2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

නැති තහනමකින් බැටකන ප්‍රසංග වේදිකාව

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:04 199

ජනාධිපතිවරණයක උණුසුම දැනෙන්න පටන්ගෙන ඇති කාලවකවානුවක හදිසියේම ශ්‍රී ලංකා එළිමහන් ප්‍රාසංගික කලාකරුවන්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවීය. එයට හේතු වූයේ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ගෙන ඇති බව කියන තීරණයක් සම්බන්ධයෙනි.

මැතිවරණ සමයේ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට පොලිසිය අවසර නොදීමෙන් උත්සව සහ ප්‍රසංග සංවිධායකයන් තුන්දහසකට වැඩි පිරිසක් සහ මෙම කර්මාන්තයෙන් දිවි සරිකර ගන්නා සංගීත ශිල්පීන්, ගායක ගායිකාවන්, ශබ්ද පරිපාලකයන්, වේදිකා නිර්මාණකරුවන් ඇතුළු බොහෝ පිරිසක් මේ වනවිට දැඩි අපහසුතාවට පත් වී සිටින බවට ඔවුහු චෝදනා කළහ.  

මෙහිදී අදහස් දැක්වූ සංගමයේ මාධ්‍ය ලේකම් සිදේෂ් රංගන විජේවීර මහතා පැවසූයේ තම කණ්ඩායම රට පුරා ප්‍රසංග සහ සැණකෙළි සංවිධානය කරන්නේ රජයට ලක්ෂ ගණනින් විනෝද බදු ගෙවමින් බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායක හා සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් දිමුතු චාමර මහතාගෙන් අපි විමසුවෙමු. ඔහු මෙසේ අදහස් දැක්වීය.

“ප්‍රසංග සංවිධායකයන්, සංගීත කණ්ඩායම්, වේදිකා වට ආවරණ ශිල්පීන්, පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සහ කලාකරුවන් යන පිරිස් මේ ක්ෂේත්‍රයේ ඍජු දායකත්වය දක්වනවා. එක ප්‍රසංගයක දී ප්‍රධාන දායකත්වය සපයන පිරිස 150 ක් පමණ සිටිනවා. බහුදින සැණකෙළියක නම් විනෝද ක්‍රීඩා උපකරණ තියෙනවා. ඒ සමගින් ඒ ඒ එක් එක් උපකරණ ක්‍රියා කරවන්නන් සිටිනවා. මේ සැණකෙළියක ටොෆි, චොක්ලට්, අයිස්ක්‍රීම්, සාරවිට විකුණන වෙළෙන්දාගේ පටන් බොහෝ දෙනෙක් මේ අවස්ථාවක සම්බන්ධ වෙනවා. මේ හැමෝම එදා වේල සරිකර ගන්නේ මේකෙන්. මේ සියලු දෙනාගේ සහායෙන් තමයි මේක සංවිධානය වෙන්නේ. කල්තියා සැලසුම් කරගෙන වැඩේට කලින් සියලු මුදල් ලබාගන්නා කණ්ඩායම් සුළුතරයකට මේකෙන් ලොකු බලපෑමක් නැතිවෙන්න පුළුවන්. ඒත් සංවිධායකවරුන් විදිහට අපි මේක දිගටම සංවිධානය කරන්න එපැයි. මේ හැමෝටම තමන්ගේ සෙල්ලම් ටික කරන්න අවශ්‍ය පිට්ටනිය හදා දෙන්න ඕනෑ අපි‍. සාමාන්‍යයෙන් අපි ප්‍රසංගයක් සැලසුම් කරන්නේ මාස දෙකක් තුනක් විතර ඉඳලා. එහෙම කරන වැඩකට එකවරම අවසර නොදීමෙන් මේ වෙද්දී දැන්වීම් ප්‍රචාරණය කරල සේරම ඉවරයි. එතකොට අපේ සම්පූර්ණ වැඩපිළිවෙළ අඩාල වෙනවා‍. ගැටලු ගොඩක් මතු වෙනවා. මේකෙ වැඩිම බලපෑමක් තියෙන්නේ, ඒ කියන්නේ මේක වැඩියෙන්ම දැනෙන්නේ සම්පත්දායකයන්ට වඩා සංවිධායකවරුන්ටයි.”

නුදුරේ එන ජනාධිපතිවරණය හේතුවෙන් ප්‍රසංගවලට ආරක්ෂාව සහ අවසර ඉල්ලා සිටින අවස්ථාවලදී අවසර ලබාදීමට නොහැකි බව පවසා පොලිසියෙන් අවසර නොදීමෙන් තමන් ඇතුළු ඍජු සහ වක්‍ර කර්මාන්තකරුවන් දාහකට වැඩි පිරිසක් මේ වනවිට දැඩි අසීරුතාවට පත්ව සිටින බව සංවිධායකවරුන්ගේ සංගමය පවසයි. මෙකී තත්ත්වය අසාධාරණයක් බවත් දිමුතු චාමර මහතා වැඩිදුරටත් පැවසීය.

“අපි සාමාන්‍යයෙන් ප්‍රසංගයකට හෝ සැණකෙළියකට පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලන්නේ මුදල් ගෙවලයි. උප පොලිස් පරීක්ෂකවරයකුගෙන් පහළ නිලයකට රුපියල් 1000 ක්ද, උප පොලිස් පරීක්ෂකවරයකුගේ සිට ඉහළ නිලයකට රුපියල් 1500 ක මුදලක් ද අපි ගෙවනවා. ඒ ගෙවීම මත තමයි ලැබෙන නිලධාරී ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ අවස්ථාවේ අපි ඔවුන්ගේ කෑම ඇතුළු සුබසාධන වියදම් ද දරනවා. ඔවුන්ගේ ආරක්ෂක රාජකාරියට අපි මුදල් ගෙවා ලබාගන්නේ මේ වැඩේ විශේෂ අවධානයකින් කෙරෙන්න ඕනෑ නිසා. ඒත් එහෙම කරද්දිත් එයාලා නීති දාලා අපිව ප්‍රතික්ෂේප කරනවා. අපි පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලන්නේ ලිඛිතව. එහෙත් පොලිසිය අපිට ආරක්ෂාව දෙන්න බෑ කියලා ලිඛිතව දෙන්නේ නෑ‍. ඔවුන් කියන්නේ මේ හේතුව නිසා දෙන්න බෑ කියලා. පොලිසියෙන් කියන්නේ මැතිවරණ නීතිරීති අනුව අවසර දෙන්න බෑ කියලයි. එහෙත් ඔවුන් ඒක අපට ලිඛිතව දෙන්නේ නෑ. මේ වෙද්දී ප්‍රසංග 50 කට වඩා අවලංගු වෙලා තියෙනවා. ඒත් ඒ කිසිම එකකට ලිඛිතව දීලා නෑ‍. අපි මේ ගැටලුව සම්බන්ධයෙන් අපි අපේ ගැටලුව ලිඛිතව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තියෙනවා. අපට මේ ගැටලුව ජනපති සමඟ සාකච්ඡා කරන්න එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා අවස්ථාවක් හදලා දෙන්නම් කියල තියෙනවා. ඒ හැර මේ වෙනකල් අපිට වෙන කිසිම ප්‍රතිචාරයක් ලැබී නෑ.”

ප්‍රසංග සංවිධායකවරුන් හැටියට ඔවුන් සිය රාජකාරි ජීවිතයේ දී මුහුණ දෙන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ද දිමුතු චාමර මහතා මෙසේ හෙළිදරව් කළේය.

“ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායක හා සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ අපි සංගමයක් හැටියට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළේ මේ අවුරුද්දේ. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පනතට අනුව ප්‍රසංග සංවිධායක කියන ගොනුව යටතේ ලියාපදිංචි කරන්න බෑ. නර්තන, ගායක, වාදක මේ ඕනෑම කණ්ඩායමක් ලියාපදිංචි කරන්න පුළුවන්. ඒත් මේ මූලිකම වැඩේ කරන සංවිධායකවරුන් කලා ගොනුව යටතේ ලියාපදිංචි කරන්න බෑලු. ඇමැති විදුර වික්‍රමනායක සමඟ අපි මේ ගැන සාකච්ඡා වට කිහිපයක්ම කළා.”

මෙහි ඇත්තේ දිවයින පුරා බලපාන ප්‍රසංග තහනමක්ද? එසේත් නැතිනම් ශබ්ද විකාශන බලපත්‍ර දීමේදී කොන්‌දේසි පැනවීමක්ද? එසේත් නැතිනම් සමහර ප්‍රදේශවලට පමණක් සීමා වූ ගැටලුවක්ද? එළිමහන් ප්‍රසංගවලට සහ කානිවල්වලට පොලිසියෙන් අවසර නොදෙන බව කියන ගැටලුවේ සත්‍ය අසත්‍යතාව දැනගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) අසංක කරවිට මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ඒ මහතා මෙසේ පැවසුවේය.

“මැතිවරණ හේතුවෙන් ප්‍රසංගවලට අවසර දීම පොලිසියෙන් ප්‍රතික්ෂේප කිරීමක් කිසිම අවස්ථාවක සිදුවන්නේ නෑ. එහෙත් ප්‍රසංගවලට පොලිසිවලින් ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමේදී නියමිත කොන්දේසිවලට යටත්ව තමයි අවසර ලබා දෙන්න අපට හැකියාව තියෙන්නේ. මෙයට අමතරව ඡන්ද රැස්වීම්වලට සමගාමීව ඒ ආශ්‍රිතව එම අවස්ථාවේම ප්‍රසංග පැවැත්වෙනවා නම් ඒවාට ශබ්ද විකාශන බලපත්‍ර දීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු විසඳාගන්න වෙනවා. මේ වනවිට අවම නිලධාරී පිරිසකින් ශ්‍රී ලංකා පොලිසිය උපරිම සේවාවක් කරමින් සිටින වටපිටාවක ප්‍රසංගවලට ආරක්ෂක නිලධාරීන් යොදවද්දීත් ඇතැම් ප්‍රදේශවල යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති අවස්ථාවක ඒ ඒ ප්‍රදේශයේ කොට්ඨාස බාර නිලධාරීවරයා මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගන්න එකී සංවිධායකවරුන්ට හැකියාව තියෙනවා. කෙසේ වුවත් යම් ගමක නගරයක උපහාර උළෙලක් ආදී විශේෂිත අවස්ථාවක් සංවිධානය කරන අවස්ථාවක දී පොලිසියෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන්න අපි උපරිම උත්සාහ දරනවා.”

• සසංක චලන ගිම්හාන

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:02