2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

රාජ්‍ය නායකයන් 7 දෙනකුගේ සූපවේදියාගේ කතාව

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:02 1188

රජුන් සමඟ ගනුදෙනුව ඉතා අවදානම් සහගත කටයුත්තකි. එහෙත් රජුන්ගේ රාජ ඌෂ්ණය දරාගනිමින් දශක දෙකකටත් වැඩි කාලයක් රජ ගෙදරක මුළුතැන්ගෙයි අධිපති ලෙස කටයුතු කළ හෙතෙම ස්වකීය වෘත්තිය ජීවිතය හමාර කොට සැහැල්ලුවෙන් රජ ගෙදරින් පිටවිය. මෙරට රජකම් කළ අගමැතිවරුන් ජනාධිපතිවරුන් 7 දෙනකුට සේවය කළ ඔහු තමන්ගේ තෘප්තිමත් සේවා ජීවිතය ගැන දේශය සමඟ කළ අතීත ආවර්ජනය මෙරට දේශපාලනයේ එක් පැතිකඩක් ගැන කියැවෙන අපූරු සාක්ෂියකි.

හෙතෙම නමින් එස්.ඩබ්ලිව්.පී. හේමපාලය. විශ්‍රාමිකව විසුවත් ඔහු තමන්ගේ වාත්තිය ජීවිතය හමාර කොට නැත.

ඔහු දැනටත් තමන්ගේ සූපවේදී වෘත්තියෙහි නියැලෙයි. ඒ හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු මෙන්ම ආරක්ෂක ලේකම්වරයකු ද වන හේමසිරි ප්‍රනාන්දු මහතාට අයත් දියතලාවේ සුප්‍රකට ‘ක්‍රේන්ෆෝර්ඩ්’ නිවාඩු නිකේතනයේය.
මෙතැන් සිට ඔහුගේ මතක ආවර්ජනය දිගේ ගමන් කරමු.

“මගේ උපන් ගම හැටන්. ඒ කාලෙ හැටියට මම පාසල් අධ්‍යාපනය ඉවර කළේ අටවැනි ශ්‍රේණිය සමතෙක් හැටියටයි. ඊට පස්සෙ ඒ කාලෙ තිබුණු රැකී රක්ෂා කාර්යාලෙ ලියාපදිංචි වුණා. එතැනින් මට රස්සාවක් ලැබුණා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවට. එතැන කම්කරු ඇබෑර්තුවකටයි පත් වුණේ. මේ කියන්නෙ එක්දාස් නවසිය හැට ගණන්වල..”

ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාලයක් සේවය කරද්දී ඔහුට දෙපාර්තමේන්තුවේ ගබඩා සහායකයකු ලෙස උසස්වීමක් ලැබිණි. ඒත් නුවරඑළියේමය. ඒ කාලයේම ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා ආරම්භ විය. පොතුවිල් සහ අරුගම්බේ සංචාරක බංගලාවල භාරකරුවන් සඳහා ඇබෑර්තු හටගැනිණි. ඒ සඳහා ඉල්ලුම් කළ හේමපාල මහතාට අරුගම්බේ සංචාරක බංගලාවේ භාරකරු ලෙස ස්ථිර පත්වීමක් ලැබිණි.

“මම අරුගම්බේ ගියේ කොටි කලබලත් තියෙන කාලෙ. ඒ කාලෙ ඒ පළාතෙ සිංහල මිනිස්සුන්ට ඉන්න කියන්න අමාරු වුණා. ඒ හින්ද මම මාරුවීමක් ඉල්ලුව නුවරඑළිය සංචාරක බංගලාවට. ඉතින් ඒක මට හම්බවුණා. නමුත් එතෙක් එතැන සේවය කළ කෙනා එතැනින් යන්න අකමැත්ත පළ කළා. එයාට අගමැති මැදුරට උසස්වීමක් ලැබිලත් යන්න බැහැ කියලා එතැනම ඉන්න ඕන කිව්වම මට අගමැති මැදුරට යන්න අවස්ථාව හම්බවුණා. ඒ කාලෙ රණසිංහ ප්‍රේමදාස මහත්තය තමයි අගමැති. එතුමාට තමයි අගමැති මැදුරෙ මම මුලින්ම සේවය කළේ. එතැන ඉඳල අගමැතිවරු 7 දෙනකුට අවුරුදු 21 ක්ම මම සේවය කළා ඉතාම හොඳින්...” රජුන් සමඟ ගනුදෙනු කිරීම පහසු කරුණක් නොවේ. ඉවසීම පරෙස්සම මෙන්ම ආරක්ෂාව ගැන ද දැඩි අවධානයෙන් සිටීමත් රසවත් ලෙස ඔවුන්ගේ අවශ්‍යතා පරිදි ආහාරපාන සැපයීමක් කළ යුතුය. අගමැතිවරුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයත් වසරකට වාර ගණනාවක් නුවරඑළිය අගමැති මැදුරට නිවාඩු ගත කිරීම සඳහා පැමිණෙති. ඒ සියල්ලන්ගේ ඕනෑ එපාකම සොයා බලා ඔවුන්ගේ සිතැඟි තේරුම්ගෙන ඒ අයට සේවය සැලසීම අනිවාර්ය කරුණකි. රණසිංහ ප්‍රේමදාස මහතා තමන්ගේ සේවකයන්ගෙන් නූලට තිතට සේවාව බලාපොරොත්තු වූ රාජ්‍ය නායකයෙකි.

“අගමැති මන්දිරේ දූවිලි පොදක් තියෙන්න බැහැ. මන්දිරය තුළ තිබෙන බඩු බාහිරාදිය තියෙන තැන් වෙනස් කළොත් අපිට ඒ ගැන දොස් කියනවා. එතුමාට හොඳ මතකයක් තිබුණ කෙනෙක්. අනික එතුමාට කෑම බීම හදද්දි මස්, මාළු, කරවල තියා උම්බලකඩ කෑල්ලක්වත් දාන්න තහනම්. අඩුම තරමින් බිත්තරයක්වත් කන්නෙ නැහැ. සීතල නුවරඑළියෙ හිටියත් උදේ 4.00 ට නැගිටිනවා. ඒ වෙලාවට අපි උණු වතුර සූදානම් කරල තියන්න ඕන. හැමදාම එතුමා පත්තර බලනවා. කොළඹින් රාත්‍රියට පත්තර සහ ලියුම් අරන් වෙනම වාහනයක් එනවා. උදේට කෑම කාලා ඊට පස්සෙ මැති ඇමැතිවරු හම්බුවෙනව. රේණුකා හේරත් මැඩම්, තොණ්ඩමන් මහත්තය එහෙම එනවා. ඒ කාලෙ ප්‍රේමදාස මහත්තය එක්ක මොහිදීන් කියන ගෝලයයි බාබුයි තමයි එන්නෙ. මොහිදීන් තමයි ඇඳුම් අයන් කරන්නෙ. බාබු තමයි එයාගෙ ගෝලය. මේ සමහර අය හැන්දෑවට ඇඟ රත් කරගන්න අවස්ථාවල් තියෙනවා. ඒත් ඒවා ප්‍රේමදාස මහත්තයා දන්නෙ නෑ... ප්‍රේමදාස මහත්තය අගමැති මැදුරෙ මාස්ටර් බෙඩ්රූම් එකේ බුදියනව. මේ ගෝලයො දෙන්නා ඊට අල්ලපු කාමරේ. ඒකට කිව්වෙ ලිනන් රූම් කියලා. එකෙ බිම තමයි බුදියන්නෙ. ප්‍රේමදාස මහත්තය එක්ක එතුමගෙ නෝනා, දුලාංජලී නෝනා (දුව) එහෙම මන්දිරේට ආව. ඒත් සජිත් මහත්තය නම් කවදාවත් ආවා බවක් මට මතක නැහැ.”

ප්‍රේමදාස ජනාධිපතිවරයා එළවළු පමණක් ආහාරයට ගත් බැවින් ඔහුට අවශ්‍ය පරිදි එළවළු සැපයීම කළ යුතු විය.

“එළවළු පලා කොළ වර්ග, බණ්ඩක්කා, පතෝල, වැටකොලු වගේ දේවල් තමයි වැඩිපුර කෑවෙ. අපිට අමතරව එතුමට කෑම බීම සපයන්න ජෝන් කීල්ස් ආයතනෙ හබරණ විලේජ් හෝටලේ සූපවේදීන් කට්ටියකුත් එනවා. එතුමගෙ කෑම බීම කන්න කලින් ඒ කෑම බීම ආරක්ෂක අංශෙ අය පරීක්ෂා කරල කාලා බලලා තමයි එතුමාට දුන්නෙ. ඒ විදියට ආහාර පරික්ෂා කරලා කන්න දුන්නා. මම දැකපු එකම රාජ්‍ය නායකය ප්‍රේමදාස මහත්තය පමණයි.”

ප්‍රේමදාස මහතාට පසුව බලයට පැමිණි ඩී.බී. විජේතුංග මහතා ද ඉදහිට නුවරඑළිය අගමැති මැදුරට පැමිණියේය. ඔහු පැමිණියත් එක් දිනක් හෝ අගමැති මැදුරේ රාත්‍රිය ගත නොකළ බව හේමපාල මහතා කියයි.

“එතුමා නුවර පිළිමතලාවෙ ගිරිහාගම වලව්වෙනේ. ඒ නිසා නිතරම මේ පැත්තෙ ආවොත් හවසට ගෙදර යනව. කන්නෙ බොන්නෙ නිර්මාංශ ආහාර එළවළු විතරයි. හුඟක් දවසට එතුමා තමන්ගෙ දවල් කෑම එක කෙසෙල් කොලේක ඔතාගෙන ඇවිල්ලයි මන්දිරේ ඉඳන් කන්නෙ.”

නුවරඑළිය අගමැති මැදුරට පැමිණි ඇතැම් රාජ්‍ය නායකයන් සන්ධ්‍යා භාගයේ ඉතා සුළුවෙන් විස්කි හෝ බ්‍රැන්ඩි වැනි සැර බීම වර්ගයක් පානය කළ බව සඳහන් කළ හේමපාල මහතා එම රාජ්‍ය නායක නායිකාවන්ගේ නම් ගම් හෙළි නොකළේ අදටත් ඔවුනට තමන්ගේ විශේෂ ගෞරවයක් ඇති බව සිහිපත් කරමිනි.

“විජේතුංග ජනාධිපතිතුමාට පස්සෙ ආවෙ චන්ද්‍රිකා මැතිනිය. එතුමියට ආහාර සැපයීම ඉතාම පහසුයි. මස් මාළු ඕන දෙයක් කනව. ඉතාම කෙටි කලයි එතුමිය අගමැති හැටියට හිටියෙ. ඊට පස්සෙ ආවෙ අපේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එතුමිය බොහොම අභිමානවත් චරිතයක්. අපි හැමෝම එතුමියට කතා කළේ වලව්වෙ හාමුදුරුවෝ කියලයි. චන්ද්‍රිකා මැතිනිය මද්දුම හාමු. ඊට අමතරව අපි හාමුදුරුවො කියල ඇමතුව එකම රාජ්‍ය නායකය ප්‍රේමදාස මහත්තය. එතුමාටත් අගමැති හාමුදුරුවො කියලා තමයි කිව්වෙ. සිරිමාවෝ මැතිනියත් ඕන කෑමක් කනව. එතුමිය කවදාවත් තනියම කෑම කන්නෙ නැහැ. හැමදාම වගේ එතුමිය හෝ ලේකම් හැටියට හිටපු හේමසිරි ප්‍රනාන්දු සර්ට කතා කරනව හේමසිරි කමු කියලා. මැතිනිය බොහොම සැරයි වගේ පෙනුණට ඇය කවදාවත් අපව කෑගහල බැණල නැහැ. අනික මැතිනිය නුවරඑළියෙ. එනකොට හොරගොල්ල වලව්වෙන් හාල් පොල් තැඹිලි එළවළු පළතුරු වගේ දේවල් තොගයක් ගේනව. වත්තෙ වැඩ කරන අයට පවා ඒව දෙනව. ඒ වගේම නිතරම අපේ දුක සැපත් එතුමිය බැලුව. ඒ කාලෙ මගේ කකුලෙ ටිකක් බරපතළ තුවාලයක් හැදුණ. ඒක මැතිනිය දැක්කා. කකුල ඉදිමිලා තියෙනව දැකපු එතුමිය මට කතා කරල කිව්ව අද මම කොළඹ යනව. මගේ වාහනේක ඔයා කොළඹ එන්න, මම දොස්තර මහත්තයකුට කියල ඔය තුවාලෙ සනීප කරවල එවන්නම් කියල. එතුමිය කිව්ව විදිහට එතුමියගෙ වාහනේක මම කොළඹ ආව. ඇවිල්ල රොස්මිඩ් වලව්වට ගියා. එතැන ඉඳිද්දි ජයවර්ධනපුර ඉස්පිරිතාලෙන් දොස්තර මහත්මයෙක් ගෙන්නල තුවාලෙ පෙන්නල ඉස්පිරිතාලෙ නවතින්න කිව්ව. ඊළඟට හොඳට ප්‍රතිකාර කරල දවස් හතරක් පහක් යනකොට කකුල සනීප වුණා. ඒ පාර මැතිනිය මට නැවතත් කාර් එකක් දීල නුවරඑළියට එව්ව. අන්න ඒ වගේ ඉතාම කරුණාවෙන් එතුමියලට සේවය කළ අය ගැන සිරිමාවෝ මැතිනිය සොයල බැලුව.”

• රන්ජිත් ආනන්ද ජයසිංහ

ඉතිරි කොටස ලබන සතියේ....

 

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:02