හිමිදිරිය ඇස් අරින අරුණැල්ල පිළිගත්ත තවත් පින්සාර සුබ උදෑසනක මා සිටියේ බෙල්ලන්විල රජමහා විහාර භූමියේය. ළා රන්වන් අරුණැල්ල සුදු වැලි අතුල ඒ බිම සිපගත් උදෑසන දොහොත් මුදුන් දී නමස්කාර පූර්වක භක්ත්‍යාදරයෙන් අප බලා සිටියේ සැදැහැවත් සුවහසක් යතිවරයාණන් වහන්සේලාගේත් බැතිමතුන්ගේත් වන්දනීය නමස්කාරය උදෙසා නිමවන ලද ධාතු මන්දිරය පූජා කෙරෙන පින්කම ඇරඹෙන තෙක්ය.
බෙල්ලන්විල රජමහා විහාර භූමියේ පැවති ධාතු මන්දිරය කඩා ඉවත් කර ඒ ධාතු මන්දිරය තිබූ ස්ථානයේම සුවිසල් අලංකාර විශාල ජනතාවකට එක්වර එක්රැස් විය හැකි ඉඩකඩක් සහිත නව ධාතු මන්දිරය ගොඩනැංවූයේ ලංකාවේ විශාලතම නිට් රෙදි කර්මාන්ත ශාලාව ලෙස ව්‍යාපාරික ලෝකයේ අභිමානවත් ගෞරවාදරයකට පාත්‍ර වූ ඒ.පී.එස්. නිටර්ස් පෞද්ගලික සමාගමේ සභාපතිනි දීපානි සමරසිංහ මහත්මියගේ සිතුවිල්ලක් පෙරදැරිවය. බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා සහ අධීක්ෂණය පෙරදැරිව දීපානි සමරසිංහ මහත්මියගේ සහ ඇගේ බාල පුතණුවන් වූ චතුර සමරසිංහගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ගොඩනැගුණු මෙම විචිත්‍රවත් ධාතු මන්දිරය කෞෂල්‍ය සමරසිංහ අනුස්මරණ ධාතු මන්දිරය නමින් නම් කර තිබුණි. දෙමහල් මැදුරක් සේ ඉතාමත් ප්‍රතාපවත් සහ අලංකාර අයුරින් නිමවා තිබූ මෙම ධාතු මන්දිරය මගේ හිත රැගෙන ගියේ බොහෝ දුරාතීතයේ දවස් වෙතටය.
දීපානි සමරසිංහ මහත්මිය මා හඳුනා ගත්තේ ශ්‍රී ලාංකික නාමය සහ අනන්‍යතාව ව්‍යාපාරික ලෝකයේ ඉහළම තැනක ඔසවා තැබූ රන් මුද්‍රාවක් ලෙසය. ව්‍යවසායකයන් උදෙසා පිරිනැමෙන ඉහළම සම්මාන රැසකින් පිදුම් ලද සම්මානනීය ව්‍යාපාරික සලකුණක් වූ ඇයගේ චරිතයේ මා දුටු සුවිශේෂීම සහ අතිශය ප්‍රසාදනීය ලක්ෂණයක් වූයේ ඇය විසින් ඉටු කරලූ සහ අදටත් ඉටු කරනු ලබන අනුපමේය සමාජ සත්කාර මෙහෙවරයි. බුද්ධ ශාසනය කෙරෙහි ඈ තුළ පවතින දැඩි භක්ත්‍යාදරය නිසාම එදා මෙදා තුර ජනී ජනයාගේ පහන් සංවේගය පුබුදුවාලන්නට මඟ සකස් කරමින් ඈ කළ දානමය කාර්යයන්හි තවත් අග්‍රඵලයක් ලෙස කෞෂල්‍ය සමරසිංහ අනුස්මරණ ධාතු මන්දිරය මම නම් කර තබමි.
සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද ළය ලෙයට දැනෙන දාරක ස්නේහය, පුත්‍ර බන්ධනය මෙතෙකැයි මෙපමණකැයි නිර්වචනය කරන්නේ කෙලෙසකද? සංසාර පාරමිතා සේ පූරණය කරන ලද බැඳීම් සංසාර නවාතැන්හිදී අපට හමුවන වගට සාක්ෂි කොතෙකුත්ය. ඈ තුළ වන මව්වත් ගුණයෙහි සහ පුත්‍ර බැඳීමෙහි මහිමය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැන හඳුනන මම ඇය තම පුතුන් කෙරේ දැක්වූ අප්‍රමාණ පුත්‍ර ස්නේහයේ අනන්ත වටිනාකම ද දැන සිටියෙමි.
