2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

උද්ධමනය ගැන කියන්නෙ ඇත්තද?

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 65

උද්ධමනයට බොහෝ දෙනෙක් බිය වෙති. එයට හේතුව උද්ධමනය ඉහළ යාමට පාදක වන භාණ්ඩ හා සේවා මිල වැඩිවීමෙන් දුක් විඳින්නට සිදුවන නිසාය. ඒ නිසා උද්ධමනය අඩුකර තබා ගැනීමට පියවර ගනිති. උද්ධමනය අඩුකිරීමට ගන්නා උත්සාහය සියයට සියයක්ම සාර්ථක නොවුණද, එයින් යම් පමණකට හෝ පාලනය කිරීමට හැකි වේ. මෙලෙස උද්ධමනය ඔබාගෙන තිබීම ක්ෂණිකව සිදුවන හිරිහැරය යටපත් කිරීමට පුළුවන් වෙයි.

මුලින්ම ඇතිවන්නේ මන්දගාමී උද්ධමනයකි. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නිසා මෙම මන්දගාමී උද්ධමනය සීඅඝ්‍රගාමී උද්ධමනයක් බවට පත් වී අනතුරුව අතිධාවනකාරී උද්ධමනයක් බවට පත්විය හැකිය. සෙමින් සෙමින් ගමන් කරන අශ්වයා ඊළඟට පැන පැන යන තත්ත්වයට පත් වී පාලනයකින් තොරව අතිධාවනකාරී තත්ත්වයට පත් වෙයි. මෙම අශ්වයා මුලදී මෙල්ල නොකළොත් අවසානයේ දී අශ්වාරෝහකයාට ද මාරකයක් බවට පත් වෙයි. උද්ධමනය ක්‍රමයෙන් පාලනය කළහොත් එයින් විපුල ප්‍රයෝජන ලබාගත හැකිය. එහෙත් එසේ නොකළහොත් ප්‍රතිඵල භයානක වනවා ඇත. කෙසේ වුවදව උද්ධමනයට මෙවැනි අනිවාර්ය අනුපිළිවෙළක් නොමැත. එහෙත් අතිධාවන උද්ධමනය ඉතා විරල වන අතර එය පැවතුණේ පසුගිය ලෝක යුද්ධ සමයේ දී යැයි කියයි.

උද්ධමනය මැනීම සඳහා පවතින භාණ්ඩ හා සේවා මිල පිළිබඳ සමීක්ෂණය කරනු ලබන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගිනි. ඒ ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයක් මතය. උද්ධමනය මැනීම සඳහා පාවිච්චි කරන මිල දර්ශක දෙකක් ඇත. ඒවා නම් ජාතික පාරිභෝගික මිල දර්ශනය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මුළු ලංකාවේම වියදම් මනින අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් කොළඹ නගරයේ මිල ගණන් සලකා බැලේ. තෝරාගත් භාණ්ඩ පැසක ඇති භාණ්ඩවල පවතින මිල ගණන් විශ්ලේෂණය කර ඒ අනුව බර තැබීම කෙරේ. කෙසේ වුවද පසුගිය දිනවල පැවැති කොවිඩ් වසංගතය මෙන්ම ආර්ථිකය බිඳවැටීම හේතුවෙන් රටේ ආර්ථිකය සංකෝචනය වී, සැපයුම අඩුව ගොස් භාණ්ඩ මිල ඉහළ නැග එහි ප්‍රතිඵලයක් වශයෙන් උද්ධමනය ඉහළ ගියේය. එහෙත් රට යථා තත්ත්වයට පත්වන විට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පහළ ගොස් ඇත. උද්ධමනය යනු භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ වේගයයි.

එසේ වුවද ඇතැම් අයගේ අදහසක් වන්නේ උද්ධමනය මැනීම සඳහා උපයෝගී කර ගන්නා ක්‍රමවේදය යල් පැනගොස් ඇති නිසා එයින් ආර්ථික තත්ත්වය පිළිබිඹු නොවන බවය. මේ සඳහා උපයෝගි කරගත් භාණ්ඩ හා සේවා මිල 2019 වසරේ දී ලබාගෙන ඇති අතර දැනට අවුරුදු 5 ක් ඉකුත්ව ගොස් තිබියදී තවමත් එම මිල මත උද්ධමනය ගණනය කිරීම නිසා රටේ යථා තත්ත්වය පිළිබිඹු නොවන බව ඔවුන්ගේ මතයයි. ඒ නිසා මෙම සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කර යථා තත්ත්වය නිරූපණය කිරීමට අවශ්‍ය වෙනස්කම් ඉක්මනින් සකස් කළ යුතු වෙයි. එසේ නොවේ නම් වැරදි උද්ධමනයක් මත ගන්නා සියලු තීරණ යථාර්ථයක් නොවනවා ඇත.

උද්ධමන අගයෙන් අපේ රටේ භාණ්ඩ හා සේවා මිල නිරූපණය වන්නේ ද යන්න පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මෙසේ කරුණු දක්වයි.
“ශ්‍රී ලංකාවේ උද්ධමනය මනින ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා නම් ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව රට පුරාම සිටින අය ද, කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ජනතාව ද නියෝජනය වෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2021 සිට 2024 වසරේ ජූලි දක්වා කාලය තුළ දර්ශක සියයට 94.7 කින් වැඩි වී ඇති බව සොයාගෙන තිබෙනවා. මේ අනුව කොළඹ නගරය තුළ අදාළ කාලයේ සාමාන්‍ය භාණ්ඩ හා සේවා මිල 94.7 ක ප්‍රතිශතයකින් වැඩි වී ඇති බව සනාථ වෙනවා. මෙහි විශේෂය වන්නේ ආහාර කාණ්ඩයේ මිල ගණන් සියයට 139.4 කින්ද ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවා මිල ගණන් සියයට 78.8 කින්ද වැඩි වී තිබීමයි. සමස්තයක් වශයෙන් ගත් විට කොළඹ පමණක් නොව මුළු රටේම මිල සලකා බැලිය යුතු වෙනවා.

ඒ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2021 සිට 2024 ජූනි දක්වා කාලය තුළ සියයට 108 ක වර්ධනයක් පෙන්නුම් කරනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට වඩා මුළු රටේම මිල මට්ටම සැලකීම යුතු ප්‍රමාණයකින් වැඩි බව පෙනෙනවා. කොළඹට වඩා පිටිසර පළාත්වල ජීවන වියදම ඉහළ බව මෙයින් සනාථයි. සියයට 94.7 සිට 108 දක්වා අතර වැඩිවීම කොළඹට වඩා පිට පළාත්වල වැඩියෙන් පෙන්නුම් කරනවා. එමෙන්ම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ආහාර උද්ධමනය 132.8 ක ප්‍රතිශතයකින් වැඩි වී තිබෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ පිට පළාත්වල ආහාර නොවන කාණ්ඩයේ හා සේවා උද්ධමනය සෑහෙන ලෙස වැඩි වී ඇති බවයි. මෙය විශේෂයෙන් සැලකිය යුතු තත්ත්වයක් බව කිව යුතුයි.

අපේ රටේ 2022 වනවිට ඉතාම ඉහළ ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගියා. එසේ වුවද මධ්‍යම බැංකුවට යම් පමණකට එම මිල ගණන් පාලනය කිරීමට හැකි වූවා. වර්තමානය වනවිට ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 2.4 ක් සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 2.8 මට්ටමේ පවතින්නේ. බැලූ බැල්මට මෙලෙස උද්ධමන වේගය අඩුවෙලා තිබෙන බව පෙනුණත් මිල මට්ටම එලෙස අඩු වී නැහැ. ඒ තත්ත්වය පාරිභෝගිකයාගේ ඇඟට දැනෙනවා. මෙයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ ඉල්ලුම් සහ සැපයුම් පාර්ශ්වවල තත්ත්වයයි. ලංකාවේ උද්ධමනයට බලපෑවේ සැපයුම් පාර්ශ්වයේ සාධකයි. එයට ‘සැපයුම් කම්පනය’ කියලා කියනවා. විනිමය ශක්තිය පහළ යාම, දේශීය අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, ප්‍රවාහන ගාස්තු වැඩිවීම, ශ්‍රමයට වැඩිපුර ගෙවන්නට සිදුවීම ආදී හේතු නිසා දේශීයව සැපයුම කඩා වැටීම උද්ධමනයට දැඩිව බලපෑ බව කිව යුතුයි. මෙලෙස ඉහළ ගිය මිල ගණන් වහ වහ පහළ යාවි කියලා සිතන්න බැහැ. එහෙත් ඒවා යළිත් ඉහළ නොයාමට පාලනය කිරීමට කටයුතු කරනවා.

මේ තත්ත්වයට බාධකයක් වී ඇත්තේ අපේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ හැසිරීමයි. අපේ රටේ කූඨ ව්‍යාපාරිකයන් මේ තත්ත්වයෙන් අයුතු ලාභ ලැබීමට කටයුතු කරනවා. අද සිදුවන්නේ එයයි. කොහොම හරි ඔවුන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ මට්ටමක තබා ගැනීමට උත්සාහ කරනවා. අනියම් ක්‍රමවලින් තම ලාභ වැඩිකර ගැනීමට පියවර ගන්නවා. ලංකාවේ විනිමය අනුපාතිකය මේ වනවිට අවිනිශ්චිත තත්ත්වයකයි තියෙන්නේ. හෙට සිදුවන දේ අද කියන්න බැහැ. භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමට මෙලෙස සිදුවන විනිමය අවිනිශ්චිතභාවය හේතුව බව කිව යුතුයි. විනිමය අනුපාතිකය රටට වාසි වන ලෙස අඩුවෙලා තියෙන විට භාණ්ඩ විශාල ලෙස ආනයනය කරලා ගබඩා කර තබා ගන්නවා. පසුගිය දිනවල සීනි, ලූනු, අල, පරිප්පු ආදිය අති විශාල ලෙස ආනයනය කළා. ඇතැම් වෙලාවට බදු වැඩි කරන බව දැනගත් විට අවසාන මොහොතේ අඩු බද්දට විශාල ලෙස ද්‍රව්‍ය ආනයනය කර බදු වැඩි කළ පසු ඉහළ මිලට විකුණලා අධික ලාභ ලබනවා. මෙම ප්‍රයෝගයට දේශපාලන අධිකාරිය සහ ඇතැම් නිලධාරින් උදව් කරන බවක් පෙනෙන්නට තියෙනවා. අපේ ව්‍යාපාරිකයන් කිසිදු ලෙසකින් සමාජමය වගකීම ඉටු කරන්නට උනන්දු වන්නේ නැහැ. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව ලාභ උපරිම කර ගැනීමයි. මෙම තත්ත්වය පාලනය කිරීමට රජයට වුවද හැකියාවක් නොමැති බවක් පෙනෙන්නට තිබෙනවා. උද්ධමනය ඉහළ යාමට මෙම විකෘති තත්ත්වය ද බලපානවා. මෙය කෙසේ හෝ වෙනස් කළ යුතු වෙනවා.

අනිත් අතට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උද්ධමනය මැනීමේ ක්‍රමවේදයත් මෙයට බලපානවා. තවමත් උද්ධමනය මැනීමේදී බර තැබීම්වලට පාවිච්චි කරන්නේ 2019 වසරේ මිල ගණන්. මෙය අවුරුදු තුනෙන් තුනට වෙනස් විය යුතු වුවත් දැන් අවුරුදු පහකුත් පසුවෙලා පරණ මිල ගණන් අනුව උද්ධමනය බලනවා නම් එය යථාර්ථවාදී නැහැ. මේ වනවිට කොතරම් භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිවෙලා තිබෙනවාද? ඒ තත්ත්වය නොසලකා පැරණි භාණ්ඩ මිල ගණන් අනුව උද්ධමනය මනිනවා නම් එය සාර්ථක නැහැ. එය වහා නිවැරදි සත්‍ය තත්ත්වය අනාවරණය කළ යුතුයි. මේ නිසා මෙම මිනුම් අනුව ගන්නා තීරණ යථාර්ථවාදී වෙන්නේ නැහැ. රටේ ආර්ථික තත්ත්වය මෙලෙස සමාලෝචනය කිරීම වැරදියි.

නිවැරදි දත්ත පද්ධති නඩත්තු කිරීම රටේ වගකීමක්. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැනි අංශවල රාජකාරිය එයයි. එයට යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. එහෙත් ඒවා නිරාකරණය කරගෙන යාවත්කාලීන කිරීම රජයේ වගකීමක්. අනිත් අතට කියැවීම් ගන්නා භාණ්ඩ පැසේ අඩංගු විය යුතු භාණ්ඩ පිළිබඳව ද යළිත් සලකා බැලිය යුතු වෙනවා. ඒ මොකද, 2019 සහ ඊට පෙර පාවිච්චි කළ භාණ්ඩවලට වඩා 2024 – 2025 වනවිට පාවිච්චි කරන භාණ්ඩවල සංඛ්‍යාව හා ප්‍රමාණය වෙනස් විය යුතුයි.”

මේ පිළිබඳ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා එන්.ඩබ්ලිව්. දිසානායක මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ මේ දිනවල දෙපාර්තමේන්තුව ආදායම් වියදම් සංගණනයක් කරන අතර, මේ වසර ඇතුළත එය අවසන් කර 2025 දී අලුත් ලේඛනයක් සකස් කරන්නට බලාපොරොත්තු වන බවය. කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය වැනි වළක්වාගත නොහැකි හේතු නිසා 2019 පසු සමීක්ෂණයක් කිරීමට නොහැකි වූ බව පිළිගත් ඇය, 2025 වැඩ කටයුතුවල යෙදීම සඳහා දැන් සිටම නිලධාරින් පුහුණු කරමින් සිටින බවද පැවසුවාය.

“මෙහිදී මෙතෙක් බර තැබීම සඳහා පාවිච්චි කළ භාණ්ඩ පැස වෙනස් වන අතර, අලුත් අවශ්‍යතා සහ පාරිභෝගික රටාව අනුව මෙය වෙනස්කම් සිදු කරනවා. සාමාන්‍යයෙන් වෙනත් රටවල වගේ ජනතාව පාවිච්චි කරන අත්‍යවශ්‍ය දේවල් වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස බත් ආහාරයට ගන්නා අය පාන් හෝ වෙනත් ආහාරයකට යන්නේ නැහැ. ඒ නිසා කල් ගියා යැයි ජනතාවගේ ආහාර රටාව වෙනස් වන්නේ නැහැ. කෙසේ වුවත් 2019 භාණ්ඩ පැස හා මිල ගණන් තවමත් පාවිච්චි කිරීමෙන් නියම ආර්ථික ස්වරූපය පිළිබිඹු නොවන බව පිළිගන්නවා. ඒත් මෙහි විශාල වෙනසක් ඇතිවන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රමවේදය අනුව වසර තුනෙන් තුනට මෙම සමීක්ෂණය කළ මිල ගණන් වෙනස් විය යුතුයි.

කෙසේ වුවත් දැනටමත් අපි පැසේ අඩංගු භාණ්ඩ 485න් 135ක් සෑම සතියකට වරක් සහ තවත් 135ක් සති දෙකකට වරක් සමීක්ෂණයට භාජනය කරනවා. එළවළු, මස්, මාළු වගේ කෙටි කාලයකින් මිල වෙනස් වන දේවල් සතියකට වරක් ද, පාන් බේකරි නිෂ්පාදන, කෙටි කෑම ආදී කෙටි කාලයකට වෙනස් නොවන දේවල් සති දෙකකින් ද ආදී වශයෙන් මිල ගණන් ගන්නවා. අපේ නිලධාරින් කොළඹ නගරයේ ස්ථාන 10 කට වගේම සෑම දිස්ත්‍රික්කයකටම ගොස් ප්‍රායෝගිකව මිල ගණන් ගන්නවා. සතියේ අඟහරුවාදා සහ බදාදා දිනවල රට පුරා ස්ථානවල එකම වෙලාවකට එනම් පෙරවරු 10.30 – 12.00 අතර මිල ගණන් ගන්නවා. ඒ අනුව අපේ දත්ත සංශෝධනය කරන නිසා හැමදාම පරණ මිල ගණන් තිබේ යැයි කියන්න බැහැ. කොහොම වුණත් ලබන වසරේ දී ආහාර වියදම් සමීක්ෂණය පටන්ගෙන මාස කිහිපයක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එවිට සියල්ල නිසි පරිදි විසඳේවි.”

• යසවර්ධන රුද්රිගු