2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 22 ක්, ස්වාධීන අපේක්ෂකයන් 17 ක් සහ වෙනත් පක්ෂයකින් සමන්විත සමස්ත අපේක්ෂකයන් 40 දෙනකු ඇප මුදල් තැන්පත් කළ අතර ඉන් 39 දෙනකු නාමයෝජනා බාර දී තිබේ. ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකාව මෙරට මැතිවරණ ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව බවට පත්වනු ඇති අතර, එහි දිග අඟල් 27.5ක් වනු ඇත.
මැතිවරණවලදී ඇතැම් අපේක්ෂකයන් අසීමිත ලෙස මුදල් වැය කිරීම පසුගිය කාලය පුරාවටම දැකිය හැකි විය. මේ මුදල් ඔවුන් උපයා ගන්නේ කෙසේද? එතරම් මුදලක් වැය කොට ජය ගැනීමෙන් පසු ඔවුන්ගේ අරමුණ වන්නේ කුමක්ද? යන ගැටලු මහජනතාව තුළ පවතී. ජනතාව චෝදනා කරන්නේ ඇතැම් පිරිස් තමන්ගේ කළු සල්ලි මෙවැනි කටයුතු සඳහා යොදවන බවටය. එමෙන්ම දේශපාලකයන්ගේ ඊළඟ අරමුණ වැය කළ මුදල මෙන් සිය දහස් ගුණයක් උපයා ගැනීමය. පසුගිය කාලය පුරාම අසන්නට ලැබුණු දූෂණ, වංචා සහ වෙනත් විෂමාචාරවලින් ඒ බැව් මනාව සනාථ වේ.
මෙවර ජනාධිපතිවරණයේ සුවිශේෂී වෙනස්කමක් වන්නේ ප්‍රථම වරට මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වීමය. 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කරනු ලැබූවේ ගිය වසරේ ජනවාරි මාසයේදීය. පනතට අනුව නාමයෝජනා බාරගෙන දින පහක් ඇතුළත මැතිවරණ කොමිසම මගින් අපේක්ෂකයකු හට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව තීරණය කළ යුතුය. ඒ ඡන්දයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කර ගන්නා අවසන් තීරණයකිනි. පසුගිය කාලයේ පැවැත්වීමට නියමිතව තිබී කල්ගිය පළාත් පාලන මැතිවරණය සඳහා එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 20ක් වියදම් කළ හැකි ලෙසට ගණනය කර තිබිණි. එවැනි මැතිවරණයක දී ඡන්ද ප්‍රචාරණ කටයුතු ගමෙන් ගමට නිවෙසින් නිවෙසට පා ගමනින් ගොස් කළ හැකි බැවින් එම මුදල ප්‍රමාණවත් යැයි සැලකිය හැකිය. එහෙත් මැතිවරණ දිස්ත්‍රික් 22 ක් එක් ඡන්ද කොට්ඨාසයක් ලෙස ගණනය කරමින් කරන්නා වූ මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරණය ඇතුළු සෑම දෙයටම කළ හැකි වියදම තීරණය කිරීමේදී පැති ගණනාවක් සලකා බැලිය යුතුව ඇත.
මැතිවරණ නියාමන පනත අනුව ඇතැම් පරිත්‍යාග බාර ගැනීමට නොහැකිය. ඒ අනුව විදේශයකින්, ජාත්‍යන්තර සංවිධානයකින්, ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත හෝ ලියාපදිංචි කරනු ලැබූ පුද්ගල මණ්ඩලයකින් මුදල් ලබාගෙන මැතිවරණයට වියදම් කිරීම මෙම පනත මගින් තහනම් කර ඇත. එසේම අනන්‍යතාව හෙළි නොකරන ලද යම් තැනැත්තකුගෙන් මුදල් ලබාගෙන වියදම් කිරීම ද තහනම්ය. මෙවර යම් අපේක්ෂකයකු ඡන්දයට මුදල් යොදවනවා නම් එකී මුදල් ලැබුණු ආකාරය පිළිබඳ විනිවිදභාවයක් පැවතිය යුතු බවද එම පනතේ සඳහන්ය.
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල සම්බන්ධයෙන් පසුගිය 16 වැනිදා අපේක්ෂකයන් සමඟ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැති අතර එහිදී එක් එක් අපේක්ෂකයන් විවිධ ගණන් ඉදිරිපත් කර තිබිණි. ඇතැම් අපේක්ෂකයන් එක් ඡන්දදායකයකු සඳහා ශත 50ක් වැය කිරීමට අවසර ඉල්ලා තිබූ අතර තවත් අපේක්ෂකයකු රුපියල් 1000ක් වැය කිරීමට අවසර ඉල්ලා තිබිණි. ඒ අනුව මැතිවරණ කොමිසමේ තීරණය ගැසට් පත්‍රයක් මගින් එළි දැක්විණි.
එම ගැසට්ටුව අනුව අපේක්ෂකයකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි බවට මැතිවරණ කොමිසම තීන්දු කර ඇත්තේ රුපියල් 109ක මුදලකි. ඒ අනුව අපේක්ෂකයකුට වියදම් කළ හැකි සමස්ත මුදල් ප්‍රමාණය එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනු අටදහස් පන්සිය අසූ හයකි (රු. 1,86,82,98,586). ඉන් සියයට 60ක් හෙවත් රුපියල් එකසිය දොළොස් කෝටි නව ලක්ෂ හැත්තෑ නව දහස් එකසිය පනස් එකයි ශත හැටක් (රු. 112,0979,151.60) අපේක්ෂකයාට වියදම් කළ හැකි වන අතර ඉතිරි සියයට 40 වන හැත්තෑ හතරකෝටි හැත්තෑ තුන් ලක්ෂ දහනව දහස් හාරසිය තිස් හතරයි ශත හතළිහක මුදල (රු. 74,73,19,434.40) පිළිගත් දේශපාලන පක්ෂයක ලේකම්වරයාට හෝ අපේක්ෂකයාගේ නාමයෝජනා කළ ඡන්ද හිමියාට වැය කළ හැකිය.
එම මුදල් ප්‍රමාණය නොඉක්මවා අපේක්ෂකයන් ඡන්දයට මුදල් වැය කළ යුතුය. එලෙස ඔවුන් සිදු කරන වියදම් ලැයිස්තුව ඡන්දය අවසන් වී දින 21 තුළ මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතුය. අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම වියදම් ලැයිස්තුව ජනතාවගේ දැන ගැනීම සඳහා දින 10ක් පුරා ප්‍රදර්ශනය කරන අතර, ඉන්පසු ජනතාවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇත්නම් මැතිවරණ කොමිසමට හෝ පොලිසියට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එම පැමිණිලි විමර්ශනය කොට නීතිපතිවරයා මාර්ගයෙන් වැරදි කළ අයට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
නව පනත අනුව ජනාධිපතිවරණයේ දී නියමිත සීමාව ඉක්මවා මුදල් වැය කර ඇති බවට අනාවරණය වුවහොත් හෝ වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බවට සනාථ වුවහොත් එම තැනැත්තා ජනාධිපති ධුරයට තේරී පත් වුවද ඔහුගේ ධුරය අහෝසි කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.
“මුදල් නැතිව මැතිවරණයක් කරන්න බැහැ. ඒ වගේම මැතිවරණය කරද්දි මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන් පාරිභෝගිකයන් බවට පත්වෙන්නත් බැහැ. මේ මුදල් නිසා ඡන්දදායකයන් විකිණෙන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි. අපි සිතපු දේවල් සියල්ල ඒ අයුරින්ම මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය හැකි මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්සහ දරනවා. ජනමත විචාරණයකදී හැර අනෙකුත් සියලු මැතිවරණවලදී මේ පනත ක්‍රියාත්මක වෙනවා.” යනුවෙන් සඳහන් කළේය.
මැතිවරණ වියදම් නියාමන නව පනත සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂික නදීෂානි පෙරේරා මහත්මිය මෙලෙස සඳහන් කළාය.
“ජනාධිපතිවරණය මේ රටේ ජනතාවට ඉතා සුවිශේෂි අවස්ථාවක්. එය ඉතා නිදහස් හා සාධාරණ ලෙස සිදුවිය යුතුයි. මැතිවරණ වියදම් නියාමනයක් ක්‍රියාත්මක විය යුතු බවට අප වසර ගණනක් මුළුල්ලේ ඉල්ලා සිටියා. එම බලාපොරොත්තුව සැබෑ වුණේ පසුගිය වසර මුලයි. මැතිවරණ වියදම් සම්බන්ධයෙන් කිසිදු නීතියක් නොතිබි අවස්ථාවක මෙවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි සතුටට පත් වෙනවා. ඇයි අපි මැතිවරණ වියදම් නියාමන නීතියක් ඉල්ලා හිටියේ? කිසියම් මැතිවරණයක දී ඡන්දදායකයාට තම ඡන්දය නිවැරදි ලෙස භාවිත කිරීමට නම් ඡන්දය සිදුකෙරෙන ක්‍රමවේදය නිදහස් සහ සාධාරණ විය යුතුයි. තරග කරන සියලු දෙනාට සමබිමක් තිබිය යුතුයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ සහ ඔවුන් ජනතාවට ඉදිරිපත් කරන අදහස් එක සමානවම ජනතාව වෙත සමීප විය යුතුයි. එක් පාර්ශ්වයකට වැඩිපුර සම්පත් තියෙනකොට එම අපේක්ෂකයා සම්පූර්ණයෙන්ම ජනමාධ්‍ය ඇතුළු සියලු ක්‍රමවේද භාවිත කරමින් ඔහුගේ පණිවිඩය ජනතාව වෙත ගෙන යනවා. අනිත් පිරිසට සම්පත් අවම බැවින් ඔවුන්ගේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමේ හැකියාවක් නැහැ. එවිට ඇතැම් අපේක්ෂකයන්ට සමබිමක් නැතිව යනවා. ජනතාවට අහන්න ලැබෙන්නේ සියලු අපේක්ෂකයන්ගේ අදහස් නොවෙයි, වැඩියෙන්ම මුදල් වියදම් කරන අපේක්ෂකයන්ගේ පණිවිඩය පමණයි. එවිට එක් පිරිසකට අසාධාරණයක් සිදුවෙනවා. සල්ලි තියෙන පලියට මැතිවරණයට වියදම් කළ නොහැකියි. ඒ සඳහා සීමාවන් තිබිය යුතුයි. සෑම අපේක්ෂකයකුම එකම ප්‍රමාණයක් පමණයි වියදම් කළ යුතු වන්නේ.මැතිවරණයකට මුදල් දෙන පාර්ශ්වයන් අපේක්ෂකයකුට මුදල් දෙන්නේ කිසිවක් අපේක්ෂාවෙන් නොවේ යැයි සිතිය නොහැකියි. විවිධ සමාගම්, විවිධ පුද්ගලයන් එලෙස මුදල් ලබා දීමෙන් අපේක්ෂා කරන්නේ එම අපේක්ෂකයා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන්ව ද බලාගත යුතුය යන හැඟීමෙනුයි. මෙවැනි බලපෑම් තිබෙනවා. ඒ නිසා මෙම අපේක්ෂකයන්ට ලැබෙන මුදල් හා වැය කරන මුදල් සම්බන්ධයෙන් නියාමනයක් කිරීමට නීතියක් තිබිය යුතුයි. එවිට මැතිවරණයෙන් පසු මහජන නියෝජිතයාට සිදුවිය හැකි බලපෑම යම් පමණකින් අවම කළ හැකියි. එමෙන්ම එවැනි නීතියක් මගින් මැතිවරණයක සාධාරණත්වය වැඩි කළ හැකියි.” යනුවෙන් සඳහන් කළාය.
මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා නීති ගෙන ඒමට අවශ්‍ය වූයේ විවිධ අක්‍රමිකතා මැඩපැවැත්වීමට යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
“මැතිවරණ වියදම් සීමා නොකළහොත් අපේක්ෂකයන් බිලියන ගණන් අසීමිත ධනයක් තම ජයග්‍රහණය සඳහා වැය කරන්න කටයුතු කරනවා. ඒ මුදල් ඔවුන්ගේ වෙන්න පුළුවන්. නැතිනම් නෑදෑයන්ගෙන්, යහළුවන්ගෙන්, හිතවතුන්ගෙන් ලබා ගන්නවා වෙන්න පුළුවන්. ඉන්පසු එම මුදල් ආපසු පියවන්න ඔවුන් මුදල් ඉපැයිය යුතුයි. එවිට ඒ මුදල් ඉපැයිය හැකි ඉඩ ප්‍රස්ථා ඔවුන් සොයා ගන්නවා.” යනුවෙන් සඳහන් කළේය.
මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, පැෆරල් සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය, හෑෂ්ටැග් ජෙනරේෂන්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ව්‍යාපාරය (කැෆේ) මැතිවරණ ප්‍රචණ්ඩත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හයක් එක්ව “ඡන්ද සල්ලි මීටරේ” නමින් වෙබ් අඩවියක් ප්‍රථම වරට හඳුන්වා දී තිබේ. 2023 මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, දැනුවත්ව ඡන්දය පිළිබඳ තීරණ ගැනීමට පුරවැසියන්ට අත්‍යවශ්‍ය තොරතුරු බල ගැන්වීම, ජනාධිපති අපේක්ෂකයන් අතර සාධාරණ තරග බිමක් සකස් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන සාධාරණ සහ නිදහස් මැතිවරණ වාතාවරණයක් ඇති කිරීම වෙනුවෙන් පෙනී සිටීම යන අරමුණු “ඡන්ද සල්ලි මීටරේ” මගින් අපේක්ෂා කරයි.
ඒ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා මහත්මිය මෙලෙස සඳහන් කළාය.
“ඕනෑම කෙනකුට මෙම වෙබ් අඩවියට පහසුවෙන් ප්‍රවේශ විය හැකියි. එහි ඇති අපේක්ෂකයාගේ ගිණුමට පිවිස එම අපේක්ෂකයා පිළිබඳ තොරතුරු පමණක් නොව ඒ මොහොත වන විට ඔහු ජනාධිපතිවරණය සඳහා කොපමණ මුදලක් වැය කර තිබේද යන්න පහසුවෙන් බලාගන්න පුළුවන්. ඔහු කුමක් සඳහා එම මුදල් වැය කර තිබේද? කුමන ප්‍රදේශවලටද වැය කර තිබෙන්නේ සහ ඒවා සම්බන්ධයෙන් ඇති සාක්ෂි ද සියල්ල එහි ඇතුළත් වෙනවා. අප වෙබ් අඩවියට ඇතුළත් කරන්නේ, සියලු සත්‍ය තොරතුරු පමණයි. ඒ ඒ අපේක්ෂකයන් මැතිවරණය සඳහා කෙතරම් මුදලක් වැය කර තිබේද යන්න රටේ සියලු ජනතාවට මෙම වෙබ් අඩවිය මගින් නිරීක්ෂණය කළ හැකියි.” යනුවෙන් සඳහන් කළාය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා