පාතාලයෝ, අපරාධකරුවෝ ඉබේම ළං වෙති. සමහරු බලෙන් හ‍රි ළං කර ගනිති. ඒ නීතියෙන් පිට වැඩ කර ගැනීමටය. පෝස්ටර් ගැසීමට, පෝස්ටර් ගසන උන්ගේ අතපය කැපීමට, ඔළු පැලීමට, වෙඩි තැබීමට, තර්ජනය කිරීමට නීතියෙන් නොහැකි නිසා අනීතියෙන් වැඩ කිරීමට ඇතැමුන්ට පාතාලයන්ගේ සහය අනිවාර්යෙන්ම අවශ්‍ය වන මොහොතකි.

විශේෂයෙන් අද වනවිට පාතාලයේ මැර තර්ජනවලටත් වඩා බොහොමයක් අපේක්ෂකයන් සඳහා පාතාලයන් එක්වන්නේ මූල්‍ය අනුග්‍රහය දැක්වීම සඳහාය. එනම් පෝස්ටර් ගැසීම, රැස්වීම් තැබීම, කෑමට බීමට පවා ඇතැම් අවස්ථාවල විදෙස්ගතව සිටින පාතාලයෝ මැදිහත් වෙති. මේ නිසා පාතාලයන් සමඟ මේ දවස්වල එවැනි ගනුදෙනු සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය. ඊට හොඳම උදාහරණය වන්නේ වෙලේ සුදා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වූ කොළඹ හිටපු මන්ත්‍රීවරයකුට සිය මැතිවරණය සඳහා ලක්ෂ ගණනින් මුදල් ලබාදුන් බවට වූ තොරතුරයි. පසුව රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී ඒ බව තහවුරු කර ගැනීමට හැකි විය. ඒ නිසා ලංකාවේ පාතාලයත් දේශපාලනයත් එක අත්තක ගෙඩි මෙන්ය. කෙසේ වෙතත් ඉදිරියේ දී ක්‍රියාත්මක වන කුඩු පාතාලය විසින් ඔවුන්ගේ මාෆියාව රැකගැනීම සඳහා මෙරට දේශපාලනයට ඇතුළත් වීමේ ඉඩකඩ පවතී. ඒ ඔවුන්ගේ කළු සල්ලි සුදු කරන්නටය. දැනටත් ඉන්දියානු සිනමාවේ දැවැන්ත නිෂ්පාදකයන් කිහිප දෙනකුම කුඩු ජාවරම්කරුවන්ය. ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැත. එනම් සිනමා කර්මාන්තයක් නැති නිසා මුදල් ආයෝජනය කළ හැකි හොඳම කර්මාන්තය වන්නේ දේශපාලනයයි. 

ඒ නිසා ඉදිරියේ දී කුඩු මාෆියාව දේශපාලනයට එක්විය හැකිය. දැනට ඒවා සිදුවෙමින් පවතී. දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රබල කුඩු ජාවරම්කරුවකුගේ පුත්‍රයකු ප්‍රබල පක්ෂයක සංවිධායකයෙකි. එලෙස දැන් පාතාලය ඒ වැඩේට ද අත ගසා ඇත. එදා පාතාලය දේශපාලනඥයන්ගේ උකුලේ නැලවුණත් අද පාතාලය විසින් දේශපාලනඥයන් අල්ලේ නටවමින් සිටියි. කුඩ්ඩන්ගේ උකුලේ ඉන්නේ දේශපාලනඥයන්ය. මෙවර ඡන්දය ඉතාම තීරණාත්මක ඡන්දයක් වන්නේ මේ හේතුවෙනි. ඒ වෙනින් දෙයක් නිසා නොව මේ රට කුඩු මාෆියාවේ ගොදුරක් වීමට ඉඩ තිබීමය. එය නැවැත්වීමට පාතාලය, කුඩු, නයාට අඳුකොළ සේ දකින නායකයෙක් පත්විය යුතුය. එසේ නැති වුවහොත් සිදුවන්නේ විශාල විනාශයකි.

• ගයාන් ගාල්ලගේ

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:02