ජනාධිපතිවරණයට අපේක්ෂකයන් විශාල පිරිසක් ඉදිරිපත් වීම තුළින් ඔවුන් සඳහා රජයට අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර ඒ සඳහා වැය වන්නේ බදු ගෙවන ජනතාවගේ මුදල් යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා මහත්මිය දේශයට ප්‍රකාශ කළාය.
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනකු ඇප තැන්පත් කර තිබිණි. පිළිගත් දේශපාලන පක්ෂ 22ක් වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයන් 17 දෙනෙක් ඒ අතර වෙති. ඒ නාම යෝජනා ඉදිරිපත් කළේ අපේක්ෂයන් 39 දෙනෙක් පමණි.
මේ පිරිස අතුරින් ඇතැම් පිරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ අවංක චේතනාවකින් නම් එවැනි පිරිවැයක් දැරීම ගැටලුවක් නොවන නමුදු බොහෝ විට සිදුවන්නේ පෞද්ගලික අවශ්‍යතා මත ඒ සඳහා ඉදිරිපත් වීමය. ප්‍රධාන අපේක්ෂකයන් හැර මැතිවරණයට ඉදිරිපත්වන බොහෝ අපේක්ෂකයන් තමන්ගේ ඇප මුදල් අහිමි වන බැව් දැන දැනත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ බොහෝ විට වෙනත් අපේක්ෂකයකුගේ ඡන්ද කඩා දැමීමේ අරමුණ ඇතිව විය හැකි යැයි ද, ඔවුන්ගේ අරමුණ කුමක් වුවද ඉන් සමාජයට දැඩි බලපෑමක් සිදුවන්නේ යැයි ද සඳහන් කළ ඇය ඇතැම් අපේක්ෂකයන් ජයග්‍රහණය නොකරන බව දන්නා නමුදු කිසියම් ප්‍රතිපත්තියක් මත සෑම මැතිවරණයකටම ඉදිරිපත් වන බවද සඳහන් කළාය.
අපේක්ෂක ප්‍රමාණ අධික වීම මත මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලදී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද අසීරුතාවට පත්වන අතර සියලු අපේක්ෂකයන්හට සාධාරණ ලෙස කටයුතු කිරීමේ ගැටලු පැන නගින බවද ඇය පෙන්වා දෙයි.
මානව හිමිකම් නීතිරීති යටතේ මෙලෙස අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා මැතිවරණ කොමිසමට හෝ බලයක් නොමැති නමුදු ඒ සඳහා කිසියම් නීතිමය ප්රතිපාදනයක් ක්‍රියාත්මක වීම වැදගත් බව ද නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක වන තෙක් ගත හැකි එක් පියවරක් ලෙස අපේක්ෂකයන් සඳහා වන ඇප මුදල වැඩි කළ යුතු යැයි ද ඉදිරියේ දී සිදු කෙරෙන මැතිවරණ ප්‍රතිසංස්කරණ යටතේ ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධයෙන් ද කිසියම් ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා