මහනුවර සිට කි.මී. 48ක් දුරින් පිහිටි උඩදුම්බර නගරයේ සිට කළුගල පාරේ තවත් කි.මී. 3ක් ගමන් කළ විට තලගුණේ ගම්මානය හමුවේ. දුම්බර කඳුවැටියේ සානුවක පිහිටි තලගුණේ වෙත උඩදුම්බර සිට බස් රථයකින් හෝ මෝටර් රථයකින් ගමන් කළ හැකි වේ. මාර්ගය කාපට් දමා සකසා තිබේ. කඳුවැටිවලින් සීමා වුණු ගම්මානය හෙල්මළු කුඹුරු, එළවළු වගාබිම්වලින් යුක්තය. පුරාණ බෙදීම් අනුව එය අයත් වන්නේ ගන්දෙකේ කෝරළයටයි. ඈතින් පිහිටා ඇත්තේ තලගුණේ පුරාණ විහාරයයි. නුදුරින් කන්දකින් ගලා හැලෙන්නේ තලගුණේ දියඇල්ලයි. අලකොළගොල්ල, දුඹුලේමඩ, ඇල්ලෙගල කන්ද, කුරුමුදුවාගල කන්ද ගම වට කර පිහිටියේය.
මේ ගම උඩරට රාජධානි යුගයේ සිටම රජ වාසලට දුම්බර රටා රෙදිපිළි සපයන ගම ලෙස ප්‍රකටය. අදත් මෙහි පවුල් 10කට අයත් 35 දෙනෙක් පමණ අත්යන්ත්‍ර භාවිතයෙන් පාරම්පරික රටා යොදා අලංකාර දුම්බර රෙදි වියති. දේශීය මෙන්ම විදේශිකයන් අතර ද දුම්බර අත්කම් ජනප්‍රියය. පහළොස්වැනි සහ දහනවවැනි සියවස අතර කාල පරිච්ඡේදය තුළ උඩරට රජු සහ පාලක ප්‍රභූවරුන් වෙනුවෙන් තමන් ඉටු කළ යුතු අනිවාර්ය සේවයේ අංගයක් වශයෙන් රජ මාලිගය වෙත පාරම්පරික වශයෙන් සපයන ලද මෙම විසිතුරු රෙදිපිළි සහ පැදුරු අදත් එදා මෙන්ම කාගෙත් සිත්ගන්නා අංගයකි.
මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල දුම්බර නිම්න ප්‍රදේශයට ආවේණික සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙසයි දුම්බර රටා සැලකෙන්නේ. මේ රටාවලින් සරසා වියන දුම්බර පැදුරු සහ අත්කම් ඉතා අලංකාර නිමැවුම් බවට පත්ව තිබේ. අනාදිමත් කාලයක සිට සම්ප්‍රදායික ක්‍රමවලට අනුව දුම්බර රටා වියන මේ කර්මාන්තය අස්පර්ශනීය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක් සංස්කෘතික අමාත්‍යංශය යුනෙස්කෝ සංවිධානයට 2021 දී ඉදිරිපත් කළ අතර එය සලකා බැලීමෙන් පසු 2022 දී එම උරුමය අස්පර්ශනීය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කෙරිණි. එය එසේ යුනෙස්කෝ ලෝක ලේඛනයට ඇතුළත් වූ ශ‍්‍රී ලංකාවේ දෙවැනි උරුමයයි. 2018 වර්ෂයේ දී අම්බලන්ගොඩ නූල් රූකඩ කලාව ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ පළමු අස්පර්ශනීය උරුමය ලෙස පිළිගැනීමට ලක්විය.

උඩදුම්බර තලගුණේ ගම්මානය ආශ්‍රිතව දුම්බර රටා නිර්මාණ ෙකරෙන්නේ කපුනුල්වලිනි. වර්තමානයේ මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලාසිරි ග්‍රාමයේ පවුල් 120ක් පමණ ගෘහ කර්මාන්තයක් වශයෙන් හණවලින් නිපදවන දුම්බර පැදුරු කර්මාන්තයෙහි නිරතව සිටිති. මාතලේ පල්ලෙසිය පත්තුවේ මල්හෑව ගම ද පාරම්පරික දුම්බර පැදුරුවලට ප්‍රකට ගම්මානයකි. ඒ ගමේ වාසය කරන්නේ කුරුමුදලි පරපුරින් පැවත එන කින්නර පවුල් බව පැවසේ.
අපි දුම්බර රටා දැකබලා ගැනීමට ගියේ තලගුණේ සමන් ධර්මසිරි යාපාගේ සොයාගෙනය. ඔහු දුම්බර රටා රෙදිපිළිවලට වැඩිම රාජ්‍ය සම්මාන දිනාගත් නිර්මාණකරුවාය. ඔහුගේ වැඩිමල් සොයුරු චන්දන යාපාගේ ද මේ රෙදි නිෂ්පාදනයට නමක් ගත් නිර්මාණ ශිල්පියෙකි. මේ කර්මාන්තය බාහිර ආයතනයක ප්‍රගුණ කිරීමකින් තොරව පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූවකි. මේ නිසා කර්මාන්තය දන්නා වැඩිහිටියන් අහිමි වූ විට මෙවැනි කර්මාන්තත් ලෝකයටම අහිමි වන ප්‍රවණතාවයක් දක්නට ලැබේ. නූතන පරම්පරා වෙනත් රැකියාවලට යාම නිසා ක්‍රමයෙන් දුම්බර රටා කර්මාන්තයේ යෙදෙන සංඛ්‍යාව අඩුවීම සිදුව ඇති බවයි අපට අසන්නට ලැබුණේ. ඉතා සරල අතින් ක්‍රියා කරන උපකරණ කිහිපයකින් තමයි මේ කර්මාන්තය සිදුවන්නේ. සමන්ගේ ගෙදර ඉස්තෝප්පුවේ රෙදි වියන අත්යන්ත්‍රය දැකගත හැකි විය. එහි අඩක් නිමා කළ මෝස්තරයකි. එය පසෙක විවිධ වර්ණයේ නූල් පන්දු සහිත බඳුනකි.
“අවුරුදු කිහිපයකට පෙර 60ක පමණ පිරිසක් රෙදි කර්මාන්තයට දායක වුණා. කොවිඩ් කාලෙදි අත්කම් රෙදිවලට ඉල්ලුම අඩුවෙලා අපට ආදායමක් නැතිව ගියා. මේ නිසා කර්මාන්තය කළ සමහරු වෙනත් රැකියා සොයාගෙන ගියා. අද වනවිට යළිත් දුම්බර රෙදිවලට ඉල්ලුම තරමක් හොඳ තත්ත්වයක් තිබෙනවා. දැන් 40ක පමණ පිරිසක් රෙදි වියනවා. එක මෝස්තරයක් විවීමට දවස් දෙක තුනක් ගත වෙනවා. ලැබෙන මහන්සියට අනුව ලැබෙන ආදායම ප්‍රමාණවත් නැති නිසා අලුත් පරම්පරාවේ මේ කර්මාන්තයට උනන්දුව අඩුයි. අපි බිත්ති සැරසිලි, කුෂන් කවර, බෑග්, ටේබල් මැට්, ටේබල් රනර්, බෙඩ් රනර් වගේ දේවල් වියනවා. මෝස්තරය සංකීර්ණ වුණොත් ගතවන කාලය වැඩියි. අතින්ම නූල් දමමින් වියන නිසා.” සමන් ධර්මසිරි පවසා සිටියේය. ඔහුගේ නිවසේ කැබිනට්ටුව මත හිමිවූ සම්මාන තොගයකි. 2006 අවුරුද්දෙන් පසු එක් වසරක හැර අනෙක් හැම වසරකම ඔහුට ජාතික ශිල්ප කලා සම්මාන, ලක්සල ස්වර්ණ සම්මාන, ජාතික පෙහෙකම් සම්මාන හිමි වී තිබේ. “2017 දී මම ජාතික ශිල්ප සම්මාන උළෙලට දුම්බර රටා දාපු මුල් ඇඳුම් කට්ටලයක් ඉදිරිපත් කළා. තොප්පිය, පාවහන්, බඳපටිය, හැට්ටට, මන්තය, කවණිය, අඳින රෙද්ද ආදී සියලුම අංග සහිතව. ඒකට උත්සවේ දුම්බර රටා අංශයේ ඉහළම සම්මානය හිමිවුණා.” ඔහු වැඩිදුරටත් කීවේය.
මේ නිර්මාණවලට යොදාගන්නේ දුම්බර ප්‍රදේශයටම සීමාවුණු පාරම්පරික රටා වර්ගයි. බෝපත, කුරුල්ලා, අලියා, පනාව, දියරැල්ල, තනිදැත්ත, නෙළුම් මල, ඉද්ද මල, පනම් පෙත්ත, තනිපට ලණුව, දෙපට ලණුව, ලණු ගැටය, අටපෙති මල, ලණු ගැටේ, ලණුගැට කැරැල්ල, ගෙඩි මල, කිරිබත් කැටේ, ගල්බිංදුව, උඩැක්කි ලණුව, තොරන් පෙත්ත, පොල්මල් රටාව ඒ අතුරින් ප්‍රධානයි.
මේ රටා විවිධ ආකාරයට මිශ්‍ර කරමින් නිර්මාණවලට යොදාගැනීම සිදුවේ. ඒ වගේම මේ රටා යොදාගෙන නව නිර්මාණ කරන අවස්ථාත් දැකගත හැකියි. සමන්ගේ මුල් ඇඳුම් කට්ටලයට අමතරව ඔහු කුෂන් පුටුවක් ද නව නිර්මාණ භාවිතයෙන් නිර්මාණය කර තිබෙනු අපට දැකගත හැකි විය.
ආනන්ද කුමාරස්වාමි ලියූ මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ දුම්බර රෙදිපිළි ගැන මෙන්ම කලාල ගැනත් සඳහන් වේ. ඔහු එහි තලගුණේ ගම්මානයේ සිංහල පේෂකාරයන් ගැන ලියා තිබේ. ඔවුන්ගේ සේයාරූ ද එහි ඇතුළත් ය. දකුණු ඉන්දියාවෙන් ලංකාවට සැපත් ද්‍රවිඩ පේෂකාරයන්ගෙන් මේ පිරිස වෙනස් බව ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
තලගුණේ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයට හැරෙන තැන සිට මඳ දුරක් යන විට දිගේ පියමං කළ විට මේ පෙහෙකරුවන්ගේ නිවාස හමුවෙයි. ආනන්ද කුමාරස්වාමි මෙම ස්ථානයට පැමිණි විට හමුවූ ගම්මානයේ ප්‍රකට පේෂකාර කාන්තාවක් වූයේ ටිකිරාති ය. ඇයගේ පින්තූරයක් මධ්‍ය කාලීන සිංහල කලා පොතේ දැකගත හැකිය. ටිකිරාතිගේ පරම්පරාවේ පිරිමි දරුවකු වූයේ රාජපක්ෂ පංචනාදයාලෑ යක්දෙස්සලාගේ ගෙදර සිල්පා ය. ඔහු 1921 සිට 1941 දක්වා මේ රෙදි නිර්මාණය කළ අතර ඔහුගේ පුත් උක්කුවා 1972 දක්වා එහි නිරතව සිටියේය. ඉන්පසු මේ ශිල්පය අතට ගත්තේ රන්කිරා ය. ඔහු අසූව දශකය දක්වාත් මේ ශිල්පය රැගෙන පැමිණියේය. ඉන්පසු ඔහුගේ පුත් අශෝක පද්මසිරි ඇතුළු පිරිසක් මෙහි නිරතව සිටියහ. වර්තමානයේ එහි නිරත වී දුම්බර රටා ප්‍රචලිත කිරීමට කාලය කැප කරන්නේ චන්දන යාපාගේ සහ සමන් යාපාගේ ඇතුළු පිරිසකි.
ආනන්ද කුමාරස්වාමි එවකට මහනුවර උඩරට කලා සංගමය පිහිටුවා මේ පාරම්පරික ශිල්පීන් සමාජයට හඳුන්වා දීමට පියවර ගත් අතර ඉන් අනතුරුව දුම්බර පෙහෙකම් රටාවලින් තම නිවෙස් අලංකාර කර ගැනීමට කැමති ධනවත් සහ මධ්‍යම පන්තික පිරිසක් බිහිවිය. අදත් දුම්බර රටා කොළඹ අත්යන්ත්‍ර රෙදිපිළි විකුණන පෞද්ගලික අලෙවිසල්වල ඉහළ මිල ගණන්වලට අලෙවි වේ. ලක්සල ආයතනය ද ඒවා අලෙවිය සිදු කරයි.

“එදා තලගුණේ කපුවත්තේ ඉඩම්වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පස්සෙ කාලෙක ගින්නකින් කපු වගාව විනාශ වුණා කියල කියනවා. අද රෙදි වියන්නේ කොළඹින් ගෙන්වා ගන්නා සායම් පෙවූ නූල්වලින්. පුරාණ කාලයේ රෙදි විව්වේ පොළොවේ සවි කළ අලුව කියන රෙදි වියන යන්ත්‍රයෙන්. ඒකෙ පොළොවෙන් උඩට තියෙන්නේ හිඳ සිටින කොටස පමණයි. පහළ කොටස පොළොවෙන් යට තියෙන්නේ. අපේ අලුව අපටම ආවේණික යන්ත්‍රයක්. පැරණි අලුවක් උඩරට කලා සංගමයේ තිබෙනවා. අද රෙදි වියන්නේ අත්යන්ත්‍ර රෙදි විවීමේ යන්ත්‍රවලින්. අද රෙදි වියන යන්ත්‍රයේ ෂටල් එකට ඉස්සර කිව්වේ නඩාව කියලයි. වොප් එකට කීවේ නූල හැදය. රීඩ් එක හැඳින්වූයේ පනාව. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි” සමන් යාපාගේ වැඩිදුරටත් අපට පැවසුවේය. ඒ.සී. ලෝරිගේ ගැසටියර් ඔෆ් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් පොතේ සඳහන් වන අයුරින් 1871 දී මෙගම ජනගහනය 570 දෙනෙකි. එකල කුඹුරු ඉඩම් අක්කර 320ක් විය.
පුරාණයේ කපු වගාව ගැන සඳහන් ජන කවියකි මේ:
“මූකලන් කොටා කපු ඇට ඉසින්නේ
දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ
වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ”
ඔවුන් සකසන රෙදි අතර සාරි සහ හැට්ට ද වේ. සාරියත් හැට්ටයට අවශ්‍ය රෙද්දත් විවීම සඳහා දින දෙකහමාරක් පමණ ගත වේ. මෙහි පෙහෙකම් කර්මාන්තයේ නිරත සෑම නිවසකම අත් පෙහෙකම් යන්ත්‍රයක් දැකගත හැකිය. දුම්බර රටාවෙන් හැඩගැසුණු පුරාණ දිය කච්චිය අද ජාතික කෞතුකාගාරයේය. දුම්බර රටා බුලත් මඩිස්සල ද කටුගෙට ගොස් අවසන්ය.
(මාධ්‍යවේදී පාලිත මඩුගල්ලට අපගේ ස්තුතිය හිමිවේ)
සටහන සේයාරූ: කුසුම්සිරි විජයවර්ධන