එහෙත් සංසාර බැඳීම් යැයි සිතෙන ස්නේහසාර මනරම් බැඳීම් වුව අත්හැරෙන, මඟහැරෙන මොහොතක් සපැමිණේ. එය පෘථුග්ජන හදවතකට කෙතරම් වේදනාත්මක වුවද නියත දහමට අවසඟව යන්නට අප කිසිවකුටවත් නොහැකිය යන්න ලෝක සත්තාවයි. සැබැවින්ම දාර්ශනික අරුතකින් විග්‍රහ කරද්දී මරණය යනු කෙළවරක් පමණි. එය අවසානයක් නොවේ. බෞද්ධ දර්ශනය ප්‍රකාරව නිර්වාණය සාක්ෂාත් කරන තුරු අප පුනර්භවය නම් නැවත නැවත ප්‍රතිසන්ධිය ලබමින් කවර හෝ භවයක උත්පත්තිය ලැබීමේ සත්තාව සහ ධර්මතාව විශ්වාස කරන්නෙමු. මරණය යනු ශරීරය නම් භෞතිකය මරණයට පත්වීම පමණි. එම භෞතිකය ජීවයෙන් තොරවීම පමණි. එහෙත් විඥානය සිරුර හා මරණයට පත් නොවන අතර එය අප විසින් සිදු කරන ලද කර්ම ශක්තින්ට යෝග්‍ය තැනක නැවත ප්‍රතිසන්ධිය ලබයි. එහෙයින් සිරුර මිය යෑම තුළ භෞතිකව සම්මුතික මරණය අප අත්වින්ඳත් මරණය යනු ‘මරණයක්’ නොවන සත්‍ය ද අතිශය ඉසියුම් ලෙස ප්‍රඥා ගෝචර ප්‍රවේශයක සිට අපට විග්‍රහ කරගත හැකිය. වේදනාව වන්නේ මියගිය කිසිදු පුද්ගලයකු ඒ පුද්ගලයාගේ ස්වරූපයෙන්ම නැවත සසර මග දී අපට හමු නොවීමය. එහෙයින්ම අවබෝධයෙන් සත්‍ය පිරිසිඳ ජීවිතය හඳුනාගත් කල සැනසීම නිරන්තරයෙන් අප සතුය.
වයස අවුරුදු තිස් හතරක් තරම් තුරුණු වියේ දී හදිසි අනතුරකට මුහුණ දීමෙන් කෞෂල්‍ය ජීවිතයෙන් සමුගත්තත් කැඩෙන බිඳෙන සංසාර මන්දිරවලින් සපිරි මෙම සංසාර චාරිකාවේ කිසිදු සංසිද්ධියක් යනු අනපේක්ෂිතයක් නොවේ. ජීවිතය යනු භවයෙන් භවය සංසාරය පුරා රැගෙන එන දේවල් භුක්ති විඳිනු ලබන එක් නවාතැන්පොළක් පමණි. ඒ නවාතැනට සපැමිණෙන දිනයක් සේම නික්ම යන දිනයක් ද සනිටුහන්ව තිබේ. කෞෂල්‍ය එකඟ වූයේ කොන්දේසි විරහිත ඒ භව නියමයටයි. ඉතාමත් ක්‍රියාශීලී සහ මානුෂවාදී ගතිගුණවලින් සපිරි අභිමානවත් පෞරුෂයක් සහිත ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ කෞෂල්‍යගේ වියෝව මේ මොහොතේත් ඔහු හා ජීවිතය බෙදාගත් සියල්ලන්ටම වේදනාවක් වග අමුතුවෙන් කිව යුතු නැත.
සංසාරය පුරා තම පුතු මේ සුපුරුදු පුත්‍ර ස්නේහයෙන්ම හමුවේවා, අකල් මරණයක් කිසිදු භවයක තම පුතුට අත්නොවේවා යන පැතුම රක්ත වර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරා බවට පත්කර පොවා හැදූ පුතු වෙනුවෙන් ඒ ආදරණීය අම්මාගේ ප්‍රාර්ථනයයි. මා දන්නා අතීතයේ සිට දීපානි සමරසිංහ මහත්මිය බොහෝ වූ පුණ්‍යවන්ත ක්‍රියාවන් කළ කුසල් මහිමයෙන් ද ඉතාමත් අලංකාර ධාතු මන්දිරයක් ශ්‍රද්ධා පෙරදැරි සිතින් සාදා සසුනට පූජා කළ කුසල් මහිමයෙන් ද ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා!
• සංජීවිකා සමරතුංග