2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

අවුරුදු 97 දී ශාස්ත්‍රපති උපාධිය ගත් ලීලාවතී

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

ලීලාවතී අස්ලින් ධර්මරත්න.. බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය ලබාගත් උපාධිධාරිනියකි. ඉගෙන ගන්නට වයස අදාළ නොවන බව පසක් කරමින් උපාධිය ලබාගනිද්දී ලීලාවතීගේ වයස අවුරුදු 97කි. මෙවැනි වයසක් ගත කරන වැඩිහිටියන්ගේ ජීවිතයේ සැදෑ සමය ඇඳකට වී, රූපවාහිනිය නරඹන්නට හෝ බණක් අසන්නට සීමා වෙද්දී ලීලාවතී තම සැඳෑ සමය පොත්පත්, විවිධ ගවේෂණ හා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් කළාය.

පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී තම බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටිය මහින්ද සංඝරක්ඛිත මහනාහිමියන් වෙතින් ලබා ගනිද්දී ඒ සුවිශේෂී දිනය දැක බලාගෙන සතුටු වන්නට ඇගේ දියණියන් සිවුදෙනා ද අසල සිටියහ. එහි තවත් සුවිශේෂී බවක් තිබේ. ලීලාවතී දියණියන් සිවු දෙනකුගේ ආදරණීය මවකි. ඇයගේ දියණියන් සිවුදෙනා ද තව මව මෙන් උපාධිධාරියන් වන අතර ඔවුහු ඉතා උසස් රැකියාවල නිරත වෙති. ලීලාවතීගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත්ය. ඇය වෛද්‍යවරියකි. බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය ලෙසින් සේවය කරන්නේ ද ඇයයි. දෙවැන්නා සමුද්‍රා ජයලත්ය. ඇය ඉංජිනේරුවරියකි. තෙවැනි දියණිය ඉන්ද්‍රනීල ජයලත්ය. ඇය ගුරුවරියකි. සිවුවැන්නා මනෝහරී ජයලත්ය. ඇය වෘත්තියෙන් නීතිඥවරියකි. දරුවන් දෙස බලා මවට සතුටු වන්නට හැකිවූවා සේම තම ආදරණීය මව දෙස බලා සතුටු වන්නට හැකි දරුවන් සිටින මේ පවුල සැබෑම වාසනාවන්ත පවුලකි.

වයස අවුරුදු 97 ක් සපිරෙන ලීලාවතී ධර්මරත්න, 1927 නොවැම්බර් මස 30 වැනිදා මිල්ලෑව ගමේ දී උපත ලැබුවාය. මිල්ලෑව බාලිකා විදුහලෙන් පාසල් අධ්‍යාපනය ලබාගත් ලීලාවතී අධ්‍යාපනයට මුල් තැන දී කටයුතු කළාය. ඒ නිසාම සාමාන්‍ය පෙළ විභාගයේ දී ඇය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකටම මුහුණ දුන්නාය. ඇයගේ මුල්ම රැකියාව වූයේ ද ගුරු වෘත්තියයි. ඒ ඉංග්‍රීසි ගුරුවරියක් ලෙසිනි. ඒ අතරතුරේ ඇය නොතාරිස් විභාගයට ද මුහුණ දුන්නාය. ඒ වන විටත් ඇගේ වැඩි කැමැත්ත වූයේ නොතාරිස් වෘත්තියයි. ඒ සිහිනය සැබෑ වෙමින් ඇය නොතාරිස්වරියක ලෙසින් පත්වීම ලබද්දී, තම මුල් රැකියාවට ආයුබෝවන් කීවාය. පාසල් ගුරුවරියක ලෙස සේවය නොකළ ද තම දරුවන්ට පමණක් නොව අහළ පහළ දරුවන්ට ද ඇය සැබෑම ගුරු මාතාවක් ලෙසින් තම ඉගැන්වීම් කටයුතු සිදු කළාය. මේ නිසාම ඇයගෙන් නොදත් දෑ දැනගන්නට පාසල් දරුවෝ නිරන්තරයෙන් ඇගේ නිවෙසට පැමිණියහ.

කිසිදු ලෝබකමක් හෝ අකමැත්තකින් තොරව ඇය එම දරුවන්ට අධ්‍යාපනය  ලබා දුන්නාය. 1952 වසරේ දී ඇය නොතාරිස් විභාගයට පෙනී සිටි අතර එහිදී එම විභාගයෙන් සමත් වූ එකම කාන්තාව ලෙස ජයග්‍රහණය කළාය.

ලීලාවතී විවාහ වූයේ චිත්‍රසෝම ජයලත් සමගිනි. ඔහු ද නොතාරිස්වරයෙකි. ප්‍රේම සම්බන්ධතාවයකින් 1962 වසරේ දී විවාහ වූ ඔවුහු ඉතා සාර්ථක සතුටුදායී ආදර්ශමත් විවාහ දිවියක් ගත කළහ. ඒ පිළිබඳව ලීලාවතී මාතාව අදත් සිහිපත් කරනුයේ ඉතා සතුටකිනි.

“මගේ ස්වාමිපුරුෂයා මිය යද්දී අපේ දරුවෝ හතර දෙනාම ගොඩාක් පොඩියි. ඒ හතර දෙනාම ඒ වෙද්දි අවුරුදු හතට අඩු දරුවෝ. ඒ අතරේ ලොකු දුව විතරයි පාසල් අධ්‍යාපනය ලැබුවේ. ඒ තරම් ලොකු බරක් එතැන් සිට මගේ කරට කඩා වැටුණා. ඒ ගැන මට බයක් ඇතිවුණේ නැහැ. මම රයිගම් කෝරළේ ඉපදුණු කෙනෙක්. ඒ නිසා අපේ හිත හයියයි. ඒ හයිය අපිට මේ ස්වභාව දහමින්ම ලබා දීපු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ. දරුවන් හතර දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබාදීම විතරමයි මගේ හිතේ තිබුණු එකම හීනය වුණේ. මම වෘත්තියෙන් නොතාරිස්වරියක්. ඒ රාජකාරිය අතහැරලා මට ජීවත් වෙන්න බැහැනේ. ඒ නිසා මම මගේ වෘත්තිය කරගෙන ගියා. රාජකාරිය කරන අතරේ අනිත් හැමදේම කරගෙන යන්නත් මට පුදුම ධෛර්යයක් තිබුණා. මට කිසිම බයක් දැනුණේ නැහැ. මහත්තයා මැරුණු දුක විතරයි මට තිබුණේ. මාස තුනේ දානය දෙනතුරු මට නැගිටගන්නත් බැරි මානසික තත්ත්වයක් තිබුණා. හැබැයි දරුවන් වෙනුවෙන් මම එතැන් සිට ධෛර්යයෙන් දරාගෙන වැඩ කරගෙන ගියා. නාවලපිටිය ප්‍රජාවගෙන් මට පුදුම සහයෝගයක් ලැබුණා. ඒ අය මට, දරුවන්ට අනුකම්පා කළා. අපට ගොඩක් උදව් කළා. ඒ වෙනුවෙන් අදත් මම ඒ ජනතාවට ස්තූති කරනවා.” යැයි ලීලාවතී ධර්මරත්න මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

සැමියා මිය යාමත් සමඟ ලීලාවතීගේ එකම බලාපොරොත්තුව වූයේ තම දරුවන්ගේ අනාගතය පමණි. ඇයගේ සැමියා හොඳ ආදරවන්තයෙක් වූයේය. ජීවත්ව සිටින කාලයේ දී ඇයට, දරුවන්ට අසීමිත ලෙස ආදරය කළ සැමියෙකි. පියෙකි. ඒ ආදරය වෙනුවෙන් තම දරුවන්ගේ ජීවිත යහපත් කරන්නට ඇය සිතා ගත්තාය. ඒ වෙද්දී ඔහු නිරෝගී පුද්ගලයෙකි. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ ඔහු හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මිය ගියේය. තම සැමියා ඇයට ලබාදුන් වටිනාම, ආදරණීයම ත්‍යාගය වූ දරුවන් සිවුදෙනාම ඇය ඉතා ආදරණීයව පරිස්සමට රැක බලාගත් බව ඇය පවසන්නීය. ඇය නිරන්තරයෙන් බුදු දහම අනුව ජීවත් වූවාය.

2023 වසරේ දී ඇය විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගත්තාය. කුඩා කල සිටම තමා පාලි භාෂාව ද ඉගෙන ගැනීමට උනන්දු වූ බව ඇය පැවසුවාය.

“අම්මට උපාධි ඩිප්ලෝමාවට සූදානම් වීමේ ලොකු අවශ්‍යතාවයක්, මහන්සියක් තිබුණේ නැහැ. මුල් කාලේ ඉඳන්ම අම්මා බුදු දහමට, ධර්මයට, පොතපත කියවන්නට, ගොඩක් ලැදි කෙනෙක්. ඒ දැනුම අම්මට මුල් කාලේ ඉඳන්ම තිබුණා. අඩුම තරමින් අපි හතරදෙනා දහය එකොළහ වසරේදීවත් ගණිතය, සිංහල, බුද්ධාගම විෂයයන්වලට අමතර පන්ති ගියේ නැහැ. ඒ විෂයයන් අම්මා අපිට ඉගැන්නුවා. ඒ සම්බන්ධයෙන් අම්මට ලොකු දැනුමක් තිබුණා. මෙවර සමත් වුණු ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් අම්මා මහන්සි වුණා. අන්තර්ජාලය ඔස්සේ ඒ දේශනවලට සහභාගි වුණා. පොත පත කියෙව්වා. අම්මා ගැන අපිට ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි.” යැයි ලීලාවතී මාතාවගේ දියණිය, ඉන්ද්‍රනීල ජයලත් මහත්මිය දේශයට පැවසීය.

ලීලාවතී මාතාව තම දරුවන්ව කුඩා කල සිටම කාලසටහනකට අනුව වැඩ කරන්නට පුරුදු කළාය. දරුවන් නින්දට ගියේ මාරු කරගත් වෙලාවල්වලට අනුවය. දෙදෙනකු රාත්‍රී අටේ සිට 11 දක්වාත්, තවත් දෙදෙනෙක් එකොළහ සිට දෙක වෙනතුරුත් පාඩම් කළහ. කෙසේ වෙතත් ලීලාවතී සෑම දිනකම පාන්දර තුනත් හතරත් අතර කාලයේ දී අවදි වූවාය. එය ඇගේ දින චර්යාවේ අදත් වෙනස් නොවූ දෙයකි. අනතුරුව උණු වතුර බෝතලයට දියණිය විසින් දමා ඇති ජලයෙන් තේ කෝප්පයක් තනියම පිළියෙළ කර ගන්නා ලීලාවතී, එය පානය කර මද වේලාවක් භාවනා කරන්නීය. එතැන් සිට ඇගේ දෛනික රාජකාරි ආරම්භ වෙයි.

ලීලාවතී දරුවන්ට අසීමිතව ආදරය කරන මවකි. එලෙසම මුනුපුරන්ට මිනිපිරියන්ට අසීමිතව ආදරය කරන ආත්තම්මා කෙනෙකි. අද වන විට ඇයට මුනුපුරු මිනිපිරියන් අට දෙනෙක් සිටිති. ඔවුහු සියල්ලෝ ද උපාධිධාරිහු වෙති. ඔවුන්ගෙන් අද හතර දෙනකු විවාහ වී සිටින අතර ඒ දරුවන්ගේ දරුවන්ට ද ඇය ආදරණීය මිත්තණියකි. ඔවුන්ට කවි කතාන්දර කියා දෙන්නට, ඔවුන් වෙනුවෙන් මැහුම් ගෙතුම් කරන්නට ඇය අමතක නොකරයි.

“මගේ ලොකු දුවට නිවුන් දරුවන් ඉන්නවා. ඒ දෙන්නා ඉපදුණු මොහොතේ දරුවන්ට ඇන්දූ ජර්සි දෙක, කුඩා මේස් කුට්ටම් දෙක ගෙතුවේ අපේ අම්මයි. ඉන්දියාවේ ඉන්න දුවකුගේ දෙවැනි දුව ලංකාවේ ඉපදුණේ. ඒ බබාගේ ඇඳුම් අම්මා ගෙතුවා. ඒ හැමදේම අම්මා කරන්නේ හරිම ආසාවෙන්. මම ගුරුවරියක්. මගේ සාරි හැට්ට ලස්සනට ගොතලා දෙන්නේ අම්මායි. ඇගේ මුනුබුරු මිනිපිරියන් අට දෙනත් අද උපාධිධාරීන්. ඒ අතරින් දෙන්නෙක් දොස්තරවරුන්. හතර දෙනෙක් නීතිඥවරුන්. එක්කෙනෙක් ඉංජිනේරුවෙක්. තවත් කෙනෙක් සංගීතඥයෙක්. ඒ දරුවන් ගැන අම්මා හරිම සතුටුයි. ඒ වගේම අම්මා ගැන අපි ඔක්කොටම හරිම සතුටුයි. අම්මා අපිට ආඩම්බරයක්.” යැයි ලීලාවතී ධර්මරත්න මාතාවගේ දියණිය ඉන්ද්‍රනීල ජයලත් මහත්මිය වැඩිදුරටත් පැවසීය.

දිශානි ජයමාලි කරුණාරත්න

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03