2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

වර්ෂාවේ අඩුවක්

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

දින කිහිපයක් පුරා පැවති වැසි තත්ත්වයේ යම් අඩුවීමක් ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

පසුගිය දින කිහිපයක තුළ බස්නාහිර, සබරගමු පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට අධික වර්ෂාපතනයක් පැවති අතර ඒ හේතුවෙන් එම දින කිහිපය තුළදී ජලයෙන් යටවූ ප්‍රදේශවල ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතී. මෙම ජල ගැලීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යට විය. කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට කටයුතු කර තිබිණි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කලවාන, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද රතු නිවේදන නිකුත් කොට තිබිණි.

දිවයින අවට පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට ඇතිවූ වර්ෂාව හා සුළං තත්ත්වයෙන් හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පිටාර ගැලීම හේතුවෙන් පහත්බිම් හා මහා මාර්ග රැසක් ජලයෙන් යට වූ අතර එයින් ගමනාගමනවලට බාධා ඇතිවිය.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ බුලත්සිංහල ප්‍රදේශයෙන් පිටාව ගැලීමත් සමඟ මහමාර්ග කිහිපයක් ජලයෙන් යට විය. මේ අතර මීගහතැන්න ප්‍රදේශයේ එක් පුද්ගලයෙක් පැවති ගංවතුර තත්ත්වයට හසුවී මිය ගියේය.
කොළඹ, ගාල්ල, කෑගල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකය. මෙම අයහපත් කාලගුණක තත්ත්වය හේතුවෙන් කළුතර, පුත්තලම, රත්නපුර ප්‍රදේශවලට අයත් පවුල් 640 ක පුද්ගලයන් 2354 දෙනකු පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද දින කිහිපයක් පුරාවට පැවැති අධික වර්ෂාව හා සුළං තත්ත්වය ඉදිරියේ දී අඩුවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

• දිශානි ජයමාලි කරුණාරත්න