2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු නාමයෝජනා බාර දී තිබේ. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 21 දින ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා තෝරා ගැනෙනු ඇත. ජයග්‍රහණය සඳහා එක් අපේක්ෂකයකු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 50% ක් සහ තවත් එක් ඡන්දයක් ලබාගත යුතුය. මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් (17,140,354) යැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.
මෙවර ජනාධිපතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ඒ අතුරින් ප්‍රධාන වශයෙන් අපේක්ෂකයන් හතර දෙනකු ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබේ. ඔවුන් අතරින් කිසිවකු ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් හරි අඩක්, නැතහොත් 50% ක් සහ එක් ඡන්දයක් ලබාගත යුතුය. මෙවර එය අසීරු කරුණක් වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරන අතර කිසිවකු පළමු ගණනය කිරීමේදී එම ප්‍රතිශතය ඉක්මවා ඡන්ද ලබා ගැනීමට සමත් නොවනු ඇති බව වැඩි පිරිසකගේ විශ්වාසය වී තිබේ. 50% ක ප්‍රතිශතයක් යනු මෙවර ඡන්දදායකයන් ප්‍රමාණය අනුව අවම වශයෙන් හැත්තෑ ලක්ෂය ඉක්මවිය යුතුය. සමස්ත ඡන්දදායකයන් ප්‍රමාණයම තම ඡන්දය ප්‍රකාශයට පත් නොකරන වාතාවරණයක් තුළ පළමු ගණනය කිරීමේදී අවශ්‍ය ඉලක්කය සපුරාගත නොහැකිය යන්න වැඩි පිරිසකගේ විශ්වාසයයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් කිසිවකුට 50% ක් හා තවත් එක් ඡන්දයක් ලබාගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහකයා තෝරා ගැනීමේදී දෙවැනි හා තෙවැනි මනාප තීරණාත්මක වන්නකි. ඡන්දය ගණනය කිරීමේදී ප්‍රථමයෙන් සිදුකෙරෙන්නේ ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සියල්ලන් ලද ඡන්ද වෙන් වෙන් වශයෙන් ගණන් කිරීමය. එකී ගණන් කිරීමේදී වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනා ප්‍රථමයෙන් හඳුනාගෙන ඔවුන්ගේ ඡන්ද වෙන් කර ගැනෙයි. එම අපේක්ෂකයන් දෙදෙනාගෙන් කිසියම් අපේක්ෂකයෙක් 50% ඉක්මවා නොමැති අවස්ථාවක ඉතිරි අපේක්ෂකයන්ගේ මනාප ඡන්ද ගණන් කිරීම සිදුවේ. තෙවැනියට වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකාවල දෙවැනි හා තුන්වැනි මනාපය වැඩි ඡන්ද ලබා සිටින දෙදෙනාට ලැබී ඇත්නම් එකී ඡන්ද ඒ දෙදෙනාගේ ඡන්ද ප්‍රමාණයට එක් කරනු ලබයි. ඒ ආකාරයට ඉතිරි පිරිසගේ මනාප ඡන්ද ගණන් කොට පළමු හා දෙවැනි ඡන්ද හිමියන්ගේ ඡන්ද ගොඩට ඇතුළත් කරනු ලැබේ. එවිට ජනාධිපතිවරණයේ දී ඡන්දය පාවිච්චි කළ සියලුම ඡන්දදායකයන් අතරින් අංක එක හා දෙක දෙදෙනාට වැටුණු මුළු ඡන්ද ප්‍රමාණය ගණනය කළ හැකිය. එම ඡන්ද වෙන් වෙන් වශයෙන් නැවත ගණනය කර වැඩි ඡන්ද හිමිකරගත් අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. පළමු හා දෙවැනි ස්ථාන ලබාගත් දෙදෙනාගේ ඡන්ද පත්‍රිකාවල වෙනත් අපේක්ෂකයන් වෙනුවෙන් ලකුණු කර ඇති මනාප ගණනය නොකෙරේ. දෙවැනි වර ගණන් කිරීමෙන් පසුව ද අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් සිදුකොට අමතර ඡන්දයක් එක් අයකුට එකතු කරනු ඇත.
මේ සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස පැහැදිලි කරයි.
“ජනාධිපතිවරණයක දී සමස්ත ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට කිසිදු අපේක්ෂකයකු සමත් නොවුණහොත් නැවත ඡන්ද විමසීමක් සිදුවන්නේ නැහැ. අපේක්ෂකයන් දෙදෙනකු පමණක් තරග කරන්නේ නම් වැඩි ඡන්ද ලැබූ අපේක්ෂකයා ජය ගන්නා නිසා දෙවැනි වටයක අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. අපේක්ෂකයන් තිදෙනකු හෝ එයට වැඩි පිරිසක් තරග කළහොත් පමණක් පළමු වටයෙන්ම ග්‍රහණය සඳහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අඩක් හා එකක්, එනම් 50% වැඩි ප්‍රමාණයක් ලබාගැනීමේ අවශ්‍යතාව මතු වෙනවා.
ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ඡන්දදායකයන්ට ස්වකීය කැමැත්තේ ප්‍රමාණය හෙවත් මනාපයේ ප්‍රමාණය අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප භාවිත කරමින් ඡන්දය දිය හැකියි. කැමැත්ත එක් අපේක්ෂකයකුට පමණක් නම් 1 පමණක් හෝ සුපුරුදු කතිරය (x) යෙදිය හැකියි.
A, B, C, D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස්දෙනකු තරග කරන්නේ යැයි ද සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් ලෙස ද අපි උපකල්පනය කරමු. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ යැයි සිතමු.
A = 40, B = 35, C = 15, D = 6, E = 4
මේ අනුව තරගය පවතින්නේ පළමුවන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් වේ. සෙසු තිදෙනා C, D, E තරගයෙන් ඉවත් කෙරේ. පළමු හා දෙවැනි ස්ථාන ලබාගත් A හා B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති වෙනත් අය සඳහා වන මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වේ.
අනතුරුව ඡන්ද 15ක් ලබාගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. C සඳහා කතිරය හෝ අංක 1 පමණක් සලකුණු කර ඇති ඡන්ද ඇත්නම් ඒවා ද පසෙක තබනු ලැබේ. එසේ කරන්නේ ඒවායේ වෙනත් අයකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි.
එම ඡන්ද පත්‍රිකාවල 1, C සඳහා ද 2, A හෝ B සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියට ද දමනු ලැබේ. (මෙවැනි ඡන්ද පත්‍රිකාවල තුන්වැනි මනාපය හෙවත් 3 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.)
C සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 2 ඉලක්කම හෙවත් 2 මනාපය සටහන් කොට තිබුණේ Dහෝ Eසඳහා නම්, 3 ඉලක්කමක් හෙවත් 3 මනාපය එහි සටහන් තබා තිබේද යන්න පරීක්ෂා කර බලා 3 සටහන් කොට නොමැති නම් එය ද පසෙකින් තබනු ලැබේ. 2 ඉලක්කම D හෝ E සඳහා වූ විට 3 සටහන් කර ඇත්තේ A සඳහා හෝ B සඳහා නම් එම ඡන්ද පත්‍රිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරගයේ නොමැති බැවින් එය ද පසෙක තබනු ලැබේ. 2, E සඳහා ලබා දී 3, D සඳහා දී ඇත්නම් එය ද ඒ අයුරින්ම පසෙක තබනු ලැබේ.
ඒ අයුරින් D හා E ලබාගත් ඡන්ද පත්‍රිකාවේ 2වැනි 3 වැනි මනාප අනුව A හා B වෙත ලබාදීම හෝ පසෙක තැබීම කරමින් මෙම ඡන්ද A හෝ B වෙත එකතු කිරීම හෝ නොසලකා හැරීම සිදු කරනු ලැබේ.
එසේ බෙදීමෙන් A සඳහා අමතර ඡන්ද 03ක් ද B සඳහා ඡන්ද 10ක් ද ලැබුණේ යැයි උපකල්පනය කළ විට A ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 43 ක් ද ( A= 40+3 = 43) ද B ගේ සමස්ත ඡන්ද සංඛ්‍යාව (B = 35+10 = 45) 45 ක් ද වනු ඇත.
දැන් වලංගු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 88 කි. A ගේ සහ B ගේ සමස්තයේ එකතුව එනම් 43 + 45 = 88 කි. එයින් අඩකට වඩා එනම් 45 ක් ලබා ගන්නා ලද B හට මෙහි දී ජයග්‍රහණය හිමි වේ. මෙහිදී වලංගු ඡන්ද සංඛ්‍යාව 100 ක් ලෙස සලකා ඉන් අඩකට වඩා එනම් 51 ක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැත.
මෙහිදී A ට අමතර ඡන්ද 8ක් ද B ට අමතර ඡන්ද 5ක් ද ලදහොත් A = 48 ද B = 40 ද වී A ජයග්‍රහණය කරනු ඇත. Aට හෝ B ට කිසිම අමතර මනාපයක් නොලදහොත් A = 40, B = 35 බැවින් A ජයග්‍රාහකයා වේ.
A හා B සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ඇත්නම් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කුසපත් ඇදීමක් මගින් අමතර ඡන්දයක් එක් අයකුට එකතු කරනු ඇත යනුවෙන් සඳහන් කරයි.
සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි ප්‍රබල අපේක්ෂකයන් කිහිප දෙනකු තරග කරන අවස්ථාවක, බොහෝ විට ජයග්‍රාහකයා තේරීමට, දෙවැනි හා තුන්වැනි මනාප ගණන් කිරීම හෙවත් දෙවැනි වටයේ ඡන්ද ගණන් කිරීමට සිදුවිය හැකිය. පළමු වටයේ දී 50% ට ආසන්න ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයකු සෙසු අපේක්ෂකයන්ට වඩා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින්නේ නම්, දෙවැනි මනාපය ගණනය කළ ද බොහෝ දුරට එම අපේක්ෂකයාම ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතී.
දෙවැනි සහ තෙවැනි මනාපය වැදගත් වන්නේ මෙවැනි අවස්ථවක් උදා වූ විටය. එහෙයින් මැතිවරණයේ දී දෙවැනි සහ තෙවැනි මනාපය ලකුණු කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබීම වැදගත්ය.
ඡන්දය එක් අපේක්ෂකයකු හට පමණක් ලබා දෙන්නේ එම අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියේ 1 ඉලක්කම හෝ කතිර (x) ලකුණ සටහන් කිරීම ප්රමාණවත්ය. තවත් අපේක්ෂකයකුට හෝ දෙදෙනකු සඳහා මනාපය ලබා දෙන්නේ නම් ඒ සඳහා කතිරය භාවිත නොකොට අපේක්ෂකයන්ගේ නම සහ ලකුණ ඉදිරියේ පිළිවෙළින් පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි මනාපය 1, 2, 3 ලෙස සටහන් කළ යුතුය. කතිරය භාවිත කළ හැක්කේ එක් අපේක්ෂකයකුට පමණක් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් පමණි. මනාප ලබා දෙනවා නම් අනිවාර්යෙන්ම අංක පමණක් සටහන් කළ යුතුය. මනාප සඳහා කතිර ලකුණ භාවිත කළහොත් එම ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත් වේ. පළමු අපේක්ෂකයාට කතිරය යොදා අනෙක් දෙදෙනාට අංක යෙදීම ද එම ඡන්දය අවලංගු වීමකි.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා