ජනාධිපතිවරණය 2024 ජනතා කැමැත්ත උරගා බැලීමේ පළමු අවස්ථාව ඉදිරි සැප්තැම්බර් 4, 5, 6 යන දිනවලදී උදාවීමට නියමිතය. ඒ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම ඇරැඹීමත් සමඟයි. අදාළ දිනවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන ඡන්දදායකයන් සඳහා සැප්තැම්බර් 11 සහ 12 යන දිනවලදී ද අමතර අවස්ථාවක් සලසා දීමට මැතිවරණ කොමිසම කටයුතු කොට තිබේ. මේ අනුව ඉදිරි සතියේ දී සියලු ජනාධිපතිවරණ මෙහෙයුම් ඉලක්ක කරනු ඇති බව මේ වන විටත් පැහැදිලි වෙමින් තිබේ.
මෙවර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කොට ඇති පරිදි 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයන් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කර සිටියහ. එහෙත් ඉල්ලුම් කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප විය. ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව හත් ලක්ෂ දොළොස් දහස් තුන්සිය දහනම දෙනෙකි (712,319).
තැපැල් ඡන්ද පහසුකම් සඳහා හිමිකම් කියන පාර්ශ්ව කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාව වෙබ් අඩවිය අනාවරණය කොට තිබේ.
මැතිවරණ රාජකාරි පැවරීමට ඉඩ ඇතැයි සලකන රාජ්‍ය නිලධාරීන්
අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු නිලධාරීන්, සේවකයන්
ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකාය යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතුවල නිරත පුද්ගලයන්
සාමාන්‍ය තත්ත්වය යටතේ තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු ද අප මෙහිදී පැහැදිලි කරගත යුතුය. මෙවර තැපැල් ඡන්ද 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බැවින් බොහෝ දෙනකු මේ පිළිබඳව සාකච්ඡා කරනු දැකගත හැකි විය.
තැපැල් ඡන්ද අයැදුම්පත් ප්‍රතික්ෂේප වීමට හේතු
අයැදුම්පතේ පරිපාලන දිස්ත්‍රික්කය වැරදි ලෙස සඳහන් කර ඇති විට
තැපැල් ඡන්ද ඉල්ලීමේ හිමිකමක් නොමැති අවස්ථාවක
අයැදුම්පතේ සඳහන් තොරතුරු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි තොරතුරු හා නොගැලපෙන විට
නමට ඇති අනුක්‍රමික අංකය අයැදුම්පතේ නිවැරදිව සඳහන් කර නොමැති විට
ඉල්ලුම්කරු ඉල්ලුම්පත අත්සන් කර නොමැති අවස්ථාවක
සහතික කිරීමේ නිලධාරී අයැදුම්පත සහතික කර නොමැති අවස්ථාවක
තේරීම්භාර නිලධාරී වෙත අයැදුම්පත ප්‍රමාද වී ලැබීම නිසා
ඡන්ද විමසීම් රාජකාරි සඳහා යොදවා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති විට
මේ අනුව සලකා බලා මෙවර 2024 ජනාධිපතිවරණයේ දී තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමට අයැදුම්කරුවන් සුදුසුකම් ලැබුවේද නොලැබුවේද යන්න පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ඇත.
පසුගිය සතියේ සඳුදා දිනයේ සිට නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු ගමනාන්ත තැපැල් කාර්යාල වෙත බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කොට තිබුණි. එම කාර්යය සිදුවන්නේ විශේෂ තැපැලක් මගින්ය. ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කොට තිබුණේ විශේෂ ආරක්ෂාවක් යටතේ නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ආරක්ෂිත පැකැට්ටු බෙදා හැරීම සිදුවන බවයි.
නිල තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කොට තිබුණි. ගමනාන්ත තැපැල් කාර්යාලය වෙත අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ආරක්ෂිත පැකැට්ටු ලැබී ඇති බවත්, අදාළ තැපැල් ස්ථානාධිපතිවරුන් විසින් එම පැකැට්ටු අදාළ ආයතන ප්‍රධානියාට, නැතිනම් තේරීම් භාර නිලධාරියාට බාරදීමට කටයුතු කරනු ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.
ඒ අනුව තැපැල් ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ආරක්ෂක කටයුතු ද මේ වනවිට සූදානම් වෙමින් පවතින බව දැන ගැනීමට ලැබෙයි. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද දැනුවත් වීම වැදගත්ය. ඒ අනුව තැපැල් ඡන්ද භාවිත වන දිනයේ දී මැතිවරණ නීතියට අනුව සියලු කටයුතු සිදුවිය යුතුය.
තැපැල් ඡන්ද සලකුණු කරන දිනයන්හි දී සපුරා තිබිය යුතු අවශ්‍යතා මොනවාද?
1. තැපැල් ඡන්ද සලකුණු කරන ආයතන පරිශ්‍රයේ කිසිදු පක්ෂයකට/ කණ්ඩායමකට අයත් සලකුණක්, වර්ණවත් සැරසිලි ප්‍රදර්ශනය කිරීම නොකළ යුතුය.
2. මැතිවරණයේ දී තරග වදින කිසිදු පක්ෂයක්/ අපේක්ෂකයකුගේ දැන්වීමක්, බැනරයක්, කටවුට් එකක්, ඡායාරූපයක් වැනි ප්‍රවර්ධන හෝ ප්රචාරක කටයුත්තකට අදාළ කිසිදු දෙයක් ප්‍රදර්ශනය නොවන බවට සහතික විය යුතුය.
3. තැපැල් ඡන්දදායකයාට රහසින්, එනම් ඡන්දය සලකුණු කිරීම හා වෙනත් කිසිදු අයකුට පෙන්වීම හෝ ප්‍රදර්ශනය කිරීම හෝ නොකර නිදහස්ව බලපෑමකින් තොරව ඡන්දය සලකුණු කිරීම සඳහා ප්‍රතිපාදන සපයා දී තිබිය යුතුය.
4. තැපැල් ඡන්ද සලකුණු කරන ස්ථානයේ ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම සපුරා තහනම්ය.
5. පාර්සල්, අවි ආයුධ, තැපැල් ඡන්ද සලකුණු කරන ස්ථානයට රැගෙන ඒම සපුරා තහනම්ය.
6. තැපැල් ඡන්ද සලකුණු කරන ආයතනයේම සේවය කරන, මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂයක/ ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන අයකුට කාර්යාල පරිශ්‍රයට කිසිදු අවස්ථාවක ඇතුළු වීමට හෝ කාර්ය මණ්ඩලය සමඟ කිසිදු සම්බන්ධතාවයකට ඉඩ නොදිය යුතුය.
7. තැපැල් ඡන්ද සලකුණු කරන ස්ථානයට පැමිණ සිටීමට අවසර ඇති, මෙම කටයුතු සඳහා යොදවා ගන්නා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, මැතිවරණ කොමිෂන් සභාව විසින් අවසර දී ඇති දේශීය නිරීක්ෂණ කණ්ඩායම්වල නියෝජිතයන් හා මෙම කටයුතු අධීක්ෂණය සඳහා පැමිණෙන සහකාර තේරීම්භාර නිලධාරීන් හැර වෙනත් කිසිදු අයකුට තැපැල් ඡන්ද සලකුණු කරන ස්ථානයේ රැඳී සිටීමට ඉඩ නොතැබිය යුතුය.
8. තැපැල් ඡන්ද සලකුණු කරන ආයතනයේ සෑම තැපැල් ඡන්දදායකයකුගේම අනන්‍යතාව, ඒ සඳහා පිළිගන්නා ලේඛනයක් මගින් සනාථ කර ගැනීම හා ඒ අයට අදාළ නිශ්චිත තැපැල් ඡන්ද රක්ෂිත පැකැට්ටුව තෝරා ගැනීමට හැකිවන සේ ප්රශස්ත ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු වේ.
9. තැපැල් ඡන්ද හිමියා විසින් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාව ‘B’ කවරය තුළට බහා එය ඡන්ද හිමියා ඉදිරියේ දී අලවා තැපැල් ඡන්ද හිමියා අත්සන් කළ, සහතික කිරීමේ නිලධාරී අත්සන් කිරීමෙන් සහතික කළ අනන්‍යතා ප්‍රකාශය එම කවරයට අමුණා ඒවා ‘A’ කවරයේ බහා එය හොඳින් අලවා එහි අළු පැහැති ස්ටිකරය අලවා අදාළ තැපැල් කාර්යාලය වෙතට බාරදිය යුතුය. මෙම රක්ෂිත පැකැට්ටු තැපැල් කාර්යාල වෙතට බාරදීම සනාථ කරවා ලදුපතක් ලබා ගත යුතු වේ.
මෙම නෛතික ක්‍රමවේදයන් යටතේ තීරණාත්මක තැපැල් ඡන්ද විමසීම මෙම සතියේ පැවැත්වෙනු ඇත. වඩාත් සාධාරණ මැතිවරණයක් උදෙසා මැතිවරණ නීති අනුගමනය කරමින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඡන්දදායකයන්ගේ යුතුකමකි. ඔවුන් සියලු දෙනා රටේ සෙසු ඡන්දදායකයන්ට පෙරාතුව රටේ අනාගතය තීරණය කිරීමට සිය අභිමතය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලද්දෝ වෙති.
සටහන: චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර: මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවිය