2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

විදුලිය සරුංගලයෙන්!

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:02 100

ලෝකය සරුංගල්වලින් විදුලිය නිපදවීමට තරම් නවීන වී ඇත. අපේ රටෙත් සරුංගලයෙන් විදුලිය ලැබෙන අවස්ථා ගැන අහන්නට ලැබේ. ඒ ඉඳහිට විදුලි රැහැනක නූල ගැටී ඉන් එන විදුලියෙන් ළමුන් මිය යාම හෝ අනතුරට පත්වීම සිදුවන අවස්ථාවලදීය. සරුංගලයෙන් විදුලිය නිපදවූ පළමුවැන්නා ලෙස අප දන්නේ බෙන්ජමින් ප්‍රෑන්ක්ලින් ය. ඒ 1752 දී ය. ඔහුට අකුණුවලින් විදුලිය නිපදවෙන බව ලෝකයට ඔප්පු කිරීමට අවශ්‍ය විය. අහසේ අකුණු පුපුරන අවස්ථාවේ ගුවන්ගත කළ සරුංගලයේ නූල හරහා එහි අගට සවිකළ කාමරයේ යතුරෙන් ගිනි පුළිඟු පිටවෙමින් ඔහුගේ පරීක්ෂණය සාර්ථක විය.

පසුගිය කාලයේ විකල්ප බලශක්ති ප්‍රභව කෙරෙහි ලෝකය පුරා අවධානයක් ඇති විය. අපේ රටේ නම් මුහුදු රළවලින් විදුලිය නිපදවීම ගැන කිව්වත් ක්‍රියාත්මක වීමක් ගැන අසන්නට නොලැබේ. දැනට තරමක් හෝ විකල්ප මට්ටමින් කෙරෙන්නේ සුළං බල විදුලිය සහ සූර්ය විදුලිය පමණි. ලංකාවේ ළමුන් අගෝස්තුවේ බහුලව සරුංගල් යැවුවත් ඉන් විදුලිය නිපදවා ගැනීමට අවධානයක් යොමුවූ බවක් නම් නොපෙනේ. නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයකට හෝ සරුංගලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති ඉදිරිපත් කළ බවක් අපට මතක නැත.

පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න දේශයට සඳහන් කළේ ලංකාවේ සරුංගල්වලින් විදුලිය නිපදවීම ගැන උනන්දුවක් ඇති කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය. ඒ ශ්‍රී ලංකා භෞතික විද්‍යා සංගමය මගිනි.

“දැනට මේක ක්‍රියාත්මක කිරීම මූලික මට්ටමේ පවතින්නේ. ශ්‍රී ලංකා සරුංගල් සංගමය සමඟ සහයෝගයෙන් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. සරුංගල යවන පිරිස සමඟ මේක ක්‍රියාත්මක කළ හැකියි. එක් සරුංගලයක විදුලියෙන් නිවාස 2-3කට විදුලිය සපයාගත හැකි වෙනවා. ලෝකයේ දැනට සරුංගල් මගින් විදුලිය නිපදවීම ගැන අවධානය යොමුවෙමින් පවතින්නේ. සරුංගලයක් උඩු සුළඟට ඉහළ ගිය පසුව දවසක් වුණත් කරකැවෙමින් පවතිනවා. ඒ අතරවාරයේ අපට විදුලිය නිපදවා භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. අපි ලබන අවුරුද්දේ මාර්තුවල සරුංගල් මගින් විදුලිය නිපදවීම ගැන තරගයක් පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා.”

මේ සඳහා යොදාගන්නේ අප අහසට යවන කොම්බුවා හෝ මොණරා වැනි සංරුගලයක් නොවේ. දැනට ග්ලයිඩර් සඳහා භාවිත කරන ආකාරයේ සරුංගලයකි. එය පැරෂුටයකට තරමක් සමානය. එම සරුංගලය සුළඟට හසුව කැරකෙන විට සරුංගලයේ නූලට සම්බන්ධ කර ඇති පොළොවේ තිබෙන ඩයිනමෝවක් ක්‍රියාත්මක වේ. ඒ මගින් විදුලිය නිපදවීම සිදුවේ. මහාචාර්ය ජයරත්න පවසන්නේ නිර්මාණකරුවාගේ නවොත්පාදන හැකියාව මත විදුලිය නිපදවීම විවිධාකාරයෙන් කළ හැකි බවයි. අප කළ විමසිල්ලේ දී ගුවනේ දී ඩ්‍රෝන යානා ආකාරයේ සරුංගල මගින් විදුලිය නිපදවා පහළට එවන අවස්ථා ද පවතින බව දැනගැනීමට ලැබුණි.

2022 අප්‍රේල් වනවිට යුරෝපයේ සහ එක්සත් ජනපදයේ අවම වශයෙන් සමාගම් 10 ක් මේ ආකාරයේ සරුංගල් බලයෙන් විදුලිය ලබා ගැනීමේ තාක්ෂණික කටයුතු සංවර්ධනය කරමින් සිටී. ඒවා තවදුරටත් සාර්ථක වුවහොත්, සාම්ප්‍රදායික සුළං ටර්බයින කුලුනු සඳහා ප්‍රමාණවත් තරම් සුළං නොමැති ඉඩමක සුළං ගොවිපළවල් තැනීමට සරුංගල්වලට හැකි වේ. මේ නිසා අනාගතයේ සරුංගල් බහුලව යවමින් ගෙවල්වලට විදුලිය ගැනීම දැකගත හැකි වේද?

අප රටේ මුහුදු වෙරළේ සරුංගල බලාගාර ඉදිකිරීමට හැකියාව පවතී. “එය නිෂ්පාදනය කිරීම වඩාත් ලාභදායී දෙයක්. සරුංගල බලාගාර ප්‍රවාහනත් ඉතා පහසුයි. ඉහළ කාර්යක්ෂමතාවයක් ද තිබෙනවා.” සරුංගල් බල පද්ධතියක් සංවර්ධනය කරන මියුනිච් හි පිහිටි සමාගමක් වන Kitekraft හි සම-ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ෆ්ලෝරියන් බවර් පවසා සිටී.

2021 දී ජර්මනියේ හැම්බර්ග් පදනම් කරගත් SkySails Power සරුංගල් මගින් වාණිජ විදුලිබල නිෂ්පාදනයක් පිරිනැමූ පළමු සමාගම බවට පත් විය. එහි නිෂ්පාදන ආකෘතිය වර්ග මීටර් 180 ක් දක්වා ඉඩ ප්‍රමාණයක හැසිරෙන මෘදු, සුක්කානම් සහිත සරුංගලයකින් සමන්විතය. එම සරුංගලය පොළොවේ කන්ටේනරයක සවිකර තිබේ.

ක්‍රියාත්මක වන විට, සරුංගලය අහසේ කරකැවෙමින් විදුලිය නිපදවයි. කරකැවෙන නූල මගින් ක්‍රියාත්මක ඩයිනමෝව මගින් කිලෝවොට් 80 ක විදුලියක් නිපදවමින් උත්පාදක යන්ත්‍රයක් බලගන්වයි. එය සාමාන්‍ය ඇමෙරිකා එක්සත් ජනපද නිවාස 60 කට පමණ විදුලිය සැපයීමට ප්‍රමාණවත් වේ. එය සාමාන්‍ය මෙගාවොට් 2.75 සුළං උත්පාදක යන්ත්‍රයක් හා සසඳන විට කුඩා නමුත් බොහෝ අතේ ගෙන යා හැකි කාර්මික ඩීසල් ජනක යන්ත්‍රවලට සමාන වේ. මෙම ඒකකය විදුලිබල ජාලයෙන් දුරස්ථ ස්ථානවල භාවිත කිරීම සඳහා නිර්මාණය කර ඇත.

ඕලන්දයේ සරුංගල් බලාගාරවලට ලොකු උනන්දුවක් පවතී. එරට ආරක්ෂක අමාත්‍යාංශය TU ඩෙල්ෆ්ට් සමාගම සමඟ වසර පහක සහයෝගීතාවයෙන් පසුව, එහි පළමු ජංගම ගුවන් සුළං බලශක්ති පද්ධතිය (AWES) ඕලන්ද කැරිබියන් දූපතක් වන අරුබා හි සාර්ථකව ස්ථාපිත කර තිබේ. එය වසරකට කි.වො. 100ක් නිපදවීමට සමත් වන අතර එය නිවාස 150 ක් සඳහා ප්‍රමාණවත් වේ. මෙය හුදෙකලා දූපත් සහ හුදෙකලා බිම් කොටස් සඳහා වඩාත් ප්‍රමාණවත්ය.

මේ වන විට ලෝකයේ සරුංගල් විදුලි බලය ප්‍රාථමික මට්ටමේ පවතින්නකි. යුරෝපයේ බොහෝ සමාගම් සාපේක්ෂ වශයෙන් කුඩා නියමු ව්‍යාපෘතිවල පරීක්ෂණ කරමින් සිටී. නමුත් කුඩා බලාගාර කට්ටල දැනටමත් යුරෝපීය වෙළෙඳපොළේ ඇත. ලෝකයේ බොහෝ රටවල විදුලිය නිපදවන සරුංගල් ආකෘති තැනීම විනෝදාංශයක් වී ඇති බව අන්තර්ජාලය පිරික්සන විට පෙනේ. මෙය විනෝදාංශයකින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් ලෙස නිපදවන දිනය එතරම් ඈතක නොවන බව අපට පෙනේ.

කුසුම්සිරි විජයවර්ධන