2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයේ පවුල් දේශපාලන අපේක්ෂකයෝ

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:05 169

මෙරට දේශපාලනයේ ප්‍රවේණිගත උරුමය රැගෙන යන දේශපාලන පවුල් රැසක් සිටිති. සෑම මැතිවරණයක් අභිමුවම එම පවුල්වල දේශපාලන ක්‍රියාකාරිත්වය, සමස්තය කෙරෙහි බලපෑම් කරයි. මෙවරද ජනාධිපතිවරණය හමුවේ දේශපාලන පවුල් නියෝජනය කරන අපේක්ෂකයන් කිහිප දෙනකුම දැකගත හැකිවීම ඊට කදිම නිදසුනකි. ඒ අනුව හඳුනාගත් අපේක්ෂකයන්ගේ දේශපාලන ඥාති සබඳතා පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු.

මෙරට හිටපු ජනාධිපතිවරුන්ගේ පුත්‍රයන් දෙදෙනකු එකම මැතිවරණයක අපේක්ෂක ලැයිස්තුවක රැඳී සිටින පළමු අවස්ථාව මෙය වේ. ඒ අනුව මෙරට දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුත්, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙරට පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ද දේශපාලන ඥාති සබඳතා පෙරටු කරගත් අපේක්ෂකයන් අතරින් පුමුඛයෝ වෙති. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බෑණනුවන් වෙයි.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති සබඳතා විග්‍රහ කර ගනිමින්ම, අපේක්ෂකයන්ගේ දේශපාලන නෑකම්, කතාව විමසා බැලීමට වටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ඥාති සබඳතා පුළුල් වපසරියක පැතිර යයි. මෙරට ප්‍රබලතම දේශපාලන පවුල් වූ සේනානායක, කොතලාවල දේශපාලන පවුල්වලට මෙන්ම ජයවර්ධන, විජයවර්ධන පවුල්වලට ද වික්‍රමසිංහ මහතාට ඥාති සබඳතා පවතියි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂයන් අතරින් වඩාත් පුළුල්ව දේශපාලන සබඳතා සහිත චරිතය රනිල් වික්‍රමසිංහ බව සඳහන් කළ හැකිය.

මෙරට දේශපාලනයේ නිරන්තර කියැවෙන, රනිල් වික්‍රමසිංහ මහතා ජයවර්ධන මහතාගේ බෑණාය, යන්න පැහැදිලි කරන ඥාති සබඳතාව බොහෝ දෙනෙක් හරි හැටි නොදනිති. මේ ඥාතීත්වය ගොඩනැගී ඇත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ සීයාත් (මවගේ පියාත්) සහෝදර සහෝදරියන් වීම හේතුවෙනි. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඥාති දරුවකු, නොඑසේනම් නම් බැණා කෙනෙක් බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්ව සිටියි. වික්‍රමසිංහ මහතාගේ මව් පාර්ශ්වයේ ඥාති සබඳතාව සේනානායක, කොතලාවල පවුල් සමඟ බැඳී පවතියි. එම ඇතැම් දේශපාලන පෙළපත් ‍යටත්විජිත යුගය ද පසුකොට රාජධානි යුගය දක්වා විහිද යයි.

ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආසන්න දේශපාලන ඥාතීත්වයන් පිළිබඳ තොරතුරු චිර ප්‍රසිද්ධය. පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පියා වන අතර හයවැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ බාප්පා වෙයි. රාජපක්ෂ පවුල දේශපාලන වශයෙන් ක්‍රියාකාරී වීම යටත්විජිත යුගයේ දී ආරම්භ වී ඇති අතර බණ්ඩාරනායක මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමේ ගෞරවය ද නාමල් රාජපක්ෂගේ සීයා වන ඩී.ඒ. රාජපක්ෂ වෙත හිමි වේ.

මෑතකාලීන වැඩිම ඝනත්වයකින් දේශපාලනය තුළ පැතිර ගිය පවුල රාජපක්ෂ පවුලයි. කතානායක ධුරය දැරූ චමල් රාජපක්ෂ, බල දේශපාලනයේ තීරණාත්මක භූමිකාවක් නිරූපණය කරන බැසිල් රාජපක්ෂ, තවදුරටත් දේශපාලනය තුළ සක්‍රීය චරිත වෙති. එසේම ඥාති සහෝදරයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ ද, නිපුණ රණවක ද මේ වන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරති. රාජපක්ෂ පවුල ද මෙරට සෙසු දේශපාලන පවුල් සහ ව්‍යාපාරික පවුල් සමඟ ඥාති සම්බන්ධතා ආරම්භ කර ඇති අතර එම සබඳතා විශාල පරාසයක පැතිර පවතී.

මෙරට දෙවැනි විධායක ජනාධිපති පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස ද මේ මොහොතේ දේශපාලනය තුළ කැපීපෙනෙන චරිතයකි. මෙම පවුල දේශපාලනිකව ගොඩනැගීමේ ගෞරවය රණසිංහ ප්‍රේමදාස මහතාට හිමිවන අතර සෙසු දේශපාලන පවුල්වලට සාපේක්ෂව ප්‍රේමදාස පවුල දේශපාලන ඥාති සබඳතා තුළ තවමත් එතරම් විසිරී පැතිරී ගොස් නොමැත. කෙසේ වෙතත් තම සහෝදරයාගේ ජනපතිවරණ ව්‍යාපාරය තුළ මේ වනවිට දුලංජලී ප්‍රේමදාස සක්‍රීය වෙමින් සිටින බව පෙනී යයි. එසේම සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ද මෑතකාලීනව දේශපාලන වශයෙන් සක්‍රීයව සිටින බව පෙනී ගොස් තිබේ.

දේශපාලන ඥාති සම්බන්ධතා නොමැති නමුත්, පුළුල්ව පැතිරුණු දේශපාලන සබඳතා ජාලය කරා ගමන් කොට මෙවර ජනාධිපතිවරණයට සම්බන්ධ වන අපේක්ෂකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද සිටිති. දීර්ඝ කාලීන ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය තුළ සක්‍රීය වීමෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය ගොඩනගා ගනිමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක ද එවන් චරිතයකි. ඔහු ජනාධිපතිවරණයක් සඳහා තරග කරන්නේ දෙවැනි වතාවටයි.

එසේම දෙවැනි වරට ජනාධිපතිවරණයක් සඳහා තරග කරන හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද දේශපාලන සබඳතා ජාලයක් කරා ගමන් කළ චරිතයකි. රාජපක්ෂවරුන්ට අභියෝග කරමින් දේශපාලනයට අවතීර්ණ වී පළමු පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඔහු, පසුව තමන්ගේම දේශපාලන පක්ෂයක් ගොඩනගමින් දේශපාලනයට අවතීර්ණ විය. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ආදී දේශපාලන පක්ෂ සමඟ ඔහු ඉතා සමීප සබඳතා පවත්වා තිබේ.

රාජපක්ෂවරයකු නමුත් මහින්ද රාජපක්ෂ පවුලට ඥාති සබඳතා නොමැති හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද විශාල දේශපාලන සබඳතා ප්‍රමාණයක් සහ කඳවුරු ප්‍රමාණයක් නියෝජනය කරන චරිතයකි. ඊට අමතරව මෙවර අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වී සිටින ව්‍යාපාරික දිලිත් ජයවීර ද ව්‍යාපාරික සහ ප්‍රචාරණ ලෝකය තුළ දේශපාලනය සමඟ ඉතා සක්‍රීය සබඳතා පවත්වනු ලැබූ පුද්ගලයෙකි. ඉතිරි අපේක්ෂකයන් අතරින් සැලකිය යුතු පිරිසක් ද දේශපාලන සබඳතා සහිත පිරිස් බව සඳහන් කළ යුතුය.

කෙසේ වෙතත් අවසානයේ සඳහන් කළ යුතු සුවිශේෂීම කරුණ නම් ඥාති සබඳතා සහිතව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් මෙන්ම, ප්‍රබල දේශපාලන සබඳතා සහිතව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් ද මෙවර නියෝජනය කරන්නේ ඔවුන්ගේ මුල් දේශපාලන කඳවුරු නොවන බවයි. මෙවර ඔවුන්ගේ දේශපාලන කඳවුරුවල නම් සහ සලකුණු හෝ වෙනස්ව තිබේ. ඒ අනුව තවදුරටත් මෙරට දේශපාලන බලය රැඳෙන්නේ පවුල් මත නොව ජනතා පරමාධිපත්‍යය මත බව ඔප්පු වී තිබේ.

• චමිඳු නිසල් ද සිල්වා

(ඡායාරූප අන්තර්ජාලයෙනි)