2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

අනාගතයේදී පිරිමි නොමැති ලෝකයක්

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 107

පෘථිවියට කඩා වැටුණු බව කියන උල්කාපාතයක් හේතුවෙන් මිහිතලයේ තිබූ පැළෑටි විශාල ප්‍රමාණයක් සහ ජීවීන් විනාශ වී ඇතැයි විද්‍යාඥයෝ කලකට පෙර මත පළ කළහ. වසර මිලියන හැට ගණනකට පෙර මේ මිහිපිටින් ඩයිනෝසරයන් වඳවූයේ මෙම ව්‍යසනයේ බලපෑමෙන් බවට ඔවුහු අදහස් දැක්වූහ. මෙයින් පසු පෘථිවියේ ජීවීන් බිහිවීමටත් තවත් වසර මිලියන ගණනක් ගත වී ඇතැයි ද කියැවේ. මේ ඩයිනෝසරයන් වඳ වූ කතාව අප කුඩා කාලයේ පටන් බොහෝ දෙනා අසා ඇති කතාවක් වුවද එහි සත්‍ය අසත්‍ය බව දැනගැනීමට ඇසින් දුටු සාක්ෂි කිසිවකුට නැත. එයින් පසු 2012.12.12 ලෝක විනාශයක් ගැන කතිකාව කරළියේ බඩපිනුම් ගහන්නට විය. එයට එක් හේතුවක් වූයේ මායාවරුන්ගේ දින දර්ශනය පාදක කර ගනිමිනි.

2012 දෙසැම්බර්වලින් පසු ලෝකයම එකවර විනාශ වන බවත්, අද්භූත එළි දර්ශනය වීම, උල්කාපාත වැටී විනාශ වීම, රතු, කහ ජෙලි වර්ෂා වැසීම, භූ කම්පන, බල්ලන් මිය යාම, දකුණෙන් ඉර පෑයීම, මුහුදෙන් නාගයන් මතුවීම සහ දිය උල්පත් රක්ත වර්ණයෙන් යුතු වීම ආදී වූ කතා සමුදායක් කරළියේ දැඩි ආන්දෝලනාත්මක කතා මතු කළේය. 2012 ලෝක විනාශය ළඟ එන බව දැනගෙන ඇතැම් ධනවතුන් තම සතු සියලු සේසතම එක රැයෙන් වියදම් කර දැමුවේ ලෝක විනාශයෙන් පසු පවුල් පිටින් ජීවිත අහිමිවන බවට විශ්වාස කරමිනි. එහෙත් මේ සම්බන්ධයෙන් මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසූයේ මෙය සබන් බුබුළක් වැනි මිත්‍යාවක් බවයි. මේ වනවිට ලෝක විනාශය සිදුවනවා යැයි කියූ වසරෙන් පසු වසර 10 ක් ගත වී අවසන්ය.

වර්තමානය වන විට තවත් කතාවක් කරළියට පැමිණ තිබේ. එනම් මව් කුසේ දී ගැහැනු, පිරිමි ලිංගිකත්වය තීරණය කරන ‘වයි’ (Y) වර්ණදේහය ගෙවුණු කාලයේ වෙනස්කම්වලට ලක් වූ බවත්, ඉදිරියේ දී එය සම්පූර්ණයෙන්ම නැති වී යාමේ අවදානමක් ඇති බවත්ය. මෙය සංකීර්ණ සංසිද්ධියක් වුවද මෙය සරලව පැහැදිලි කරන්නේ නම් එහි අරුත වන්නේ මෙම ‘වයි’ (Y) වර්ණදේහය නොමැතිවීමෙන් මේ ලොවෙහි පිරිමි ලෙස ජීවී කොට්ඨාසයක් බිහි නොවන බවයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ලාට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ ලිංගික වර්ණදේහ ජාන විද්‍යාඥ මහාචාර්ය ජෙනිෆර් ග්‍රේව්ස් විසින් සිය පර් යේෂණයකින් අනාවරණය කරනු ලැබුවේ වර්ණදේහයෙන් ජාන අතුරුදහන් වන වේගය මත පදනම්ව ‘වයි’ (Y) වර්ණදේහය වසර මිලියන පහක් වැනි කෙටි කාලයක දී වඳ වී යා හැකි බවයි. මෙය ලැව්ගින්නක් මෙන් මෙරට පැතිර ගිය අතර මෙම ආන්දෝලනාත්මක කාරණය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට මම කල්පනා කළෙමි.

කොළඹ ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතා විසින් රචිත අපරාධ පරීක්ෂණයේ නිහඬ සාක්ෂි ග්‍රන්ථයේ සඳහන් ආකාරයට, “මිනිසුන් ඇතුළු බොහෝ ජීවීන්ගේ භෞතික ශරීර නිර්මාණය වන්නේ සෛලය යන තැනුම් ඒකකයෙනි. මෙහිදී සිදුවන අනේකවිධ ජීව ක්‍රියාවලි පාලනය කරනුයේ සෛලයේ තොරතුරු ගබඩා කර ඇති ඩී.එන්.ඒ. අණුවලිනි. ඩී.එන්.ඒ. අණුවක් යනු ඉතා දිගු මෙන්ම හුයක් වැනි රසායනික බහු අවයවයකි. මෙම අණු අඩංගු වන්නේ ජීවී සෛල අභ්‍යන්තරයේ ඇති න්‍යෂ්ටිය නම් ව්‍යුහයේය. මෙම ඩී.එන්.ඒ. අණු ප්‍රෝටීන සමඟ එක් වී වර්ණදේහ තනයි. මානව සෛලයක න්‍යෂ්ටියක ඩී.එන්.ඒ. ප්‍රමාණය වර්ණදේහ පිටපත් 46 කට සීමා වෙයි”.

මෙම වර්ණදේහ පිටපත් 46 යුගල 23 කින් සමන්විතය. එකී යුගල 23 දී දෛහික හෙවත් අලිංග වර්ණදේහ යුගල 22 කිනුත් ලිංග වර්ණදේහයකිනුත් සමන්විත වන්නේය. මව් කුසක වර්ධනය වන කළලයක් පුරුෂ කළලයක් වීමට නම් X සහ Y යන වර්ණදේහ ද්විත්වයම පිහිටිය යුතු අතර ස්ත්‍රී කළලයක් වීමට නම් X වර්ණදේහ යුගලක් පැවතිය යුතුය.

Y වර්ණදේහයේ වැදගත්ම කොටස වන්නේ SRY නම් ප්‍රධාන ලිංගික ජානය වන අතර එය පිරිමියකු ලෙස කළල රූපය වර්ධනය වීමට හේතු වෙයි. මේ සම්බන්ධයෙන් අණුක ජෛව වෛද්‍ය පර් යේෂකයන් පවසා ඇත්තේ වසර මිලියන 166 ක කාලයේ දී Y වර්ණදේහයේ ක්‍රියාකාරී ජාන 900 න් 55 ක් අහිමි වී ඇති බවත්, එය වසර මිලියනයකට ජාන පහක් පමණ අහිමිවීමක් බවත්ය. මෙම අනුපාතය අනුව, අවසාන ජාන 55 වසර මිලියන 11 කින් අතුරුදහන් වනු ඇති බවත් ඔවුහු අනුමාන කරති. මහාචාර්ය ජෙනිෆර් ග්‍රේව්ස් වැඩිදුරටත් පවසනුයේ ‘වයි’ (Y) වර්ණදේහය වඳ වී ගියහොත් නව ලිංගික ජානයක් පරිණාමය කළ හැකි බවත්, නිසැක වශයෙන්ම එයට වසර මිලියන ගණනක් ගතවනු ඇති බවත්ය.

මේ කියන ආකාරයට ‘වයි’ (Y) වර්ණදේහය නොමැති වුවහොත් පිරිමි කියා ජීවී කොට්ඨාසයක් නොමැති වෙයිද? මෙය ඇතැමුන් කුතුහලයට පත් කරවන කරුණක් විය හැකි වුවද බොහෝ දෙනා අන්දමන්ද කරවන තරමේ ගැටලුවක් වනු ඇත.
මෙම ‘වයි’ (Y) වර්ණදේහය නොමැතිව පැවැත්මක් නොමැතිද? මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේ දී නැගෙනහිර යුරෝපයේ මවුල වොල්ස් සහ ජපානයේ ස්පයිනි මීයන් Y වර්ණදේහ සම්පූර්ණයෙන්ම අතුරුදන් ජීවී කොට්ඨාසයක් ලෙස වාර්තා වෙයි. හොකයිඩෝ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ ඇස්ටෝ කුරොයිවා ප්‍රමුඛ කණ්ඩායමක විසින් ස්පයිනි නම් මීයන්ගේ Y වර්ණදේහ වෙනත් වර්ණදේහවලට මාරු කර ඇති බව සොයා ගනු ලැබීය.

මහාචාර්ය ජෙනිෆර් ග්‍රේව්ස් මෙම ‘වයි’ (Y) වර්ණදේහයේ අභාවය සම්බන්ධයෙන් 2011 අගෝස්තු 31 වැනිදා මැන්චෙස්ටර් හි පැවති 18 වැනි ජාත්‍යන්තර වර්ණදේහ සම්මන්ත්‍රණයේ දී ද සිය අදහස පළ කළාය. මෙම ආන්දෝලනාත්මක කාරණය සම්බන්ධයෙන් ඇතැම් විද්වතුන්ගේ මතය වනුයේ ‘වයි’ (Y) වර්ණදේහය ක්ෂය වීම අවම මට්ටමක පවතින බවත්, මානව වර්ණදේහයට පසුගිය වසර මිලියන හයේ ජාන අහිමි වී නොමැති බවත්, අහිමිවීම පසුගිය වසර මිලියන විසිපහටම එකක් පමණක් බවත්ය.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යයනයකින් හෙළි වූයේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටි පිරිමි ක්වොල් සත්ත්වයන් වැඩි වශයෙන් ලිංගිකව සක්‍රීය වීම සඳහා සිය නින්ද අතහරින බවයි.

සන්ෂයින් කෝස්ට් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිස්ටෝෆර් ක්ලෙමන්ට් ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය සමඟ එක්ව ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් වූ දූපතක් වන ගෲට් දිවයිනෙහි සිටින පිරිමි සහ ගැහැනු ක්වොල් සතුන්ගේ ශරීරයේ, ඔවුන් සිටින ස්ථානය සොයා ගැනීමේ උපකරණ (trackers) සවි කර, දින 42 ක් පුරා මෙම දත්ත රැස්කර මෙම අධ්‍යයනය කර ඇත.

මෙම ක්වොල් පිරිමි සතුන්, ලිංගික සහකාරියන් සොයා බොහෝ දුර ගමන් කරන අතර බොහෝ විට එම ක්‍රියාවලියේ දී ඔවුන් විසින් සිය නින්ද අත්හරින බව පර් යේෂණයෙන් අනාවරණය වී තිබේ. සමහර ක්වොල් සතුන් එක් රැයකදී සැතපුම් 6කට වඩා දුරක් ගොස් ඇති අතර, එය මිනිස් දුරින් කිලෝමීටර 40 කට ආසන්න දුරක් ලෙසට පරිවර්තනය කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

කෙසේ වෙතත් මහාචාර්ය ජෙනිෆර් කියන ආකාරයට වෙනත් වර්ණදේහයක් පරිණාමය නොවුණහොත් අනාගතයේ දී මෙම වර්ණදේහය අතුරුදන් වී පිරිමි වඳ වී යනු ඇත.

• සසංක චලන ගිම්හාන